Print this Article


හොඳට නරකට දෙකට සිත ම ය

හොඳට නරකට දෙකට සිත ම ය

“අපේ දරුවො ඉතින් හය හතර දන්නෙ නැති දරුවොනේ” මේ, අපේ ගම්වල මව්පියන්ගෙන් කොතෙකුත් අසන්නට ලැබෙන කියමනකි. දරුවන් තාම කුඩා වියේ පසුවන බවයි මින් අදහස් කරන්නේ.

එහෙත් මේ ප්‍රකාශයෙන් ඊට වඩා ගැඹුරු අදහසක් දක්වයි. මෙහි හය යනු දිව්‍යලෝක හයයි. හතර නම් සතර අපායයි. දිව්‍ය ලෝකවල උපත ලැබීමට නම් හොඳ වැඩ කළ යුතු ය. නරක වැඩ කරන අය සතර අපායේ උපත ලබති. මේ අනුව හය හතර නොදන්නා අය නම් හොඳ නරක නොදන්නා අයයි.

එසේ නම් හොඳ වැඩ හෙවත් ක්‍රියා මොනවාද? නරක ක්‍රියා මොනවාද? යන්න සිතා බැලිය යුතු ය. මුලින්ම නරක යැයි ලෝකයේ සම්මත ව ඇති ක්‍රියා වශයෙන් සතුන් මැරීම, අනුන් සතු දේ සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, අන් අයට ද්වේෂ කිරීම ආදී ක්‍රියා දැක්විය හැකි ය. මේ පාපකර්ම කරන අය මරණින් පසු සතර අපායේ උපත ලබති.

මේ අනුව හොඳ ක්‍රියා හැටියට සංඝරත්නයට දන්දීම, අසරණයින්ට සැලකීම, සිල් රැකීම, භාවනා කිරීම, මව්පියන්ට උපස්ථාන කිරීම, වැඩිහිටියන්ට සැලකීම ආදී ක්‍රියාවන් දැක්විය හැකි ය. මේවා පින් ය.

මේ කරුණු සලකා බැලීමේ දී හය හතර නොදැනීම යනු පින් පව් ගැන නොදැනීමයි. ධර්මයට ගරු කළ අතීත මව්පියවරුන් තුªළ පැවති දැනීම, ශ්‍රද්ධාව සුළු පටු නොවන බව පෙනේ. “හොඳට නරකට දෙකට කට ම ය” යන කියමනක් ද අප අතර ඇත. “කට හින්දයි මාළුවා නහින්නේ” යන කියමනක් ද වේ. මේ කියමන් දෙකේ අදහස අතින් වෙනසක් දක්නට ඇත. සොයා නොබලා ඇම කෑමට ගොස් විනාශයට පත්වන බවයි දෙවැනි කියමනෙන් දැක්වෙන්නේ.

එහෙත් පළමුවැනි කියමනෙන් අදහස් කරන්නේ වචනය වරදවා ගැනීම නිසා නරක ප්‍රතිඵල ලැබෙන බව, එසේ නොකළොත් හොඳ ප්‍රතිඵල ලැබෙන බවත් ය.

බොරු, කේළාම්, පරුෂ වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම, වචන වැරදි ලෙස යොදා ගැනීමයි. ඒ නිසා අන්‍යයන්ගේ අවිශ්වාසයට ලක්වෙයි. ගැරහීමට ලක් වෙයි. පිළිකුලට ලක් වෙයි. මරණින් මතු ද නරක විපාක ම ලැබෙයි. සත්‍ය වචනම කතා කිරීම, අන් අය බිඳවීමට කේළාම් නොකීම, මෘදු වචන ම කතා කිරීම, අර්ථවත් වචන ම කතා කිරීම නිසා අනුන්ගේ විශ්වාසයට ලක්වෙති. ප්‍රශංසා, සම්මාන ලබති. කවුරිැත් පි‍්‍රය කරති. මරණින් මතු ද යහපත් විපාක ලබති.

මේ හොඳ වචන හා නරක වචනවලට මුල් වූයේ කුමක්ද? යන්න පිළිබඳව සලකා බැලීම වටී. බෞද්ධයාගේ අත්පොත ලෙස සැලකෙන ධම්ම පදයේ යමක වග්ගයේ පළමු ගාථාවේ මෙසේ දැක්වේ.

මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨෙන - භාසතිවා කරෝතිවා
තථෝ නං දුක්ඛ මන්චේති - චක්ඛං ව වහතෝ පදං

“සියලු සිතුවිලිවලට මනස හෙවත් සිත මුල්වෙයි. දූෂිත වූ සිතකින් යමක් කියයි නම් හෝ කරයි නම්, හෝ දුක් විපාකම ලැබෙයි. කෙසේද යත් ගොනු පසු පස කරත්තය යන්නාක් මෙනි.”

මේ බුදු වදන අනුව කට නිකම්ම වරද ගත්තා නොවේ. වචන වරදවා ගත්තේ සිත නිසා ය. සිත දූෂ්‍ය වීම නිසා ම බොරු කියයි. කේළාම් කියයි. පරුෂ වචන කතා කරයි.

“මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන - භාසතිවා කරෝතිවා
තථෝනං සුඛ මන්වේති - ඡායාව අනපායිනී”

“සියලු සිතුවිලිවලට සිත මුල් වෙයි. ප්‍රසන්න වූ සිතකින් යමක් කියයි නම් හෝ, කරයි නම් හෝ ඒ අනුව සැප විපාක ම ලැබෙයි. ඒ කෙසේද යත් සෙවණැල්ල තමා අත් හැර නොයනා ලෙසයි.”

සත්‍ය වචන කතා කිරීම, මෘදු වචන කතා කිරීම, අර්ථවත් වචන ම කතා කිරීම සිදුවන්නේ සිත යහපත් වූ විටයි.

මව්කුසින් බිහිවන විට කුඩා දරුවාගේ සිත ප්‍රභාෂ්වර තත්ත්වයක පවතී. ක්‍රමයෙන් ඒ සිත තුළට වෛරය, ඊර්ෂ්‍යාව, ද්වේෂය ආදී සිතුවිලි ඇතුලුවීම තුළින් සිත දූෂ්‍ය වෙයි. සමාජයේ පවත්නා වාතාවරණය ඊට බලපෑමට ඉඩ ඇත. අනතුරුව එම සිතිවිලිවලට අනුව වැරදි ක්‍රියාවලට යොමුවෙයි. ඉහත දැක්වූ පරිදි වචනය පමණක් නොව සියලු ක්‍රියාවලට මුල් වන්නේ සිතයි.

කුඩා කල ඉගෙනීමට ඉතා දක්ෂ වූ, ගුරුවරයාගේ සිත් දිනාගත් අහිංසක අංගුලිමාල කෙනකු බවට පත් වූයේ සමාජයීය බාහිර බලපෑම නිසයි. දෙව්දත් තෙරුන් විසින් සිත දූෂ්‍ය කළ අජාසත් රජතුමා, තම පියා අන්ත වධ වේදනා ලබා දී ඝාතනය කළේ ය.

වෛරී සිතිවිල්ල ඉස්මතුවීම නිසාම විඩුඪභ රජතුමා ශාක්‍ය වංශිකයන් සියලු දෙනාම ඝාතනය කළහ. උදේන රජුගේ එක් බිසවක වූ මාගන්දියා සාමාවතී බිසව ඇතුළු පරිවාර කාන්තාවන් 500ක් සමඟ එතුමියගේ මාළිගාව ගිනිබත් කරවූවා ය. චිංචි මානවිකාව බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස කළා ය. ඒ සියලුම දෙනා සිත දූෂ්‍ය කරගත් නිසාම විනාශයට පත් වූහ.

බුදුරජාණන් වහන්සේගේ මෘදු වචන නිසා අංගුලිමාල, රහතන් වහන්සේ නමක් බවට පත් වූහ. ආලවක යක්ෂයා බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත්විය. රජ්ජුමාලා ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වූවා ය.

මෙසේ සිත යහපත් වූ විට යහපත් ප්‍රතිඵල ද, අයහපත් වූ විට අයහපත් ප්‍රතිඵල ද ලැබෙන බව පැහැදිලි වේ. ඒ අනුව හොඳට නරකට දෙකම සිතමය.