Print this Article


බුදු හිමි දකිමු

බුදු හිමි දකිමු

සිරුරෙහි පැහැපත් බව යහපත් මිනිසෙකු බිහි නොකරන බව දහමෙහි සඳහන් වන අතර, සමෙහි පැහැපත් බව සඳහා ද කුසල ධර්මයන්හි ඇති උපයෝගීතාව පෙන්නුම් කරනු ලැබේ. එසේම අන්‍යයන් කෙරෙහි මෙත් සහගතව කි‍්‍රයා කිරීම තුළින් ප්‍රභාශ්වර වූ මුව මඬලක් ලැබීම “මුඛවණ්ණෝ විප්පසීදති” මෙත්තානිසංසයන්හි ප්‍ර‍මුඛතම ආනිසංසයකි.

විවිධ පැහැපත් ශරීර පමණක් නොව විවිධ ආලෝකධාරා ඇති දෙවිවරුන් පිළිබඳව ද ධර්ම සාහිත්‍යයෙන් කරුණු අනාවරණය කොට තිබේ.මෙසේ වූ ශරීර ප්‍රභාශ්වර ආලෝකයන් ඔවුන් ලබා ඇත්තේ කෘතිම ආලේපන හා විලේපනයන්ගෙන් නොව සංසාරගත පුණ්‍ය මහිමය බව ඉතා පැහැදිලි ය. මෙසේ ශරීරයෙහි පැහැය පිළිබඳ බොහෝ කරුණු ඉදිරිපත් කිරීමේ දී ලෝකයෙහි පහළ වූ උත්තරීතර අසාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස සැලකෙන තථාගත අමාමෑණී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රභාව ද අසාමාන්‍ය වූවක් බව ති‍්‍රපිටක දහමින් පෙන්නුම් කෙරේ. එබඳු සඳහනක් ධම්මපද පාලියෙහි බ්‍රාහ්මණ වග්ගයෙහි විස්තර කොට ඇති අයුරු ඉතා විචිත්‍ර ය.

ප්‍රභාව හෙවත් බැබළීම පිළිබඳව සිදුකරන මෙම විග්‍රහයේ දී වස්තූන් හා පුද්ගලයන් පිළිබඳව පමණක් නොව අවස්ථාවන් සමඟ කාලමානයන් පිළිබඳව ද තොරතුරු අනාවරණය කරනු ලැබේ. ඒ අනුව හිරු දිවා කාලයේ දීත් සඳු රාති‍්‍රය සමඟත් බබළන බව සඳහන් කරනුයේ සියල්ලන්ටම ඉතා සමීප ස්වභාවික වස්තුන් දෙකක බැබලීම සිහිපත් කරවමිනි. රාජාභරණයෙන් මනාව සැරසුණු නරපතීන්ගේ බැබළීම සඳහා වස්ත්‍රාභරණ මෙන්ම ආලේපන ආදිය හේතුවන අයුරු පැහැදිලි කිරීම ද බොහෝ දෙනාට අමුතු වූවක් නොවේ. එම ප්‍රභාවත් සියල්ල භාවිත ලෝකය හා බැඳෙනා සාධකයන් වන අතර කෙලෙස් ප්‍රහාණය තුළින් ලෝකෝත්තර ගුණයන් ප්‍රකට කළ මහරහතන් වහන්සේලා දැහැනකට සමවැදී වැඩ සිටින අවස්තාවන්හි දී දක්නට ලැබෙන ශරීර ශෝභාව ද පවතින කාලමානයක දී දක්නට ලැබෙන්නකි. මෙම සියලු ප්‍රභාවන් අතර තථාගතයන් වහන්සේගේ බැබළීම රැයක් දවාලක් වශයෙන් හෝ අවස්ථාවක් කාල තීරණයකින් තොරව දිවා රාතී‍්‍ර දෙක්හිම එක සේ බබළන බව දක්වා ඇති ආකාරය ඉතා චමත්කාර ය.

එහි සඳහන් පරිදි “දිවාතපති ආදිච්චේ” යන්නෙන් ප්‍රකාශිත වන්නේ හිරුගේ බැබළීම දිවා කාලය සඳහා සීමා වන බවයි. බැබළීම දහවල නම් වූ සීමිත කාලසීමාවකට සීමා වීම නිසාදෝ “දිවාකර” යන නම ද සූර්යයාට භාවිත කරනු ලැබේ. රාතී‍්‍ර කාලය සදුගේ බැබළීම සිදුවනුයේ මතුනොව ආභාති ගගනේ චන්දිමා යන යෙදුමෙන් නිහඬ රැයෙහි හාත්පසින් මනාව බබළනුයේ සඳ නමින් හැඳීන්වේ. පූර්ණ චන්ද්‍රයාගේ බැබළීම ද රාති‍්‍රයට පමණක් සීමාවන බව රහසක් නොවේ.

රජුගේ බැබළීම සිදුවන්නේ රජතුමා සියලු රාජාභරණයන්ගෙන් සැරසී සිටින අවස්ථාවක ය. “අථ සබ්බං අහෝරත්තං බුද්ධෝ තපති තේජසා” මෙහි සරල අදහස වන්නේ දිවා රෑ දෙකෙහිම භාග්‍යවතුන් වහන්සේ බබළන්නේ යන්නයි. ඒ සඳහා උන්වහන්සේගේ සීල තේජස, ගුණ තේජස, ඥාණ තේජස, පුණ්‍ය තේජස මෙන්ම ධර්ම තේජස හේතුවන බව සඳහන් වේ. “බුද්ධෝ” යන්න පිළිබඳ සඳන් කිරීමේ දී සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිළිබද සඳහන් කිරීමේදී එම බුදුවරයන් වහන්සේලා සංඛ්‍යාත්මක වශයෙන් සිව් නමක් ලෙස සඳහන් කොට තිබේ. එම බුදුවරයන් වහන්සේලා පිළිබඳ සඳහන් කිරීමේදී සම්මා සම්බුද්ධ පච්චේක, බුද්ධ චතුසච්ච බුද්ධ, සුක බුද්ධ වශයෙන් සිව් නමක් ලෙස දක්වා ඇත. සම්මා සම්බුද්ධ යන්නෙන් දක්වා ඇත්තේ චතුරාර්ය සත්‍ය ප්‍රමුඛ දත යුතු සියලු දේ අන් කෙනෙකුගේ උපදෙස් රහිතව මනාකොට අවබෝධ කරගත්තේය යන්නයි. එම අවබෝධිත සිව්සස් දහම දේශනා කරමින් ලෝකයාට එම දහම අවබෝධ කරවමින් නිවන් මග පිහිටුවන උතුමන් වහන්සේලා සම්මා සම්බුද්ධ වශයෙන් විස්තර කෙරේ. සම්මා යන්නෙහි අදහස වන්නේ ම දතයුතු සියල්ල මැනවින් දැන අවබෝධ කරවන්නේ ය යන්නයි. නොඅඩුව මැනවින් අවබෝධ කළ බවයි.

ආලෝකය හෙවත් ප්‍රභාව කිසිවෙකුටත් නුහුරු නුපුරුදු දෙයක් හෝ නොදුටු හෝ දැකිය හැකි දෙයක් නොවන්නේ ය. සියලු සත්වයන් ප්‍රබෝධමත් වන්නේ ආලෝකය නිසා බව නොදන්නෝ නොවෙති. විශේෂයෙන්ම හිරු එළිය නිවාලිය හැකි වෙනත් ආලෝකයක් නොමැත. එම ආලෝක ධාරා වෙහි ආලෝකයෙන් සෙසු ආලෝක ධාරාවන් ද නිර්මාණය වන්නේ මතුනොව එසේ වූ කිසිවකුට ඉතා සමීප ආලෝක ධාරාවන් උපමා වශයෙන් ගෙන සම්බුදු සිරුරෙහි ආවේනික ෂට්විධ රශ්මි ධාරාවන්ගෙන් නිර්මිත ශී‍්‍ර සම්බුද්ධාලෝකයෙහි ඇති සුවිශේෂී මහිමය මේ තුළින් ප්‍රකාශිත ආකාරය විචිත්‍ර ද වූවකි.

තථාගතයන් වහන්සේ විසින් මෙම ධර්ම දේශනය පැවැත්වීම සඳහා පාදක කොටගෙන ඇත්තේ තමන් වහන්සේගේ ශරීරයෙහි ප්‍රභාශ්වර භාවය පිළිබඳ නිරීක්ෂණය කරමින් පුදුමයට පත්ව අදහස් පළකළ ආනන්ද මහතෙරුණ් වහන්සේ ය.

එදවස සැවැත්නුවර දෙව්රම් වෙහෙර වස්කාලය නිමාවට පත්කෙරෙන දිනය ඉතා සුවිශේෂී දිනයක් වේ. එසේ වීම සඳහා හේතු වූයේ නොයෙක් ප්‍රදේශවල වස්වසා වැඩසිටි භික්ෂුන් වහන්සේලා බුදුන් දැකීම සඳහා බහුල වශයෙන් වැඩමවන්නේ, සැදැහැති ගිහි පිරිස ද විවිධ පුද පූජා සඳහා පැමිණීම ය. බොහෝ පුද්ගල සම්ප්‍රාප්තියෙන් ඉතා අවිවේකත්වයට පත් මෙදින සර්වාභරණයෙන් සැරසුණු කොසොල් රජතුමා ද පැමිණ සිටියේ ය.

මෙම අවිවේකි පුණ්‍යවන්ත පරිසරය මෙසේ පවතින අතර ඉතා චමත්කාර සිදුවීම් කිහිපයක් පිළිබඳ අනඳ තෙරුන්ගේ නිරීක්ෂණය අතිශය චමත්කාර වූවකි. හිරු අවරදිගින් කෙමෙන් කෙමෙන් බැසයයි. සඳු පෙරදිගින් කෙමෙන් කෙමෙන් නැඟ එයි. බැස යන හිරුගේ සහ නැඟ එන සඳුගේ රශ්මිය සසඳා බලමින් සිටි අනඳ තෙරුන්ගේ අවධානය යොමුවූයේ විහාරය එක් පසෙක සමවතට සමවැදී සිටින කාලුදායී මහ රහතන් වහන්සේගේ සිරුරින් නික්මෙන රශ්මිය පිළිබඳව පමණක් නොව සර්වාභරණයෙන් සැරසුන කොසොල් රජතුමාගේ සිරුරෙන් නික්මෙන පැහැය පිළිබඳව ය. මෙම පරිසරය තුළ දැකිය හැකි වූ ප්‍රභාශ්වර ස්වභාවයන් පිළිබඳ ව නිරීක්ෂණය කළ අනඳ තෙරුන් ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේගේ සිරුර ද අධීක්ෂණය කරනුයේ අනෙක් සියලු රශ්මීන් අභිබවා දිදුලන බුදු සිරුරේ අසාමාන්‍ය රශ්මින් දැක එකෙනෙහි ම තථාගතයන් වහන්සේ මුණගැසී තමන්ට දර්ශනය වූ රශ්මි ස්වභාවයන් පිළිබඳව සාකච්ඡා කරන ලදී. එහිදී අනඳ තෙරුන්ගේ පැහැදිලි ප්‍රකාශ කරන ලද්දේ හිරු සඳු පැහැය මතු නොව අභරණින් සැරසුණු රජුගේ පැහැයත්, සමවත් සුවයෙන් වැඩසිටි කාලුදායි මහරහත් තෙරුණ්ගේ පැහැයත් අභිබවාලමින් බුදු සිරුරින් නිකුත් වන පැහැය ඉතා ප්‍රභාශ්වරව තමන් වහන්සේ දුටු බවයි.

අනඳ තෙරුණ්ගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන ලද තථාගතයන් වහන්සේ හිරුගේ බැබළීම දහවලත්, සඳුගේ බැබළීම රාති‍්‍රයේත්, රජුගේ බැබළීම සියලු ආභරණයින් සැරසුණ විටත් සිදුවන අතර රහතන් වහන්සේගේ ප්‍රභාවය සමවත් සුවයට සමවැදුන විටත් ආදී වශයෙන් නිශ්චිත කාල සීමාවක සිදුවන බවයි.

එහෙත් බුදුරජාණන් වහන්සේ අකාලික ව දිවා රාතී‍්‍ර දෙකෙහි ම නිරන්තරයෙන් බබළන බව වදාරණ ලදහ. තමන් වහන්සේගේ බැබළීම සඳහා සීල ගුණ පඤ්ඤා කුසල හා ධර්ම තේජස හේතුවන බවත් දේශනා කරන ලද අතර බොහෝ දෙනෙක් දේශනාව අවසානයේ මගඵල ලාභී වූ බව දැක්වේ.