Print this Article


පේ‍්‍රත ලෝකය අතිශයින් දුක් සහිතයි කුසලයෙහි බිය ඇති කර ගන්න

පේ‍්‍රත ලෝකය අතිශයින් දුක් සහිතයි කුසලයෙහි බිය ඇති කර ගන්න

ඛුද්දක නිකායට අයත් පේතවත්ථු වර්ණනාව මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ ජනයාට දේශනා කළ වටිනා දේශනා අතරට එක් වෙයි. විශේෂයෙන් කර්ම විපාකය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ තුළ අන්තර්ගත වන හෙයින් සදාචාරාත්මක සමාජ වටපිටාවක් ගොඩනඟා ගැනීම උදෙසා මෙම දේශනාව බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව බෞද්ධ ඉතිහාසය විමසීමේ දී පෙනෙයි.

පේතවත්ථු වර්ණනාවෙහි ඇතුළත් කථා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. එනම්

බුදුරදුන් විසින් කළ දේශනා

නාරද තෙරුන් විසින් පේ‍්‍රතයන් වෙතින් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් ලද විවරණ යනුවෙනි.

පේ‍්‍රත යන්නෙහි තේරුම මළ තැනැත්තා යන්න ය. භාවගාමී මිනිසා කළ කුසල අකුසල අනුව ඊළඟ භවය නිර්මාණය වන බව බුදු දහමෙහි පිළිගැනීම වෙයි. සුගතිය හෝ දුගතිය අපට උරුම වන්නේ කුසල් අකුසල් මහිමයෙනි. මෙලොවදි ලබන දඬුවම් මෙන්ම අකුසලයට පරලොව දී ලැබෙන දඬුවම් මෙම පේ‍්‍රතයින්ගේ කථාන්දරවලින් හෙළිකරයි.

සද්ධම්මෝපායන නමැති ග්‍රන්ථය පේ‍්‍රතයන්ගේ ස්වභාවය පිළිබඳ මෙසේ වර්ණනා කර තිබෙයි.

“ඇට සම් නහර ඉතිරි වූ සිරුරු ය. ඇස් හා කොපුල් ඇතුළට කිඳා ගොස් ඇත. අවුල් වූ හිසකෙස් ය. අඳුරු වූ මුහුණු ය.

එහෙත් බොහෝ දෙනා ඒ බව නොදැන පව්කම් කරන්නේ ක්‍රීඩාවක් මෙනි. අනුන් සතු දෑ ගැනීමේ විපාක ලෙස පේ‍්‍රත ආත්ම ලබන අයුරු ධර්ම ප්‍රදීපිකාවෙහි දැක්වෙන්නේ මෙසේ ය.

“මෙම ජන්මයෙහි මහත් අන්‍යව්‍යසනයට පමුණුවන අදත්තාදානය කළාහු නරකයෙහි ඉපිද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි පැසී එයින් මිදී ගිය කලැ පේ‍්‍රතාත්මභාවයට පැමිණ බලවත් ක්‍ෂුත් පිපාසයෙන් අභිභූතවැ අනේක අන්තඞකල්පයෙහි වෙහෙසි මිනිස් පියක් ලදහු නම් යදිවැ, කපණවැ, විවණවැ, ධික් ධික් යන අක්ෂර ශනයෙන් සන්තර්ජිතවැ හිණපිරුණු රෙදි ඇතිවැ, හිස් පිරුණූ උකුණන් ඇතිවැ, වෙර පිරුණු දැලි ඇතිවැ, සිත් පිරුණු ශෝක ඇතිවැ, ඇස් පිරුණු කඳුළු ඇතිවැ. මුව පිරුණූ වලප් ඇතිවැ කැඳ නොලදි, බත් නොලදින් මනුෂ්‍ය පේ‍්‍රතවැ වෙවුලමින් ඇවිදිත්”

(ධර්ම ප්‍රදීපිකාව)

මෙසේ ප්‍රාණඝාතාදී පංච දුශ්චරිතයෙන් යුතුව වසන්නන්ට අනිවාර්ය විපාක ලෙසින් අනන්ත දුක් සහිත මෙම පේ‍්‍රත ලෝකයෙහි උප්පත්තිය ලබන බව බොහෝ ධර්ම ග්‍රන්ථ විවරණය කරයි.

විශේෂයෙන් බුද්ධ දේශනාවෙහි පේ‍්‍රත ලෝකය ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්වෙයි. මෙම බෙදීම සිදුවන්නේ තමා කළ පාපයට අනුව විඳින දුක් ස්වභාවය ද සැලකිල්ලට ගෙන ය. මේ අනුව පෙනෙන්නේ කර්මයට අනුගත විපාක ද වෙනස්වන බවයි.

නිජ්ඣාම තණ්හිකා

කීලය සහිත ගසක ඇතුළත ඇවිල ගත් ගිනි කදක් මෙන් කර්මජ තේජසින් ඇතුලත දැවෙන පේ‍්‍රතයෝ ය.

නොවසන ලද රහස් පියෙස් ඇති බත් ටිකක් පැන් ටිකක් නොලබන පේ‍්‍රතයෝ විඩාවට පත්ව හොවිනි. එසේ වැතිරී සිටින්නවුන්ට අවුරුදු දහස් ගණනකින් ආසාව උපදවන, මෙහි එන්න, බත් කන්න, පැන් බොන්න, යන හිස්වචන ඇසේ. ඒ හඬ ඇසූ සැණින් හැම දෙනම නැඟී සිටීමට අසමත් ව, බත් පැන් ආශාවෙන් ඔවුනොවුන් ඇඟ එල්ලී මහා දුකින් නැගී සිටිති.

නැගී සිටීමට ඉක්මන් වූ පේ‍්‍රතයෝ ශක්ති නැති බැවින් එකිනෙකාගේ ඇඟ එල්ලෙයි. එවිට එල්ලුණු එවුන්ගේ අත් ගසා දමති. දුබල බැවින් වෙව්ලමින් ඇඟෙහි එල්ලෙන්නේ ය. සිඳී ගිය ආශා ඇතිව විසංඥව මුලින් කපන ලද තල්ගසක් මෙන් ඇද වැටෙති.

ඇතැම් පේ‍්‍රතයකුගේ රෝම කූපයෙන් නැගි ගිනි ජාලාවෙන් තමා ආශි‍්‍රත ගිනි ජාලාවක් මෙන් මුළු සිරුර දවති. පේ‍්‍රතයින්ගේ බඩ සාගින්නෙන් ද, පිටත සිරුරෙන් නැඟී ගින්නෙන් ද, සිත පසුතැවීමේ දුකින් ද දැවෙයි.

මුවින් කාරා දැමු සෙමෙන් ද, වැදුවන්ගේ ගර්භ මළයෙන් ද. ලෝවැස්සා විසින් ඉතා කිලිටි වූ මෙයින් බැහැර අසූචියෙන් ද යන එකී කුණු පිණිස පේ‍්‍රතයෝ යොදුන් ගණන් දුර දුවති. පේ‍්‍රතයන්ට සෙවණ අව්ව වෙයි. මහවිල් පොකුණු හිස් වෙයි. ස්වභාවයෙන් සිසිල් සුළඟ උණු වෙයි. සිසිල් සඳරැස් ගිනි දැල් මෙන් සිරුර දවයි.”

(උපුටා ගැනීම, පේතවත්‍ථු වර්ණනාව, අත්තුඩාවේ රාහුල හිමිගේ ප්‍රස්තාවනාව)

මෙම විග්‍රහය වඩාත් හොඳින්ම පෙන්වා දෙන්නේ පේ‍්‍රත විෂයෙහි ඇති බරපතළ දුක් සහිත බවයි. සතර අපායෙන් එකක් ලෙස බුදු සමයෙහි විවරණය වන පේ‍්‍රත ලෝකය තථාගතයන් වහන්සේගේ බුද්ධ ඥානයෙන් විවරණය නොවන්නට එහි දැක්මන් මනුෂ්‍යයාට නොලැබෙනු ඇත. මෙම පේ‍්‍රත ලෝකයට කුඩා අකුසල කර්මයකින් වුව වැටෙනු ඇත.

ඛුප්පිපාසිකා

සෙම් සොටු පමණ හුදු අහරක් නොලද කල්ප ගණන් සාපිපාසා දෙකින් පෙළෙන දුක් විඳින පේ‍්‍රතයෝ ය.

පංස්‍රපිසාචිකා

කසලගොඩ ආදී අපවිත්‍ර තන්හි අහර සොයා හැසිරෙමින් දුක් විඳින පේ‍්‍රතයෝ ය.

පරදත්තූපජීවනි

අනුන් දෙන පිනෙන් ජීවත් වන පේ‍්‍රතයෝ ය.

මෙම ප්‍රධාන වර්ගීකරණයට අමතරව තවත් පේ‍්‍රත ලෝක පිළිබඳ සාහිත්‍යාගත විවරණ ද දැකිය හැකියි. ඒ අනුව කාලකඤ්ජික නම් පේ‍්‍රත යෝනියක් ගැන දක්වන අමාවතුර කෘතියෙහි එහි පේ‍්‍රතයන් තුන් ගව් පමණ අත් බැව් ඇති අතර, ලේ මස් නැති බැවින් පරණ නා පත් වැනි බවයි. කකුළුවන්ගේ ඇස් මෙන් ඇස් නික්ම මුදුනෙහි ඇති බවත්, ඉදි කටු සිදුරක් වැනි මුවක් ඇතිව ගොදුරු ගැනීමේ අපහසුවෙන් බොහෝ වේදනා විදින බව කියැවෙයි.

ලෝවැඩ සඟරාවෙහි පේ‍්‍රත යෝනිය ගැන කියැවෙන පද්‍යයක් හමුවෙයි.

උපනත් පේතව පව්කොට නොපණත්

කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණත්

උගුරත් නොතෙමෙයි සුරඟන වැටුණත්

කලෙකින් පින් නොකළැ කිමයි සිතුණත්

පේ‍්‍රත ලෝකයෙහි ඇති දරුණු දුක් සාහිත්‍යකරුවන් පවා එසේ විවරණය කළේ මානව සමාජය සදාචාරාත්මක කර ගැනීම සඳහා ය. විපාකය නොදැන මිහිරි දේ මෙන් පව්කම් කරන පාපයන් එයින් මුදවනු සඳහා ය.

මෙම ලිපියේ තවත් කොටසක් දුරුතු අව අටවක පොදා (පෙබ.04) පත්‍රයේ පළවේ.