Print this Article


පීඩාකාරී අතීතය අතහරින්න සතුටින් ජීවිතයට මුහුණ දෙන්න

පීඩාකාරී අතීතය අතහරින්න සතුටින් ජීවිතයට මුහුණ දෙන්න

බොහෝ දෙනෙක් එළඹි මොහොතට සෑම විටම උත්සාහවත් වන්නේ සැනසීම හෝ සතුට සෙවීමට ය. එසේත් නැතහොත් සාර්ථකත්වයක් ලබා ගැනීමටය.

මෙම අරමුණු ඉලක්ක ගතව ජීවත්වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන දෙයකි.

ඒ අතීතය පිළිබඳ ශෝක නොවීම ය. එසේත් නැතිනම් අතීතය අත්හැර දැමිම ය. මෙහිදී අත්හැරිය යුතු අතීතය වන්නේ කුමක් ද? තමන් පීඩාවට පත් කරන, වේදනාවට පත් කරන, කණස්සල්ලට පත් කරන, අකර්මන්‍යයට පත් කරන අතීත සිදුවීම්ය, පුද්ගලයන් ය. වස්තූන්ය. යන මේවා ය.

ඔබ පීඩාවට පත්කරමින් ගෙවී අවසන් වූ සිදු වීමක්, නැවත නැවත, දිනපතා ආවර්ජනය කරන්නේ නම්, සෑම විටම ඔබ ජීවත් වන්නේ එම අප්‍රියජනක සිදුවීම තුළ ය. එමඟින් උදාවී ඇති අද දවස හෝ උදාවන්නට ඇති හෙට දවස තුළ ඔබේ ගමනාන්තයට යාමට ඉඩ ලබා නොදෙයි.

අතීත බර බිමින් තබන්න

ඔබ යම් කිසි බරක් ඔසවාගෙන සිටී නම්, එම බර ඔසවාගෙන සිටින සෑම තත්පරයක ම එහි බර දැනීමෙන්, ඒ පීඩාවෙන් ඔබ ඉතා වෙහෙසට, දුකට පත් වේ. ඔබට අවශ්‍ය නම් ඒ බරින් නිදහස් වීමට අනිවාර්යයෙන් ම බර බිම තැබිය යුතු ම ය. වේදනාකාරී අතීතය ද එසේ ම ය. ඔබට අවශ්‍ය සිතේ සැනසීම හෝ දියුණුව නම් වේදනාකාරී අතීත බර බිමට දමන්න. එය විසි කර ඔබ අද දවස තුළ කටයුතු කිරීම ආරම්භ කරන්න.

ආධ්‍යාත්මික ඵල අපේක්‍ෂාවෙන් ඒ සඳහා දවස කැප කරන ආර්ය පුද්ගලයන් වීර්ය වඩන්නේ මේ අතීත අකුසල් අතහැරීමට ය. ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ අවසන් ප්‍රතිඵලය උතුම් වූ නිර්වාණාවබෝධය යි. මෙම අසංඛත තත්ත්වයට පත්වීමට නම් අකුසල සහගත අතීය අත්හැරිය යුතුයි. එසේම ආර්ය පුද්ගල තත්ත්ව වන සෝවාන්, සකදාගාමී. අනාගාමී යන තත්වයන් උදෙසා ද අතීත අකුසල් අතහැරිය යුතු වේ.

බුදුරජාණන් වහන්සේ “චාගො පටිනිස්සග්ගො මුත්තී අනාලයෝ” යනුවෙන් තමන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව තුළ සඳහන් කරනුයේ ද ‘මම අතහැරියෙමි, දුරු කළෙමි, මිදුණෙමි, නොඇලුනෙමි’ යනුවෙනි. එහෙයින් ඔබ ආධ්‍යාත්ම තත්ත්වාබෝධය පිණිස අතීත අකුසල් බර බිම තබා ඔබේ ගමන ආරම්භ කරන්න.

ලෞකික දියුණුව උදෙසා කටයුතු කරන ඕනෑම වයස් කාණ්ඩයක සිටින පුද්ගලයන් විසින් ද තම ජිවීතයේ සැනසීම, දියුණුව උදෙසා පීඩාකාරී අතීතය අතහැර එළඹි මේ දවස තම ඉලක්ක වෙනුවෙන් කටයුතු කළ යුතු ය. එසේ නොවීමෙන් වන්නේ ඔබ ඔබේ සෑම දවසක් ම වේදනාකාරී ව අතීතය සමඟ ගෙවා දමමින් සියලු දක්‍ෂතා මෙන්ම විචාරශිලී බව, විචක්‍ෂණශිලී බව, නිර්මාණශිලී බව හා උද්යෝගී බව යන අත්‍යවශ්‍ය හැකියාවන් යටපත් කරගැනීම ය. ඒ වෙනුවට දිනෙන් දින ඒවා යටපත් වී අකර්මන්‍ය පුද්ගලයකු බවට පත්වීමය. එබැවින් ගෙවුණු අතීතය තුළ ජිවත් නොවන්න. එළඹි මේ මොහොත තුළ සාර්ථකව කටයුතු කිරීම සඳහා උත්සුක වන්න.

මිනිස් සිත විස්මිතයි

සොබා දහමේ නිර්මාණයන් හැර සෙසු සියලු නිර්මාණ බිහි වී ඇත්තේ මිනිස් චින්තනයේ ප්‍රතිඵල මත ය. සියලු කලා නිර්මාණ හා තාක්‍ෂණික නිර්මාණ මේ යටතට වැටේ. මිනිස් චින්තනයේ ඇති විශ්මිත බව විසි එක්වන ශතවර්ෂයේ ජීවත්වන අපට මැනවින් පැහැදිලි වනුයේ ලෝකයම එකම තත්පරයකින් අප අතට පත් වීමත් සමඟ ය. මෙහිදී වැදගත් වන්නේ මෙම චින්තන දියුණුව යහපත් වීම හා යහපත් දැක්මක් සහිත වීම ය. පුද්ගල ශරීර වර්ධන මධ්‍යස්ථාන මෙන්ම ශරීරය පවත්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම් ලිඛිත හා මුද්‍රිත යන දෙඅංශය තුළින්ම දැනුවත් කිරීම් දක්නට ඇත. එහෙත් පුද්ගල චින්තනය නිවැරැදි කිරීමට හෝ චින්තනය යහපත් කිරීමට අවැසි ස්ථාන හෝ ඒ සඳහා අනුගමනය කළයුතු පිළිවෙත් සඳහා මඟ පෙන්වන අවස්ථා දක්නට ලැබෙනුයේ ඉතා කලාතුරකිනි. වඩා වැදගත් වනුයේ චින්තනය දියුණු කිරීම සහ චින්තනය යහපත් කිරීම ය. ඒ තුළින් භෞතික ශරීය නිරෝගී මෙන්ම දීර්ඝකාලීන යහපත් පැවත්මක් උදාකර ගැනීමට හැකියාව ඇත.

ලොව සෑම පුද්ගලයකුට ම යහපත් දැක්මක් අත්‍යවශ්‍යය. ඒ තුළින් ලොව ජය ගත නොහැකි ආධ්‍යාත්මික හෝ ලෞකික පරමාර්ථයක් නොමැත. යහපත් දැක්මක් ඇති වීමට නම් ඒ සඳහා නිවැරදි පුහුණුවක් අත්‍යවශ්‍යය වේ. එබැවින් ඔබ ඔබේ මනස මනාව පුහුණු කිරීම ආරම්භ කරන්න. ඒ තුළින් යහපත් සිතිවිලි ජනිත වීම ආරම්භ වේ. එයින් ඔබට ඔබේ ජීවීතයේ සියලු අභියෝග සාර්ථක ලෙස ජය ගැනීමට හැකිවනු ඇත.

වාසනාවේ වැකිය

භාවනාවෙන් සිත දියුණු කරගත් ජපානයේ ඉතාම ප්‍රසිද්ධ සෙන් ගුරුවරයකු මුණ ගැසීමට මහා ධන කුවේරයකු පැමිණියේ ය. ඔහු මේ භාවනා ගුරුවරයාගෙන් බොහෝම බැගෑපත්ව ඉල්ලා සිටියේ මගේ නිවසට වාසනාව ගෙනෙන එක වාක්‍යයක් ලියා දෙන ලෙසයි. තවදුරටත් මේ ගැන පැහැදිලි කරන ධන කුවේරයා පැවසූයේ තමන් ඒ වාසනාවේ වැකිය තම නිවසට ඇතුල් වන සියලු දෙනාටම පෙනෙන ස්ථානයක තබන බවයි.

සෙන් ආචාර්යවරා ධන කුවේරයාට පසුවදා උදෑසන එම වාසනාවේ වැකිය ගෙන යාමට එන ලෙස දන්වා පිටත් කළේ ය. ධන කුවේරයා පසුදා උදෑසනම එය රැගෙන යාමට පැණියේ මහත් බලාපොරොත්තු සහගතව ය. සෙන් ගුරුතුමා එම වැකිය ලියන ලද පුවරුව ඔහු අතට පත් කළහ. එම වැකිය දුටු විගස ධන කුවේරයා මහත් කෝපයට පත් වූයේ එහි ලියා තිබූ දෙය කියවීමත් සමඟය.“

"පියා මැරේ. පුතා මැරේ. මුණුපුරා මැරේ" යනුවෙන් එහි සඳහන් කොට තිබුණි. ඔහු ඉතා කෝපයෙන් සෙන් ආචාර්ය තුමන්ට දෝෂාරෝපණය කරමින් අසනුයේ මෙහි ඇති වාසනාව කුමක්ද ? එසේ ලිවීමට හේතු කුමක්ද? යනුවෙනි.

සෙන් ගුරුතුමන් පිළිතුරු සපයමින් පවසන්නේ "මම ඔය සඳහන් කර තිබෙන අනුපිළිවෙලට ඔබගේ නිවසේ මරණ සිදුවුව හොත් එය කොතරම් වාසනාවක් ද? එය එසේ නොවී ඔබ ජීවත්ව සිටියදී ඔබේ පුතා මිය ගිය හොත් එසේ නැත්නම් ඔබත් ඔබේ පුතාත් දෙදෙනා ම සිටිය දී ඔබේ නිවසේ මුණුපුරා මිය ගිය හොත් මොනතරම් ආවාසනාවන්ත ද? ඔබත් ඔබේ පවුලත්" යනුවෙනි. කරුණු අවබෝධකොට ගත් ධන කුවේරයා මෙහි සඳහන් ආකාරයට ම අප නිවස තුළ මගෙන් පසුව මගේ පුතාත්, පුතාගෙන් පසුව මුණුපුරාත්, මරණයට පත් වීම අපගේ වාසනාව බව පැහැදිලි කරමින් සෙන් ගුරුතුමාට ස්තූති කරමින් එම වාසනාවේ වැකිය ගෙන පිටත් වූයේ මහත් සතුටකිනි.

සාමාන්‍ය ලෝකය තුළ ජීවත් වන මිනිසා ද ධන කුවේරයා මෙන් වාසනාව සොයනනෝ වෙති. එහෙත් එම වාසනාව ජිවිත යතාර්ථය තුළින් දැකීමට උත්සාහ නොකරයි. ඔබ ඔබෙන් බාහිර දේ තුළින් වාසනාව නොසොයන්න. ඔබ තුළ දැනටමත් ඇති වාසනාව විශ්වාස කොට එයින් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ වන්න.