Print this Article


මිනිස්කමට ණය නොවන මිනිසෙක් වන්න

මිනිස්කමට ණය නොවන මිනිසෙක් වන්න

දිනක් කොසොල් රජු මහ දවල් බුදුරදුන් වෙත පැමිණියේ ය. “මම සැවැත්නුවර මියගිය සිටුවරයාගේ අසූ ලක්ෂයක් රන් හා අති විශාල රිදී සම්භාරය රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙනවිත් දැමුවෙමි’ යි කීවේ ය. මියගිය සිටුවරයා කිසිවකුට කිසිවක් නොදුන් අතර, ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළේ ය. ඒ අවස්ථාවේ බුදුරදුන් දේශනා කළේ අසත්පුරුෂයාට කෙතරම් ධනයක් ලැබුණත් ඔහු ප්‍රයෝජනයට නොගන්නා බව ය. අනෙකෙකුට ලබා නොදෙන බව ය. තම දියුණුවට හෝ නොයොදන බවය.

මේ ජීවිතයේ ශක්තිමත් ම කාලයයි

ලැබෙන සම්පත් පරිහරණය කිරීම පිළිබඳ බොහෝ ඉගැන්වීම් බුද්ධ දේශනාව තුළ නොඅඩුව ඇත. අවශ්‍ය වන්නේ ඒ සඳහා ප්‍රායෝගික වටින කමක් ලබබාදීම පමණි. ජීවිතයේ ශක්තිමත්ම කාලයේ දී එය කළ හැකිව තිබිය දී එසේ නො කිරීම අභාග්‍යයකි.

බුදු දහමේ නිරන්තරව ම දේශනා වන්නේ සමජීවිකාවෙන් යුක්තවන ලෙස ය. ලැබෙන දේට අනුව වියදම තීන්දු කළ යුතු ය. එසේම තමන්ට යමක් තිබියදී තම මූලික අවශ්‍යතාටික හෝ සිදුකර නොගැනීම නොවැදගත් ය.

මුදල් ඉපයීමේ දී එය වියදම් කිරීම පිළිබඳව හඳුනාගත යුතු ය. සාමාන්‍යයෙන් පවසන්නේ වියදම් කිරීමට නොදන්නේ නම් හම්බකරන්න එපා යන්නයි. එහි ලොකු සත්‍යතාවයක් ඇත. ඇතැම් තරුණ ජීවිත තම ජීවිතයේ හරය සොයා නොගන්නේ ඉහත කාරණය පිළිබඳ හරි හැටි අවබෝධයක් නොමැති නිසාවෙනි.

ධර්මයට අනුව ලද ධනය කොටස් හතරකට බෙදා පාලනය කළ යුතු ය.

එක් කොටසක් පරිභෝජනයට ද, කොටස් දෙකක් ආයෝජනයට ද ගන්න. ඉතිරි කොටස ආපදාවක දී ප්‍රයෝජනය පිණිස සුරක්ෂිත ව තබන්න. ජීවිතයේ ආපදාවන් පැමිණෙන්නේ අපට දන්වා නොවේ. වර්තමානයේ පවතින වසංගත තත්ත්වය ඊට කදිම නිදසුනකි. තමන්ට ලැබෙනුයේ රුපියල් දස දහසක් නම්, ඉන් දෙදහස් පන්සියයක් ආහාරයට ද, එදිනෙදා වියදම් සඳහා ද, පන්දහසක් අනාගත අවශ්‍යතා සඳහා ආයෝජන වෙනුවෙන් ද, ඉතිරි දෙදහස් පන්සියය ආපදා වැනි ව්‍යසන අවස්ථාවන්වල දී ප්‍රයෝජනයට ගැනීමට සුරක්ෂිත ව තැබිය යුතු ය. එසේ නොවන විට කායික, මානසික අපහසුතා ඇති වේ.

අතු කඩා දිවුල් කනවාද?

ධනය පරිහරණයේ දී අජද්ධුමාරිකා සහ උදුම්බර ඛාදික තත්ත්වයෙන් ඉවත්වීම අවශ්‍යය. නොකා නොබී මිය යෑම අජද්ධුමාරිකාවයි. සැවැත් නුවර සිටුවරයා එවැනි කෙනෙකි. එවැනි අයගේ ධනය බුදු දහම උපමා කරනුයේ රකුසෙක් අරක්ගත්, පස් පියුම් පිපී ඇති විලකට ය. කෙතරම් ලස්සන විලක් වුව ද එයින් කිසිවකුට ප්‍රයෝජනයක් ඇත්තේ නැත. කෝසිය, ඉල්ලීස එවැනි සිටුවරු ය. වර්තමානයේ පවා එවන් පිරිස් සිටිය හැකි ය.

මුදල් අවශ්‍ය ඇයි යන්න මනාව තේරුම් ගත් පිරිස් මේ තත්ත්වයෙන් මිදී කටයුතු කරනු ලබයි. “උදුම්බර ඛාදිකා’ යනු ලැබෙන දෙයට වඩා වියදම් සිදු කරන පිරිස් ය. එය බුදු දහම දක්වනුයේ අතු කඩා දිවුල් කන්නා සේ ය. මේ තුළ නැති වන්නේ ණය නොවීමේ සැපයයි.

ඉතා කුඩා වයසේ සිටම අරපිරිමැස්මට අප පුරුදු විය යුතු ය. එසේ නොවණුහොත් විනාශකාරී තත්වයට ඇද දමනු ලැබේ. තරගයට අනෙකා කරන දේ තමන් ද කිරීමට යාමත්, ප්‍රදර්ශනාත්මක ජීවිතයක් ගත කිරීමට පෙළඹීමත් මත මේ තත්ත්වය උද්ගත වේ. මූලික අවශ්‍යතා නිවැරැදිව ඉටු කරගනිමින්, ද්විතීක අවශ්‍යතා පිළිබඳ සොයා බැලිය යුතු ය.

එම අවශ්‍යතා තම මුදල් පසුම්බිය පිළිබඳ සිතා සිදුකිරීම අවශ්‍ය ය. එසේ නොවන විට නිවසට, ගමට, රටට ඔහු මහත් බරකි. තමා සතුව මුදල් නැති අවස්ථාවක ද්විතීක අවශ්‍යතා පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීමට යෑමේ දී සොරකමට හා ක්ෂණික ලාබ ලැබිය හැකි අයහපත් ක්‍රියාකාරකම්වලට පෙළඹේ.

ධනවතකු වනතුරු බලා සිටීම

ධනය ලැබෙනුයේ තමන්ට පමණක් සැප විඳීමට නොවේ. ඒ තුළ වගකීම් රාශියක් ගැබ්ව ඇත. රාසිය සූත්‍රය දේශනා කළේ තමා සුවපත් වීම, පිනවීම, බෙදා හදා ගැනීම සහ පින් කිරීමට එය යොදා ගත යුතු බව ය. පත්තකම්ම සූත්‍ර දේශනාවේ දී දැක්වූයේ තමාට මෙන්ම මව්පිය දූදරු දැසි දස් මිත්‍ර යන සියලු පාර්ශ්ව වෙනුවෙන් යුතුකම් සිදුකිරීම අවශ්‍ය බව ය. තමන්ට ලැබෙන ඉතා සුළු වැටුපෙන් වුව ද යුතුකම් සඳහා යමක් ඉතිරි කිරීම අවශ්‍ය ය. තමන් ධනවතෙක් ව මේ යුතුකම් ඉටුකිරීමට බලා සිටියහොත් එතැනදී ඒ අය ඇතැම් විට මිය ගොස් සිටිය හැකි ය. එහෙයින් අද කළ යුතු එම කාර්යය පසුවට කල් නොදැමිය යුතු ය.

අවුරුදු දහ අටක්, විස්සක් වනතුරු යැපෙන්නෙක් ලෙස ගෙවූ කාලය තරුණ තරුණියන් අමතක නොකළ යුතු ය. විස්සෙන් පසුවත් සියල්ල මව්පියන් කර දෙන තෙක් සිටීම සුදුසු නොවේ. තම මව්පියන් බොහෝ වෙහෙස මහන්සි වී තමන්ව

පෝෂණය කළ ආකාරය සිහිපත් කොට දැන් හෝ ඔවුන් ඒ වගකීමෙන් මුදා හැරිය යුතු ය. එසේ නොකොට අයහපත් ව තම ආත්මාර්ථය උදෙසා පමණක් කටයුතු සිදු නොකළ යුතු ය.

ධන පරිහරණයේ දී අනවශ්‍ය වියදම් පමණක් පාලනයට වගබලා ගැනීම ඉතා යහපත් ය. බොහෝ විට අනවශ්‍ය වියදම් වැඩිවූ විට තම යුතුකම් වගකීම් වෙනුවෙන් මුදල් ඉතිරි කිරීමට හැකියාව පවතින්නේ ද නැත. එය තම පැත්තෙන් යුතුකම් කිරීමට බාධාවකි.

ධන පරිත්‍යාගයේ දී විශේෂයෙන් ම සැලකිය යුතු අංශ ගණනාවක් පිළිබඳ තෙවන පත්තකම්ම සූත්‍රයේ දී දැක්වේ. එම යුතුකම් සමාජ ජීවිතයේ දී අප වගකීම් ය.

නෑයන්ට සංග්‍රහ කිරීම සිදුවිය යුත්තකි. එය සුවිශේෂී අවස්ථාවලදී විය හැකි ය. කෙසේමුත් තම සමීපතමයන් වෙනුවෙන් යමක් කිරීම වැදගත් ය. මන්දයත් අප ඉපදුණ දවසේ සිට ඔවුන් කුමන හෝ කැප කිරීමක් අප වෙනුවෙන් සිදු කොට ඇත. එහි මිල නොව වටිනාකම තේරුම් ගැනීම ඉතා වැදගත් ය. මුදලින් ද්‍රව්‍යයෙන් කළ නොහැකි වුව ද ශ්‍රමයෙන්, කාලයෙන් ඔවුනට සංග්‍රහ කළ හැකි ය.

වටිනාකම් රැක ගනිමු

අපේ පෙර මුතුන් මිත්තන් තුළ පැවති උදාරතම ගුණය ආගන්තුක සත්කාරයයි. ජාතියක් ලෙස ලෝකය තුළ යම් වටිනාකමක් මේ නිසාම ලැබුණි. එහි වර්තමාන පරපුර ලෙස ඒ වටිනාකම් රැක ගැනීම අත්‍යවශ්‍ය ය. අතීතයේ පාර විමසූ කෙනෙකුට වුවද පාර කියාදීමට අමතරව තැඹිලි ගෙඩියකින් වතුර කෝප්පයකින් සැලකීමට පැරැන්නෝ අමතක නොකළහ. එය ශ්‍රේෂ්ඨ ගතියකි. වර්තමානයේ ඇතැම්විට අසල්වැසියා සමඟ හෝ හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟාගැනීම ඇතැම් තරුණ පිරිස් අසමත් වේ. මෙය දියුණුව නොවේ. තමන් මේ තත්ත්වයන්ට පත්කොට මියගිය සියලු වැඩිහිටියන් උදෙසා පින් පැමිණවීම අවශ්‍ය ය.

අප රටේ බහුතරයක් සාමාන්‍ය ජනයා මේ යුතුකම ඉතා හොඳින් සිදුකරනු ලැබේ. එය පැසසිය යුතු ය. සුබ සාධනය භුක්ති විඳින පිරිස් වශයෙන් එසේ නොකිරීම පාප කර්මයකි. ලැබෙන ධනයෙන් එම යුතුකම ඉටුවීම අවශ්‍ය ය.

විශ්වාසයන්ට අනුව සසර වියදම් සකසාගත යුතු ය. පින් කිරීමට කාලයක් නැත. වඩාත්ම යෝග්‍ය කාලය තරුණ කාලයයි. තමන්ගේ පැත්තෙන් මේ සියල්ල සිදුවන්නේ නම් රටට හෝ ජාතියට, තම නිවසට, ලද මිනිස් බවට ණය නොවන කෙනෙක් බවට පත්විය හැකි ය.