Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 34 කොටස: නාගදීප නා හිමියෝ ගිලන් වෙති

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 34 කොටස:

නාගදීප නා හිමියෝ ගිලන් වෙති

නාගදීප විහාරස්ථානයේ අනාගත විහාරාධිපති ධුරය බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන්ට පැවරුව ද උන් වහන්සේ පැවසුවේ එය පදුමකිත්ති හිමියන්ට ලබා දෙන ලෙසත්, තමන් වහන්සේ නල්ලතන්නිය විහාරස්ථානයේ භාරකාරත්වය බාර ගන්නා බවත්ය.

සීවලී හිමියන්, පදුමකිත්ති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිවු නමක් විසින් එයට එකඟත්වය පළ කර ලිපියකට අත්සන් කර ධම්මකිත්ති නා හිමියන් වෙත ලබා දෙන ලදී.

එහෙත් කොළඹ පැමිණි අවස්ථාවක දී වෙනත් හිමිනමක් පදුමකිත්ති හිමියන්ට පවසා සිටියේ වෙනත් කතාවකි.

‘‘සීවලී හාමුදුරුවො දන්නව නාගදීපෙ ඉන්න එක ලේසි වැඩක් නෙමෙයි කියල, කොයි වෙලාවෙ මෝටාර් එකක් වදියිද දන්නෙ නැහැනෙ, ඒකයි ඔය නල්ලතන්නිතය බාර ගත්තෙ, නාගදීපෙ පැත්තක තියලා‘‘ පදුමකිත්ති හිමියන් සිනාසී සිටියා මිස කිසිවක් පැවසුවේ නැත.

එම සිදුවීමෙන් මාස කිහිපයකට පසුව ධම්මකිත්ති නා හිමියෝ දඹදිව වන්දනාව පිණිස වැඩම කෙළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ රජය සමයේ එල්ටීටීඊය සමඟ ආරම්භ කළ සටන් විරාමය නිසා ය. එම වකවානුවේ විහාරස්ථානයේ ප්‍රධානියා යන හැඟීම පදුමකිත්ති හිමියන්ට මුල්වරට ඇතිවූයේ පැමිණි සියලු දෙනාම උන් වහන්සේටත්, නායක හිමියන්ට නොදෙවෙනි ගෞරවයක් දැක්වීම හේතුවෙනි.

වන්දනාව පිණිස වැඩම කළ ධම්මකිත්ති හිමියන් සති කිහිපයකට පසුව වැඩම කළ ද උන් වහන්සේ එතරම් හොඳ ශරීර සෞඛ්‍යකින් පසු නොවීය. අ‍නෙකක් තබා විහාරස්ථානයේ වැඩ කටයුතුවලින් තරමක් ඈත්වී සිටි උන් වහන්සේ විහාරස්ථානයේ ආගමික වැඩ කටයුතු බලන්නැයි පදුමකිත්ති හිමියන්ට නිරතුරුව ම පැවසූහ. එවකට උන් වහන්සේ 85 වැනි වියෙහි පසුවූහ.

සටන් විරාමයක් මැද වුව ද මාස ගණනාවකින් විහාරස්ථානයේ පඬුරු පෙට්ටිවලට ආධාර ලැබුණේ නැත. යම් හෝ සුළු පඬුරක් වැටුණා නම් ඒ හමුදාවේ නිලධාරීන්ගේ පවුලේ අය වන්දනාව පිණිස පැමිණි අවස්ථාවක දී පමණි.

පදුමකිත්ති හිමියන් ඒ පඬුරු එකතු කර නාහිමියන්ට බාර දෙන ලදී. එහෙත් වෙනදා මෙන් නා හිමියන් වැඩි කතාබහක් නොකරන ලදී. එසේ වැඩි කතාබහක් නොමැතිව සිටි ධම්මකිත්ති නා මියෝ කාමරයේ වැඩ සිටීමට වැඩිරුචියක් දැක්වූහ.

පදුමකිත්ති හිමියන් දිනක් පඬුරු ගෙන ගොස් උන් වහන්සේට ලබා දුන් විට නාහිමියන් සයනය මත නිහඬව සිටියහ.

පදුමකිත්ති හිමියන් ගොස් නාහිමියන්ට කතා කළ ද ඒ දෙසවත් නොබැලූහ. හිස මඳක් හරවා ආපසු පෙර කාර්යයේ ම උන් වහන්සේ නිරත විය. එදින දානය පවා වැළඳීමට උන් වහන්සේ නොවැඩියහ. අවේලාවේ දානය පිළිගන්වන්නට සිදුවූයේ ද ඒ නිසා ය. එදින සවස්වරුවේ නා හිමියන්ගේ විශාල වෙනසක් පදුමකිත්ති හිමියෝ දුටුවහ.


පදුමකිත්ති හිමියන් හිමිවරු කිහිප නමක් සමඟ යුද සමයේ දී

නා හිමියන්ට දානය ගැනීම පවා අමතක විය. එක තැන බොහෝ වේලාවක් රැඳී සිටින්නට උන් වහන්සේ උත්සාහ ගත්හ. අවසානයේ උන් තැනින් නැඟී සිටින්නට පවා නොහැකිව උන් වහන්සේ අපහසුවෙන් කල් යවන්නට විය. විහාරස්ථානයේ නැවතී සිටි අත් උදවුකරුවන් සමඟ එක්ව නා හිමියන්ගේ මුව දෝවණය කරන්නටත්, දානය ලබා දෙන්නටත් පදුමකිත්ති හිමියෝ කටයුතු කළහ. නා හිමියන්ගේ ශරීර ශක්තිය මෙන්ම කල්පනා ශක්තිය ද ක්‍රමයෙන් අඩුවන්නට විය.

නාගදීප දූපතේ වෛද්‍යවරයා ද පැමිණ පරීක්ෂා කළ බැලූ අතර ඔහු පැවසුවේ ද වයස්ගත වීමත් සමඟ නාහිමියන්ගේ කල්පනා ශක්තිය අඩු වී ගොස් ඇති බවකි.

එය යථා තත්ත්වයට පත් කිරීම අපහසු බවත්, හැකිතරම් උන් වහන්සේට සැලකීමට කටයුතු කරන ලෙසත් වෛද්‍යවරයා පැවසුවේ ය.

දිනෙන් දිනම නා හිමියන්ගේ රෝගී තත්ත්වය වර්ධනය වන්නට විය. රෝගී තත්ත්වය වැඩි වීම නිසා නා හිමියන්ට ඇඳෙන් නැඟිට ගන්නටවත් නොහැකි තත්ත්වයක් ඇති විය.

පදුමකිත්ති හිමියන්ට ඉන්පසු රාත්‍රියට පවා නින්දක් නොවීය. නින්දත් නොනින්දත් අතර රාත්‍රිය ගත කළ උන් වහන්සේ අලුයම 4.00ට අවදිව නා හිමියන්ගේ කාමරයට වැඩම කරති. නාහිමියන්ට වැසිකිළියටවත් යා ගත නොහැකි ය. විහාරස්ථානයේ ආවතේව කරන දෙදෙනකුගේ උදවුවෙන් නා හිමියන් ඇඳෙන් ඔසවා පසුව පුයර තවරා රත් පැහැ ගැන්වී ඇති තැන්වල ඕඩිකෝලේන් දමා අලුත් සිවුරක් නා හිමියන්ට අන්දවා ඉදිරිපස හාන්සි පුටවේ හාන්සි කරති.

උදෑසන 6න් පසුව මේ කාර්යයන් සඳහා නාවික හමුදාවේ හා යුද හමුදාවේ ද සහාය පදුමකිත්ති හිමියන්ට ලැබුණි.

එසේ වුවත් පදුමකිත්ති හිමියන් නා හිමියන්ගේ මානයෙන් ඈත් වූ විට නා හිමියෝ ඇස් කරකවා උන් වහන්සේ සොයති. එයින් පදුමකිත්ති හිමියන්ට විහාරස්ථානයේ කටයුතු පවා අතපසු වු නමුත් නා හිමියන් වෙනුවෙන් ඒ සියල්ල කෙසේ හෝ ඉටු කරන්නට කටයුතු කළහ.

යන්තම් කතා බහ කළ හැකි විට පවා නා හිමියන් උත්සාහ කෙළේ පදුමකිත්ති හිමියන්ට ඔවදන් ලබා දෙන්නටය.

ඒ වන විටත් නා හිමියන් ආහාරය පිණිස ගත්තේ බත් කටවල් තුනක් හෝ හතරක් හෝ පමණි.

‘‘ කාත් එක්කවත් පැටලෙන්න යන්න එපා... නාගදීපෙ රැක ගන්න.... මේ මිනිස්සු හරි හොඳයි. එයාලත් එක්ක හොඳීන් ඉන්න......‘‘ නා හිමියන් සෙමෙන් තෙපළන වදන් පෙළකි ඒ.

‘‘එහෙමයි හාමුදුරුවනේ.. එහෙම තමයි මම වැඩ කරන්නෙ‘‘ පදුමකිත්ති හිමියන්ගේ පිළිතුර වන්නේ ය.

නා හිමියන් ආහාර ගැනීම පවා ක්‍රමයෙන් අඩු කරන්නට විය. එම නිසා කොළ කැඳ, බත් කැඳ සාදා නා හිමියන්ට පොවන්නට පදුමකිත්ති හිමියන් විසින් කටයුතු කරන ලදී.

ඒ වන විටත් ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබූ නිසා පදුමකිත්ති හිමියන්ට ඒ කටයුතු කරන්නට වූයේ මරණය ද අතින් ගෙන ය. රෝගය උත්සන්න වූ නා හිමියන්ට ප්‍රතිකාර කරන්නට පලාලි හමුදා රෝහල වෙත ගෙන යන්නට දින ගණනාවක් බලා සිටින්නට සිදු විය.

ඒ ත්‍රස්තවාදීන්ගේ මෝටාර් ප්‍රහාර පවා එල්ල වූ නිසා ය.

කුරිකට්ටුවාන් ජැටියේ කඳවුරු බැඳගෙන සිටි ත්‍රස්තවාදීන් විසින් දිනපතාම නාගදීපයට ප්‍රහාර එල්ල කරන ලදි. හමුදා කඳවුරු විහාරස්ථානය ආසන්නයේ ම තිබුණු නිසා බොහෝ මෝටාර්වලින් විහාරස්ථානයටද හානි සිදු විය.

නාහිමියන් දිනෙන් දිනම අසාධ්‍ය තත්ත්වයට පත්වීම ගැන පදුමකිත්ති හිමියෝ දැඩි ලෙසින් කම්පාවට පත්වූහ. කුමන කාර්යයක් කළ ද පදුමකිත්ති හිමියන්ගේ සිත තිබුණේ නා හිමියන්ගේ අසනීපය ගැන ය.