Print this Article


තිරෝකුඩ්ඪ පේ‍්‍රත වස්තුව: ඥාති ප්‍රේතයන්ට පින් දීමට ඥාතීන්ට සිත් නොදෙන්නේ ඇයි?

තිරෝකුඩ්ඪ පේ‍්‍රත වස්තුව:

ඥාති ප්‍රේතයන්ට පින් දීමට ඥාතීන්ට සිත් නොදෙන්නේ ඇයි?

මෙයින් කල්ප අනූ දෙකකට පෙරාතුව කාසිපුර නම් නුවරෙක ජයසේන නම් රජෙක් විය. සිරිමා නමින් දේවියක් ද මේ රජහට වූවා ය. මොවුනට දාව බිහිවූ බෝසතාණෝ ඵුස්ස නම් වූහ.

මෙම බෝසතුන් බුදු වූ කල ජයසේන සිතනුයේ තෙරුවන් කෙරෙහි මමත්වය උපදවා, කිසිවකුට බුදුන්ට උපස්ථාන කරන්නට ඉඩ නොදී තමාම කළේ ය. ජයසේන රජුගේ දෙවන බිසවගේ දරුවෝ තිදෙනෙක් වෙති. ඔවුනට හෝ බුදුන්ට උපස්ථානයට ඉඩක් නොලැබුණි.

ඔවුහු තිදෙන එකතුව උපායකින් එය ලබන්නට සිතා ප්‍රත්‍යන්ත ජනපදයෙක කැරැල්ලක් ඇති කළහ. රජතුමා එය සන්සිඳවන්නට පුතුන් තිදෙනාට භාර කළේ ය. ඔවුන් එය නිමවා පැමිණි පසු සතුටු වූ ජයසේන රජතුමා පුතුන්ට ඕනෑම වරයක් ඉල්ලන්නැයි කියා සිටියේ ය. ඔවුන් ඉල්ලා සිටියේ බුදුන්ට උපස්ථාන කරන්නට වරයක් දෙන ලෙසයි. එය හැර වෙනත් වරයක් ඉල්ලන්නැයි කීය. එහෙත් දරුවෝ එයම ඉල්ලා සිටියහ. බේරෙන්නට නොහැකි වූ විට කොපමණ කාලයකටදැයි විමසී ය. සත් අවුරුද්දක් යැයි දරුවෝ කීහ. රජතුමා එයට අකමැති විය. පසුව එය සය වසක්, පස් වසක්, සිව් වසක්, තුන් වසක් යනාදී වශයෙන් අඩු කොට අවසන් තුන් මාසයකට පමණක් ලබා දුන්නේ ය.

සතුටට පත් දරුවෝ එම තුන්මස භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරනු කැමැතිව වස් කාලයක ආරාම ආදිය පිළියෙල කොට වස් වසන්නට ආරාධනා කළහ. බුදුපාමොක් මහ සඟන එහි වැඩමවා වස් ඉටා ගත්හ. රජ දරුවෝ දහසක් පුරුෂයන් සමඟ කහ වතින්ම සැරසී උපස්ථාන කළහ.

මෙම පිරිසෙහි භාණ්ඩාගාරික වූ එක් පුරුෂයෙක් බොහෝ ශ්‍රද්ධා සම්පන්න විය. බුදුපාමොක් මහ සඟනට සකසා දන් පිදුවේ ය. එක් දවසක් මෙම පුරුෂයා මහත් ශ්‍රද්ධාවෙන් සකසා යැවූ දාන වස්තුව අතරමඟ දී ශ්‍රද්ධා නැති පිරිසක් උදුරා ගෙන ඔවුහු අනුභව කළාහු ය. අශ්‍රද්ධාවත් එම පුරුෂයෝ මහ දන් උදුරා අනුභව කළ හෙයින් මරණින් මතු නරකයෙහි උපන්හ. අනතුරුව නිරයෙන් නිරයට ම ඔවුහු ගමන් කළහ.

නැවත මෙම භද්‍ර කල්පයෙහි කාශ්‍යප බුදුහිමියන් කාලයෙහි පේ‍්‍රත අපායෙහි උපන්හ.කසුප් බුදුන් වෙතට පැමිණි මෙම පේ‍්‍රතයෝ තමන් නිදහස් කරන්නැයි ඉල්ලූහ. එහෙත් විපාකය නිමා නොවූ හෙයින් උන්වහන්සේ වදාළේ මතු ගෞතම නමින් බුදු කෙනෙක් පහළ වන බවත්, එහෙත් විපාකය විඳිය යුතු බවත්, එම බුදුන් සමයෙහි පින් අනුමෝදන් ව පේ‍්‍රත බවින් මිදිය හැකි වන බවයි.

ඒ අනුව අප ගෞතම බුදුපියාණන් ලොව පහළ වූ සමයෙහි පෙර ඵුස්ස බුදුහට උපස්ථාන කළ රජ පුත් තිදෙනා දෙව්ලොව සැප විඳිමින් සිට එයින් චුත ව දහසක් පුරුෂයන් සමඟ ජටිලයන් ව උපන.

ඵුස්ස බුදුන්ට ආරාම පිළියෙළ කොට පිදු පුරුෂයා බිම්සර රජු ව ඉපදුණි. දානය දුන් කළමනාකරුවා, විශාඛව සිටු ලෙස ඉපදුණි. ඔහුගේ බිරිඳ ධම්මදින්නා සිටු දියණිය විය. සෙසු පිරිස බිම්සර රජ පිරිස බවට පත්ව උපන්හ.

එසමයෙහි ගෞතම බුදුපියාණන් සම්මා සම්බුද්ධත්වයට පත්ව රජගහනුවර බිම්සර රජු බැහැ දකින්නට වැඩි ගමනේදී එම රජු වේළුවනාරාමය සකසා බුදුහිමියන්ට පිදීය. අනතුරුව රජ මැදුරට බුදුපාමොක් මහ සඟන වැඩමවා රජතුමා මහදන් පිළිගැන්වී ය.

එහිදී යටකී පේ‍්‍රතයෝ දැන් රජතුමා අප හට පින් දී අප නිදහස් කරනු ඇතැයි සිතා මාලිගය වට කොට සිටියාහු ය. එහෙත් රජතුමා ඥාති පේ‍්‍රතයින්ට පින් අනුමෝදන් නොකළ හෙයින් අසතුටු වූ පේ‍්‍රතයෝ රාත්‍රී රජමැදුරේ ඉතා බියකරු ශබ්ද නැංවූහ.

රජතුමා මහත් බියට ද, සන්ත්‍රාසයට ද , සංවේගයට ද පැමිණ පසුදා පහන් වූ සැණින් බුදුපියාණන් වහන්සේ හමුව එපුවත් සැලකළේ ය. එවිට බුදුරජාණන් වහන්සේ “මහරජ බිය නොවව. තොපට මෙයින් කිසිදු නපුරක් නොවන්නේ ය. තොපට යහපතක් වන්නේය. තොපගේ පුරාණ ඥාතීහු පේ‍්‍රත ලෝකයේ ඉපිද සිටිති. එම පේ‍්‍රතයෝ බුද්ධාන්තරයක් මුළුල්ලේ තොපගෙන් පින් ප්‍රාර්ථනා කරමින් ආවාහු වෙති. තොප විසින් ඊයේ මාලිගයේ දී ඔවුනට පින් නොදුන් බැවින් අසතුටුව එබදු වූ ශබ්දයක් කරන්නට ඇත.” යනාදි වශයෙන් බුදුපියාණෝ රජතුමාට කරුණු පැහැදිලි කළහ.

අනතුරුව රජතුමා දෙවන දිනයේ ද බුදුපාමොක් මහසඟන රජ මැදුරට වැඩමවා මහ දන් පිළිගැන්වීය.

ඥාති පේ‍්‍රතයෝ ද අද දිනයේ දී හෝ රජතුමා තමන් සිහිකර පින් දෙනු ඇතැයි මැදුර පිරිවරා ගත්හ. සියලුම පේ‍්‍රතයන් රජතුමාගේ ඇස් හමුවෙහි පෙනී සිටින්නට සැලැස්වු බුදුපියාණන් වහන්සේ ඔවුන් සියලු දෙනා මේ පින් අනුමෝදන් වේවායි අනුමෝදනා දහම් දෙසූහ. එකණෙහිම ඔවුහු පේ‍්‍රතාත්මවලින් නිදහස් වූහ. සෙනසුන්, වස්ත්‍ර, ආහාරපාන සියල්ල පූජා කළ පිනෙන් එම අනුමෝදන් වු පේ‍්‍රතයෝ ද නිවාස, ඇඳුම් පැළදුම්, ආහාර පානාදිය නොඅඩුව ලදහ. අනතුරුව බුදුපියාණෝ බිම්සර රජ හට මෙම තිරෝකුඩ්ඪ පේ‍්‍රත වස්තුව දේශනා කළහ.

තිරෝකුඩ්ඩෙසු තිට්ඨන්ති
සන්ධිසිංඝාට කෙසු ච
ද්වාරබාහාසු තිට්ඨනිති
ආගන්ත්වාන සකං ඝරං

ඥාති ප්‍රේතයෝ පෙර විසු ගමන්වල හෝ පෙර ඥාතින්ගේ ගමන් වෙත පැමිණ, ප්‍රාකාර බිත්ති ආදියෙහි දොරින් පිටත සතරමංසන්ධි, තුන්මංසන්ධි නගර දොරටු ආදිය ඇසුරු කොට වසති.

පහූතෙ අන්නපානම්හි
ඛජ්ජ භෝජ්ජෙ උපට්ඨිතෙ
න තෙසෙං කොචි සරති
සත්තානං කම්ම පච්චයා

බොහෝ ආහාර පාන කෑම් බීම් පිළියෙළ කරන තන්හි ද පේ‍්‍රතයන්ගේ ඥාතීන් හට ඔවුන් සිහිපත් කරන්නට පින් දෙන්නට සිහිපත් නොවෙයි. ඒ පේ‍්‍රතයන්ගේ අකුසල කර්මය හේතුවෙනි.