Print this Article


දීඝවාපී මහ සෑ රදුන්ට උපහාර පිණිස ඉදි වූ දීඝවාපී පරිවාර දාගැබ් රාජමහා විහාරය

දීඝවාපී මහ සෑ රදුන්ට උපහාර පිණිස ඉදි වූ දීඝවාපී පරිවාර දාගැබ් රාජමහා විහාරය

ඈත අතීතයේ මහාවිහාර සංකීර්ණය තුළ ම මහා දාගැබ ආශ්‍රිතව සුදුසු ස්ථානවල පරිවාර දාගැබ් ඉදිකරවීමේ සම්ප්‍රදායක් ලංකාවේ විවිධ ස්ථාන තුළින් හමු වෙයි. ප්‍රධාන දාගැබ් වහන්සේ වෙත සිදු කරන පූජෝපහාරයක් වශයෙන් සේ ම එම දාගැබ් වහන්සේගේ ගාම්භීරත්වය වැඩිකිරීම මෙලෙස පරිවාර ස්තූප තැනවීම තුළින් අපේක්ෂා කරන ලදැයි විශ්වාස කළ හැකි ය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් සුපූජනීයත්වයට පත් දීඝවාපී පුදබිම නැෙඟනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. නටබුන් ව ඇති දීඝවාපී මහ සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමත්, එම ප්‍රතිසංස්කරණ ආරම්භයේ දී සිදු කළ පුරාවිද්‍යා කැණීම්වලදී වැදගත් පුරාවස්තු සහ ධාතූන් වහන්සේලා හමුවීමත් නිසා දීඝවාපී පුදබිම මෑත කාලයේ වඩාත් අවධානයට යොමු විය.

පණ්ඩුවාසුදේව රජතුමාගේ අග මෙහෙසිය වූ ශාක්‍යවංශික භද්දකච්චායනා කුමරියගේ සහෝදරයකු වූ දීඝායු කුමරුන් ඇරඹූ දීඝගාම ජනපදය වීම සහ මෙහි දික් වූ හැඩයෙන් යුතු වැවක් පිහිටීම නිසා දීඝවාපිය නම් විය. මෙම ප්‍රදේශය පණ්ඩුකාභය රජතුමාගේ පියා වූ දීඝගාමිණී කුමරුන්ගේ නිජබිම බවට ද අදහස් පළ වී ඇත.

දීඝවාපී පුදබිමට නුදුරින් වූ සෙල්ලිපියකින් හමු වූ දිගවපි පොරණ නම් වදනට අනුව නූතන නැගෙනහිර පළාතේ දීඝවාපිය යනුවෙන් හඳුන්වන ප්‍රදේශය අතීත දීඝවාපිය ම යැයි තහවුරු කෙරෙතැයි එල්ලාවල මේධානන්ද මාහිමිපාණන් වහන්සේ සඳහන් කරති.

මහාවංසය, දීපවංසය වැනි මූලාශ්‍රවලට අනුව සුමන සමන් දෙවිඳුන්ගේ ඇරයුමෙන් සමනොළ ගිරි හිස සිරිපතුල් සළකුණ පිහිට වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේලා සමග දීඝවාපියට වැඩම කොට සමවත් සුවයෙන් වැඩ සිටි බව සඳහන් වෙයි.

සෙල්ලිපි සාධක අනුව රෝහණ රාජ්‍යයෙහි ප්‍රාදේශීය පාලකයන් වූ ගෝඨාභය සහ කාවන්තිස්ස රජවරුන් රෝහණේ පාලනය ලබා ගැනීමට පෙර දීඝවාපී ප්‍රදේශයේ හිඳීමින් තත්කාලීන රෝහණයෙහි රජවරුන්ගේ පරිපාලන කටයුතු සඳහා සහය වූ අතර, කාවන්තිස්ස රජතුමා විසින් ද එම සිරිත ඉදිරියට ගෙනයමින් සිය පුත් වූ සද්ධාතිස්ස කුමරුන් දීඝවාපී පාලනයට යොමු කළ තොරතුරු ධාතුවංසයෙහි කියවෙයි.

දුටුගැමුණු රජතුමාගේ ත්‍රිසිංහලය එක්සේසත් කිරීමේ සංග්‍රාමයේ දී රටෙහි ආර්ථිකය දුර්වල නොවීම පිණිස සද්ධාතිස්ස කුමරුන් දීඝවාපියෙහි හිඳීමින් කටයුතු සංවිධානය කරන ලදී. දුරාතීතයේ පටන් රටෙහි ඉමහත් වැදගත්කමක් දීඝවාපී ප්‍රදේශයට හිමි වූ අන්දම මෙම තොරතුරුවලින් හෙළිදරව් වෙයි.

සශ්‍රීකබවින් හා වැදගත්කමින් අනූන වූ දීඝවාපී ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේගේ දික් නිය ධාතූන් වහන්සේ නමක් නිධන් කරවා සද්ධාතිස්ස රජතුමා විසින් දීඝවාපී දාගැබ් වහන්සේ කරවන ලදැයි සැළකෙන අතර, ඉන් පසු විවිධ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කරවා ඇත.

අනුරාධපුර මහාවිහාරය, අභයගිරිය, රුහුණේ තිස්සමහාරාමය, සිතුල්පව්ව සේ ම දීඝවාපී විහාරය ද මහ රහතන් වහන්සේලා ඇතුළු විශාල භික්ෂුන් වහන්සේලා පිරිසකට වාසභූමි වූ විහාර සංකීර්ණයක් ලෙස පිළිගැනීමයි.

ඈත අතීතයේ මහාවිහාර සංකීර්ණය තුළ ම මහා දාගැබ ආශ්‍රිතව සුදුසු ස්ථානවල පරිවාර දාගැබ් ඉදි කරවීමේ සම්ප්‍රදායක් ලංකාවේ විවිධ ස්ථාන තුළින් හමු වෙයි. ප්‍රධාන දාගැබ් වහන්සේ වෙත සිදු කරන පූජෝපහාරයක් වශයෙන් සේ ම එම දාගැබ් වහන්සේගේ ගාම්භීරත්වය වැඩිකිරීම පිණිස මෙලෙස පරිවාර ස්තූප තැනවීම තුළින් අපේක්ෂා කරන ලදැයි විශ්වාස කළ හැකි ය.

දීඝවාපී මහ සෑ රදුන් වහන්සේ වටා ස්ථාන හතරක ඉදිකළ මෙවැනි පරිවාර දාගැබ් වහන්සේලා සිව් නමක් ඒ අවට ප්‍රදේශවලින් හමු වෙයි.

මහා දාගැබ් වහන්සේලා ආසන්නයේ ඉදිකළ පරිවාර දාගැබ් වහන්සේලා කවර කලෙක කවුරුන් විසින් ඉදි කරන ලදැයි ද යන තොරතුරු සෙල්ලිපි හෝ වංසකථාවන්හි සඳහන් වන අවස්ථා දුලබ ය. මෙම දීඝවාපී පරිවාර සෑ රදුන් වහන්සේලා ද කවර කලෙක ඉදි වුණි දැයි නිශ්චිතව ම හඳුනා ගැනීමට මූලාශ්‍ර හමු නොවෙයි.

පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජුට එරෙහිව සටන් වැදි සුගලා දේවියගේ පාලන බලයට යටත්ව පැවති දීඝවාපී ප්‍රදේශය ඉන් පසු ජනශුන්‍යවීමෙන් පසු මහනුවර යුගයේ රජ කළ සෙනරත් රජුගේ අවධියේ දී ලන්දේසීන්ගේ තාඩන පීඩනවලට ලක් වූ මුස්ලිම් වෙළඳුන් පදිංචි කරවන ලදී.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දීඝවාපියට පැමිණ නටබුන්ව පැවති විහාරස්ථානය සහිත ප්‍රදේශය වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය වූ කොකුන්නෑවේ සංඝකීර්ති මාහිමියන්ගේ ශිෂ්‍ය වූ බණ්ඩිගොඩේ නිග්‍රෝධ හිමියන් වෙත පිරිනමා ඇත. බණ්ඩිගොඩේ නිග්‍රෝධ හිමියන්ගේ ශිෂ්‍ය පරපුර ඇසුරෙන් ව්‍යාප්ත වූ පොතුබද්දන විහාර පරපුරෙහි හිමිවරුන් දීඝවාපී රාජමහා විහාරය ආරක්ෂා කළහ.

පොතුබද්දන, ටැම්පිට සහ දීඝවාපී රජමහා විහාරවල ආධිපත්‍යය හෙබ වූ නාපේ රේවත හිමියන් 1818 නිදහස් සටනට දායක වීම නිසා ඉංග්‍රීසීන් විසින් වෙඩි තබා ඝාතනය කර දැමීමෙන් පසු දීඝවාපී රජමහා විහාරය සහ ප්‍රදේශය ම අරාජිකත්වයට පත්ව වනගත විය.

නැවත වර්ෂ 1902දී ටැම්ගොඩවත්තේ බුද්ධරක්ඛිත හිමියන් දෙවසරක් දීඝවාපී විහාරයේ වැඩ සිටියහ. ඉන්පසු වර්ෂ 1916දී කොහුකුඹුරේ රේවත හිමියන් දීඝවාපී පුදබිම නැවත සොයා ගනිමින් එහි නිත්‍යවාසීව වැඩ හිඳීමින් වර්ෂ 1950දී අන්තවාදී සාහසිකයකු අතින් ඝාතනය වන තෙක් පුදබිමට පුනර්ජීවනය ලබා දුන්හ.

තත්ශිෂ්‍ය නන්නපුරාවේ බුද්ධරක්ඛිත මාහිමියන් වහන්සේ 2016 දක්වා දීඝවාපී රාජමහා විහාරාධිපති ධුරය හෙබ වූ පසු වර්තමානයේ දී ශාස්ත්‍රපති මහඔය සෝභිත නාහිමියන් වහන්සේ දීඝවාපී රාජමහා විහාරාධිපති පදවිය හොබවති.

දීඝවාපී රාජමහා විහාරස්ථානය මෙලෙස පුනර්ජීවනය ලැබුව ද පරිවාර විහාරාරාමයන්හි තත්ත්වය ඛේදනීය විය. එක් පරිවාර දාගැබ් වහන්සේ නමක් මින් විසි පස්වසරකට පමණ පෙර අපරික්ෂාකාරීව ධාවනය වූ පස් කැපුම් යන්ත්‍රයකට ගොදුරුව ගල්රෝලකට හසු වී විනාශ වූ පුවත් අසන්නට ලැබුණි.

පරිවාර දාගැබ් වහන්සේලා ද අද වනවිට පුනර්ජීවනය ලබමින් පැවතීම සතුටුදායක සංසිද්ධියකි.

දීඝවාපී පරිවාර දාගැබ් වහන්සේලා අතුරින් සැදැහැවතුන්ගේ වඩාත් ම බහුමානයට පත්වන දාගැබ් වහන්සේ වෙත දීඝවාපී මහා සෑරදුන්ට සැතැප්ම කිහිපයක් දුරින් දීඝවාපී මහාවිද්‍යාලය අසලින් හැරී ගමන් කළ විට ළඟා විය හැකිය.

වනගතව, අන්තවාදීන් සහ නිධන් හොරුන්ගේ අභියෝගයන්ට ලක්වෙමින් පැවති එම පුදබිම නැගෙනහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති රතනපාල පෝද්දිවෙල ශ්‍රී චන්දානන්ද නාහිමිපාණන් වහන්සේගේ ආධිපත්‍යයට ලක්වීම විහාරස්ථානයේ නව යුගයක ආරම්භය විය. තවත් පරිවාර චෛත්‍යරාජයන් වහන්සේ නමක් දීඝවාපී සෑයට ගමන් කරන මාර්ගයේ අතරමග නැවත පුනර්ජීවනයට ලක් වෙමින් පවතිනු දක්නට ලැබේ. ත්‍රස්තවාදීන්ගේ සහ විවිධ අන්තවාදීන්ගේ ආක්‍රමණ සහ තර්ජන හමුවේ දීඝවාපී මහාවිහාර සංකීර්ණයේ සංවර්ධනය ඇන හිට තිබුණු අවධියක 2009 වර්ෂයෙන් පසු පරිවාර විහාරාරාමවල යළිත් භික්ෂුන් වහන්සේලා පදිංචි කරවමින් පසුගිය 2020 වර්ෂ අවසානයේ දී දීඝවාපී මහා සෑ රදුන් වහන්සේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම අතිශය වැදගත් ශාසනික සිදුවීමකි.