Print this Article


නිදහස් සටනේ පුරෝගාමී ධීර වීර ගිහි සුධීමත්හු

නිදහස් සටනේ පුරෝගාමී ධීර වීර ගිහි සුධීමත්හු

ක්‍රි.ව 1505-1658 කාලය පෘතුගීසීන් යටතේ, කි.ව 1658-1796 කාලය ලන්දේසීන් යටතේ හා ක්‍රි.ව 1796-1948 කාලය ඉංග්‍රීසීන් යටතේ ද වශයෙන් පුරා වර්ෂ 443ක් මුළුල්ලේ ශ්‍රී ලංකාද්වීපය, සම්බුද්ධ ශාසනය හා බෞද්ධ සංස්කෘතිය අධිරාජ්‍යවාදීන්ගේ නා නා විධ තාඩන පීඩනයන්ට ලක්ව පැවතුණි.

ඒ අනුව කතෝලික, රෙපරමාදු ආගමික හා සංස්කෘතික සිරිත්විරිත් වලට යටත්ව බැට කෑ ශ්‍රී ලාංකික ජනතාව ක්‍රි.ව 1815.03.02 වන දින බ්‍රිතාන්‍යයන් සමඟ උඩරට ගිවිසුමට එළඹීමත් සමඟ කබලෙන් ලිපට වැටුණාක් මෙන් විය. ඒ ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණය පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණවලට වඩා ප්‍රබල වූ බැවිනි.

මේ සමඟ ක්‍රිස්තියානි හා මිෂනාරි බෞද්ධ විරෝධී ක්‍රියාමාර්ග තුළ ශ්‍රී ලාංකේය ජනතාව තවදුරටත් අසරණ වූහ. උඩරට ගිවිසුමේ පස්වැනි වගන්තිය වූ “බුදු සසුන ආරක්ෂා කිරීම හා පවත්වා ගැනීම කෙරෙහි අනුග්‍රහ දැක්වීම” නම් ගිවිස්නාව කඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 1818 සිට 1948.02.04වන දින දක්වා ඉංග්‍රීසි පාලනය පරාජය පිණිස සිදු කළ අරගලය ‘නිදහස් සටන‘ යනුවෙන් අර්ථකථනය කෙරේ. මෙම සටනේ පුරෝගාමීන් ලෙස අප්‍රමාණ කැපවීම් කළ පැවිදි-ගිහි උභය පාර්ශ්වයේ ම බොහෝ පිරිසක් වූ හ.

ක්‍රි.ව 1817 සැප්තැම්බර් මාසයේ දී මොණරවිල කැප්පෙටිපොළ දිසාවගේ (ගොලැහෙල කැප්පෙටිපොළ හා මොණරවිල කුමාරිහාමි යන දෙදෙනාට දාව උතුරු මාතලේ උඩසිය පත්තුව උඩුගොඩ නම් ග්‍රාමයේ උපත ලදි) නායකත්වයෙන් ඇරඹි නිදහස් සටන සිංහලේ පළමු නිදහස් සටන ලෙස හැඳීන්වේ. මේ සඳහා පුරෝගාමී වූවන් අතර කොහුකුඹුරේ රටේරාළ, පිළිමතලාවේ අධිකාරම්, මඩුගල්ලේ දිසාව හා කිවුලේගෙදර මොහොට්ටාල යන අය ද වූහ. ක්‍රි.ව 1818.02.18වන දින බ්‍රවුන්රිග් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා මේ සටනට සම්බන්ධ කැප්පෙටිපොළ ඇතුළු දහතුන් දෙනකු රාජද්‍රෝහීන් ලෙස නම් කළේ ය. සිංහල අධිපතීන් ඉංග්‍රීසි පාලනයට පක්ෂපාතී වීම හා වරප්‍රසාද අපේක්ෂාවෙන් ඉංග්‍රීසීන්ට ඔත්තු සැපයූ මුසල්මානුවන් නිසා මෙම සටනින් කැප්පෙටිපොළ පරාජයට පත් විය. අවසානයේ දී, ඉංග්‍රීසීහු මොණරවිල කැප්පෙටිපොළ හා මඩුගල්ලේ දිසාව යන දෙදෙනාම ක්‍රි.ව 1818.11.26වන දින බෝගම්බර දී හිස ගසා මරා දමනු ලැබූහ.

ඔවුන්ගේ අවසාන කැමැත්ත වූයේ දළදා වහන්සේ වන්දනා කිරීම ය. එහිදී මොණරවිල කැප්පෙටිපොළ සතුව පැවති උඩ තුප්පොට්ටිය (ඉණ වටා ඔතන රෙද්ද) දළදා වහන්සේට පූජා කොට ”තමා කළ සියලු පින් බලයෙන් හිමාලයේ ඉපිද භාවනානුයෝගී ව සිට අවසන මෛත්‍රී බුදුන්ගෙන් ධර්මය අසන්නට ලැබේවා” යැයි ප්‍රාර්ථනා කළේ ය.

1848 දී පුරන් අප්පුගේ (කැලිස්තෝරු ප්‍රනාන්දු හා හෙලේනා හාමිනේ යන දෙදෙනාට දාව ක්‍රි.ව 1813.11.12වන දින මොරටුව උයන නම් ගමෙහි උපත ලදි) නායකත්වයෙන් ඇරැඹි නිදහස් සටන සිංහලයේ දෙවැනි නිදහස් සටන ලෙස දැක්වේ. මෙම කාලය වනවිට ‘මුඩුබිම් පනත‘ යටතේ සිංහලයාගේ ඉඩම් කොල්ලකෑම අධිකව සිදු වුණි. තුවක්කු, ඔරු, බලු, පාර, ඉස්තෝප්පු හා කරත්ත ආදී බදු වර්ග රැසක් පටවා ඉංග්‍රීසිහු තම අධිරාජ්‍යය පෝෂණය පිණිස ආදායම් මාර්ග සෙවූහ.

දළදා මාළිගයට දුන් ආධාර පවා නතර කළ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා භික්ෂූන් වහන්සේලා ද පීඩනයට ලක් කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස 1848.07.20 වනදින දඹුලු විහාරයට රැස් වූ සටන්කාමී ජනතාව ආයුධ සන්නද්ධ සේනාවක් සංවිධානය කළ පුරන් අප්පු කුඩාපොළ හිමියන් අතින් ඔටුණු පැළඳ වලිසිංහ රජු නමින් අභිෂේක ලැබී ය.

ගොංගාලේගොඩබණ්ඩා, ඩිංගිරාළ හා දිනේස් යටතේ සේනා තුනක් සංවිධානය කළ පුරන් අප්පු 1848.07.26වනදින මාතලේ සටන ජය ගත්තේ ය. සෙංකඩගල අල්ලා ගැනීම පිණිස ඉදිරියට ඇදුණු පුරන් අප්පු ප්‍රධාන සේනාව නවීන ගිනි අවි සහිත ඉංග්‍රීසි හමුදාව හමුවේ පරාද විය. ගොංගාලේගොඩබණ්ඩා හා ඩිංගිරාළ යටතේ වූ සේනා ද පරාද කළ ඉංග්‍රීසිහු ඔවුන් ද අත්අඩංගුවට ගත්හ. රාජද්‍රෝහී චෝදනා මත ඩිංගිරාළ ද පොදු ස්ථානයක එල්ලා මරා දැමීමට ඉංග්‍රීසීහු නියෝග කළහ. ගොංගාලේගොඩ බණ්ඩාට කස පහර සීයක් දී රටින් පිටුවහල් කරන ලදි.

සේනා සංවිධානය, තුවක්කු දැරීම හා රාජ්‍යය පැහැර ගැනීමට තැත් කිරීම යන චෝදනාවලට ක්‍රි.ව 1848.08.08වන දින පුරන් අප්පු වෙඩි තබා මරා දැමීමට ටොරින්ටන් ආණ්ඩුකාරයා නියෝග කළේ ය. ඔහුගේ මරණයට පෙර ඔහු ”නායකත්වය දීමට මා වැනි තව හය දෙනකු සිටියා නම් නුවර අඩවියේ එක සුද්දෙකුවත් ජීවත් වන්නේ නැහැ” යනුවෙන් පැවසී ය. මේ අයුරින් සිංහල දේශයේ හා ජාතියේ නිදහස වෙනුවෙන් පුරන් අප්පු තම ජීවිතය පූජා කළේ ය.

නැවතත් නිදහස වෙනුවෙන් පුරෝගාමී අවධියක් එළැඹෙනුයේ ක්‍රි.ව 1873 දී පැවැති පානදුරාවාදය නම් බෞද්ධ හා ක්‍රිස්තියානි දෙපක්ෂය අතර වූ මහා වාදය පැවති කාලයයි. මෙම වාදයෙහි ඉංග්‍රීසි මාධ්‍ය ග්‍රන්ථයක් අමෙරිකාවේ සිටි හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමාට (හැන්රි චයිකෝප් ඕල්කොට් හා ඇට්ලි ස්ටීල් යන දෙදෙනාට දාව ක්‍රි.ව 1832.08.02වන දින අමෙරිකාවේ නිව්පර්සි ප්‍රාන්තයේ උපත ලදි) ලැබුණි. බෞද්ධ දර්ශනය පිළිබඳව අතිශයින් පැහැදුණු හෙතෙමේ ක්‍රි.ව 1875 දී පරමවිඥානාර්ථ සමාගම බිහිකළේ මිනිසුන් අතර භේද දුරලමින් සහෝදරත්වය වර්ධනය මෙන්ම සෑම ආගමක්, දර්ශනයක් හා න්‍යායක්ම අවබෝධය පිණිස දිරිදීම වෙනුවෙනි.

ක්‍රි.ව 1880.05.17වන දින ශ්‍රී ලංකාවට පැමිණි හෙතෙම බුදු දහම වැළඳගෙන ක්‍රි.ව 1880.06.08වන දින කොළඹ පරමවිඥානාර්ථ සමාගම පිහිටුවීය. ක්‍රි.ව 1883 දී බෞද්ධ පෙරහරකට කොටහේනේ පල්ලිය අසලදී කිතුණු ලබ්ධිකයෝ ගල් මුල් ප්‍රහාර එල්ල කළහ. සාහසිකයන්ට දඬුවම් කිරීම වෙනුවට ඉංග්‍රීසීහු බෞද්ධ පෙරහර තහනම් කළහ. මේ අනුව බෞද්ධ පෙරහර තහනම් කිරීම වළක්වාලීම, වෙසක් පොහෝ දින රජයේ නිවාඩු ලබාදීම හා බෞද්ධ ආවාහ-විවාහ පල්ලියේ සිදු කිරීම නවතා බෞද්ධ විවාහ ලේකම්වරුන් පත් කිරීම ආදී බෞද්ධ අයිතිවාසිකම් පිළිබඳව ඇතුළත් සංදේශයක් ඕල්කට්තුමා විසින් ක්‍රි.ව 1884 දී බ්‍රිතාන්‍යයට ගොස් එහි යටත් විජිත භාර ලේකම්වරයා වූ ඩර්බ් සාමිවරයා වෙත ඉදිරිපත් කරන ලදී. ඒ සියලු ඉල්ලීම් ජයගත් හෙතෙමේ නැවත ලංකාවට පැමිණියේ ය.

බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීම හා ඒ තුළින් ජාතිය නඟා සිටුවීමේ වගකීම උරදරා ගත් ඕල්කට්තුමා විසින් පාසල් මඟින් බලෙන් ආගමට හරවා ගැනීමේ නොහොබිනා පිළිවෙත අතහැර දැමිය යුතු බවත්, බෞද්ධ පාසල්වලට එරෙහිව සටන් වැදීම නින්දා සහගත බවත් දක්වමින් බෞද්ධ පාසල් පරම විඥානාර්ථ සමාගමේ පාලනය යටතේ වර්ධනය කරන ලදි. දහම් පාසල් ද නඟා සිටුවන ලදි. ඔහු විසින් ඇති කළ පුනර්ජීවනය අවි ආයුධ වලින් සිදුකළ නොහැකි තරම් බලසම්පන්න වූයේ සිය ධනය, කාලය, ශ්‍රමය හා දැනුම මගින් ඉංග්‍රීසි පාලනය දුර්වල කිරීමට කැප වූ හෙයිනි.

මේ අයුරින් ශ්‍රී ලාංකේය ජනයාගේ නිදහස වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ එතුමා ක්‍රිස්තු වර්ෂ 1907.02.07වන දින අභාවප්‍රාප්ත විය.

අනගාරික ධර්මපාලතුමා (දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා ගුණවර්ධන යන දෙදෙනාට දාව ක්‍රි.ව 1864.09.17වන දින උපත ලදි) ද නිදහස් සටනේ පුරෝගාමී වීරවරයෙකු ලෙස නම් කළ හැකි ය.

ඔහු ඩේවිඩ් හේවාවිතාරණ නම් විය. කිතුණු පාසලක අධ්‍යාපනය ලබමින් නිවසේ දී බෞද්ධ පරිසරයකට හුරුවීම නිසා බෞද්ධ හා බටහිර සංස්කෘතියේ වෙනස මොහු තදින් වටහා ගත්තේ ය. ඔහු ‘ඩේවිඩ්‘ යන බටහිර නාමය වෙනුවට ධර්මපාල යන නාමය භාවිත කළේ එබැවිනි.

ක්‍රි.ව 1886 දී ඕල්කට්තුමා බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් අරමුදලක් ඇති කිරීම පිණිස මුදල් එකතු කිරීමට ගම්වල සැරිසැරීමට තීරණය කළ ද කිසිවකු ඒ සඳහා ඉදිරිපත් නොවූවෙන්, ධර්මපාලතුමා ඒ සඳහා ඉදිරිපත් විය. සිංහලයන් ඉංග්‍රීසින් කෙරෙහි දක්වන බිය, ඔවුන්ගේ සිරිත් විරිත් හා ඇඳුම් පැළඳුම් අනුකරණය කිරීම, නම් ගම් භාවිතය, මත්පැන් බීම, ගව මස් කෑම ආදිය ධර්මපාලතුමා තදින්ම හෙළා දැක්කේ ය. ලංකා මහාබෝධි සමාගම පිහිටුවීම මෙන්ම සිංහල බෞද්ධයා පුවත්පත ඇරඹීම ඔස්සේ සිංහල ජාතියට සවිය ලැබුණි.

අමද්‍යප ව්‍යාපාරය ද මෙතුමා විසින් ආරම්භ කරන ලදි. ඔහු ක්‍රි.ව 1915-1922 දක්වා ඉන්දියාවේ නිවාස අඩස්සියේ පසුවූයේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉන්දීය රජයට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කරනු ලැබූ නියෝගයකට අනුව ය. නිදහස ලැබීමෙන් අනතුරුව හෙතෙම ලංකාවට පැමිණ ජාතියේ නිදහස පිණිස සටන් වැදීමට උගත් තරුණයින් මෙන්ම ජනප්‍රධානීන් ද පෙළගැස්වී ය. වලිසිංහ හරිස්චන්ද්‍රතුමා ද ඉංග්‍රීසින්ගේ අවිචාරවත් ක්‍රියාකලාපයට එරෙහිව ක්‍රියා කළ පුරෝගාමී පුද්ගලයෙකි. ඔහු ද අනගාරික ධර්මපාලතුමාගේ මග ම ගත්තේ ය. ‘ එඩ්වඩ්‘ නම් වූ ඔහුගේ මුල් නම අතහැර වලිසිංහ නම් සිංහල නාමය දැරුවේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. මිහින්තලාව වැනි බෞද්ධ වෙහෙර විහාර බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට හසු කර ගැනීමට වෙර දැරූ අවස්ථාවේ දී ඒවා වැළැක්වූයේ ඔහු විසිනි.

ක්‍රි.ව 1902 දී රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය ආරම්භ කළ මෙතුමා ඉංග්‍රීසි පාලකයන් හා ගැටෙමින් අනුරපුර ශ්‍රී මහා බෝධිය අසල වූ මස් කඩ ආදිය විනාශ කොට අනුරාධපුර ශුද්ධ නුවර බේරා ගත්තේ ය.

බ්‍රිතාන්‍ය පාලකයන් සාමය කඩකිරීමේ චෝදනා මත ඔහුව සිර භාරයට ගත්තේමුත් ඔහු නිදහස ලැබුණි. සිංහල බෞද්ධයා පුවත්පත මගින් දේශාභිමානය ඇති කරමින්, ජාතිය හා ආගම පිළිබඳ හැඟීම් පුබුදුවාලමින් බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව නැගී සිටීම සඳහා අවැසි අඩිතාලම මෙතුමා සකස් කළේ ය. නිදහස් සටනේ පුරෝගාමියකු වූ මෙතුමා ක්‍රි.ව 1913 දී අභාවප්‍රාප්ත විය.

ක්‍රි.ව 1848 වසරෙන් පසුව බුදු දහමින් පෝෂිත ශ්‍රී ලාංකේය සංස්කෘතිය වෙනුවට බටහිර සංස්කෘතිය ස්ථාපිත කිරීමෙහිලා බ්‍රිතාන්‍ය පාලකයෝ වෙහෙසුණේ ඉංග්‍රීසීන්ට විරුද්ධ ව පිරිසක් බිහිවීම වළක්වාලීමේ අරමුණෙනි.

එහෙත් එය සදාකාලික සිහිනයක් බවට පත්වූයේ බුදු දහමින් පෝෂිත සිංහල සංස්කෘතිය විනාශ වීමට ඉඩ නොදී දහනව වන සියවසේ මැද භාගයේ සිට, විසිවන සියවසේ මුල් දශක දෙක තෙක් ජාතියේ නිදහස පිණිස ගෙනගිය පුනරුද ව්‍යාපාරයන්හි අග්‍රගන්‍ය ප්‍රතිඵල ලෙස ය.මේ සඳහා කැප වූ පැවිදි-ගිහි බොහෝ පිරිසක් වූ නමුදු මෙහිලා දැක්වුයේ එහිලා කැපවූ ගිහි භවතුන් පිළිබඳව සහ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳවය.