Print this Article


 එක වතාවක් සිනාසෙන විට දහස් වතාවක් හඬා වැලපෙනවා ද?

 එක වතාවක් සිනාසෙන විට දහස් වතාවක් හඬා වැලපෙනවා ද?

“සිනා සෙනවිට එක වතාවක් හඬා වැලපෙමු සිය වතාවක්.” මෙම කියමන අපි නිතර අසා ඇත්තෙමු. ලෝකයට පෙනෙන්නට මුවින් සිනාසෙන බොහෝ දෙනා වැඩිපුරම හදවතින් හඬා වැළපෙන්නෝ වෙති. ඒ තම ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීම අසීමාන්තිකව අනවබෝධයෙන් සිදුකරන්නට යාම නිසා ය. එය ජීවිතය අවුල් ජාලයක් බවට පත්කරගැනීමේ ප්‍රතිඵලයකි. බොහෝ දෙනා උන්මත්තකයන් බවට පත්වන්නේ නිවැරැදි සිහිකල්පනාවෙන් තොරව ඉන්ද්‍රියන් පිනවීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

බුදුරදුන් ජීවමානව වැඩසිටි සමයේ එක්තරා දේවතාවෙක් උන්වහන්සේ වෙත පැමිණ ඇසූ ප්‍රශ්නයක් දෙස බලමු.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මිනිසාගේ අභ්‍යන්තරයත් ගැටලුවලින් යුක්ත ය. බාහිරත් ගැටලුවලින් යුක්ත ය. ලිහා ගන්නට බැරි, විසඳා ගන්නට බැරි පැටළීම් ගොඩක මිනිසා සිරවී සිටියි. මිනිසා හැම පැත්තකින් වෙළාගෙන වෙළාගෙන ඇති මේ ගැටලුව, වේදනාව, පීඩාව, අසහනය විසඳීමට සමත් තැනැත්තා කවරෙක් ද? මෙම ගැටලුව බුද්ධ කාලීන සමාජයට මෙන්ම අදටත් පොදු ප්‍රශ්නයකි.

ඇතැම් විට එදාටත් වඩා අද සමාජය බරපතළ ගැටලුවලින් පීඩනයට අසහනයට පත්ව ඇත. එක පැත්තකින් මව්පියන් නිසා ඇතිවන ප්‍රශ්න, බලාපොරොත්තු කඩවීම්, රැකියා ප්‍රශ්න, ආර්ථික සාමාජික ප්‍රශ්න, පරිසර ප්‍රශ්න ආදී නානා ප්‍රශ්නවලින් මිනිසා පීඩනයට පත්ව ඇත. සමහර විට මේවාට පිළිතුරු සොයන ක්‍රමවේදයන්හි ද ගැටලු සහගත තත්ත්වයන් ඇත.

කෙනෙක් යන්ත්‍ර මන්ත්‍ර පුද පූජා ආදියෙහි පිහිට පතති. තවත් කෙනෙක් ගේ දොර වෙනස් කරන්නට උළුවහු දොරවල් වෙනස් කරන්නට, පෙළඹෙති. තවත් කෙනෙක් ප්‍රේත දෝෂ, භූත දෝෂ සඳහා පිළියම් සොයති. මේවා අපේම සමාජයේ මිනිසුන් අතර දකින්නට, අසන්නට ලැබෙන දේවල් ය. මෙවැනි කවර දේ පසුපස හඹා ගියද ප්‍රශ්නයට, ගැටලුවට, අසහනයට විසඳුම් ඇත්තේ අප තුළමය. අපේ සිතේ ක්‍රියාකාරීත්වය තුළ නියම විසඳුම ඇත.

අපේ ඇසට, කනට, නාසයට දිවට හා ශරීරයට විවිධ අරමුණු හමුවේ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඒ අරමුණුවල ඇලෙනවා නම්, ගැටෙනවා නම්, ඉඳුරන් නොසන්සුන් වේ. වික්ෂිප්ත වේ. අවුල් වේ. සිත සන්සුන් නොවේ. ඒ අරමුණු අවබෝධයෙන් හඳුනාගෙන නො ඇලෙන වා නම්, නොගැටෙනවා නම් අපේ ඇස සන්සුන් ය. කන සන්සුන් ය. සියලු ඉඳුරන් සන්සුන් ය.

ඉඳුරන්ගේ මේ සංසුන් බව පැවිදි අයට පමණක් නොව ගිහි සමාජයට ද ඉතා වැදගත් වනු ඇත. මිනිසා යනු ඉන්ද්‍රියන් හයක එකතුවකි. ජීවත්වීම යනු ඒ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයයි. ඉන්ද්‍රියන් අක්‍රීය වූ දාට ජීවිතයේ පැවැත්මක් නැත. බුදුදහම යනු මේ ඉන්ද්‍රියන් හය සුරක්ෂිත කරන ක්‍රමවේදය හඳුනාදීමකි.

වැරැදි ආකාරයට, ඒ තුළින් හිත දූෂිත වන ආකාරයට මේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මකවීමේ ප්‍රතිඵලය සසර ගමන දික්වීමයි. රෝදයක් සේ කැරකි කැරකී යන මේ සසර ගමනින් නිදහස් වන්නට නම් ඉන්ද්‍රියන් සංවර කරගත යුතු ය. ඇසට පි‍්‍රය රූපය දකින විට ඒ දෙස ආශාවෙන් බලා සිටිමු. ආශ්වාදයක් ලබමු. නැවත නැවතත් දකින්නට උත්සාහ කරනු ඇත. මේ අරමුණෙහි ඇලීමයි. උත්සාහය සාර්ථක වූයේ නම් ප්‍රතිඵලය දුක්ඛදායක ය. ආශා කරන දේ නොලැබීමෙන් බලාපොරොත්තු කඩවූ ස්වභාවයට පත්වේ. ඒ තුළින් සිතට සන්තාපය ගෙන දේ. ඇතැම් විට අන්‍යයන් හා අඬ දඹර ඇති වේ. සිය දිවි නසා ගැනීම් පවා සිදුවන්නට පුළුවන. මේ ඇස නැමැති ඉන්ද්‍රිය අනවබෝධයෙන් පරිහරණය කිරීමේ ප්‍රතිඵලයකි. අපේ කන් දෙකෙන් දවසකට මොනතරම් අකුසල් රැස් කරගන්නවා ද? මොහොතක් සිතන්න, අසල්වැසියා ලොකු ගෙයක් හදනවා නම් සමහර කෙනෙකුට එය ඉවසන්නට නොහැකි ය. ඊර්ෂ්‍යා සිතිවිලිවලින් දැවෙනු ඇත. අන් අය සමඟ ද ඒ සිතිවිලි බෙදා හදා ගනී. මොකටද මෙච්චර ලොකු ගෙයක්, කොහොම සල්ලි හම්බ කරල ද දන්නෙ නෑ.” යනුවෙන් විවිධ දේ කතා කරති. නොදැනුවත්වම මේ සිදුකර ගන්නේ කුමක් ද? ඒ නිවස දකින මොහොතක් පාසා පව් රැස්කර ගනී. අනවශ්‍ය බරකින් සිත පීඩනයට පත්කර ගනී. ඒ තුළින් තම විවිධ රෝගාබාධයන්ට ද ගොදුරු වේ. කොපමණ ඊර්ෂ්‍යා කළත් ගොඩනැගිල්ලේ වැඩ නවතින්නේ නැත. ප්‍රතිඵලය අකුසල් රැස්කර ගැනීමයි. අනවශ්‍ය ප්‍රශ්නයක් නිසා මෙලොව දුක්ගොඩක් විඳිමින් පරලොව ද දුකට පත් වනු ඇත.

මෙසේ ඇලීම් ගැටීම් ඇතිනොවන සේ සිත සංවර කර ගන්න. අනුන්ගේ දේ තමන්ට ප්‍රශ්නයක් කරගන්නේ කුමට ද? ඒ දෙස අවංක හදවතින් සතුටින් බලන්නට පුරුදු වන්න. සතුටින් බලන මොහොතක් පාසා ඔබේ සිත් පින් උල්පතක් බවට පත්වනු ඇත. තණ්හාවෙන් වෛරයෙන් තොරව ලෝකය දෙස බලන්න. පුරුදු වන්න.

හොඳ සිහිය තිබෙනවානම් ඕනෑම දෙයක විපාකය තේරුම් ගන්නට හැකිවනු ඇත. එහෙත් බොහෝ දෙනා ජීවිතය අවුල් කරගන්නේ යම් දෙයක් පිළිබඳව නුවණින් දකින්නට ඇති නොහැකියාව නිසා ය. ඉන්ද්‍රියන් අවබෝධයෙන් පාලනය කරනු මිස ඒවාට අසු නොවිය යුතු ය. තරහව පාලනය කරගත නොහැකි වුවහොත් එය මොන තරම් භයානක වේදනාත්මක තත්ත්වයට අප පත් කරනවා ද?

සමහර විට එය සුළු සිදුවීමක් වන්නට ද පුළුවන.

දිනක් පියෙක් අලුත් ම වාහනයක් මිලදී ගෙන එය සෝදා පිරිසුදු කරමින් සිටියේ ය.

ඔහුගේ පුංචි පුතා පාට පැන්සලක් ගෙන වාහනය මත යමක් කුරුටුගාමින් සිටිනු දැක කෝපයට පත් ව අතට හසු වූ යමකින් ක්ෂණිකව දමා ගැසුවේ ය. පුංචි පුතාගේ ඇඟිලි පහම ඉන් තුවාල විය. වහාම රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර ලබාදුන් ඔහුගෙන් කදුළු පිරි දෙනෙතින් යුක්තව පුතා ඇසුවේ “තාත්තේ මගේ ඇඟිලි සනීපවෙයිද? කියා ය. තමා කළ වරද ගැන සිය දහස් වතාවක් තැවෙමින් ගෙදරට පියා වාහනය අසලට ගොස් ඒ දෙස බැලුවේ ය. “තාත්තේ මං ඔයාට ආදරෙයි.” යනුවෙන් පුතා එහි ලියා තිබුණේ ය.

තරහව පාලනය කරගත නොහැකි වීම නිසා පියාත් පුතාත් පීඩාවට පත් වූ ආකාරය බලන්න. සමහර විට මීට වඩා දරුණු කරදරයක් වුවද සිදුවීමට ඉඩ තිබුණි. මේ ඉතා සුළු උදාහරණයක් පමණි. මේ නිසා තරහව, කේන්තිය පාලනය කර ගන්නට අපේ මනස හුරු කරගත යුතු ය.

දියුණු කළ සිත බොහෝ ශක්තිමත් ය. බුද්ධගයාව බේරා ගැනීමට ඉන්දියාවට ගිය ධර්මපාලතුමා එකල එහි සිටි ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් අත්අඩංගුවට ගැනිණි. තමත් පැමිණි කාර්ය සඵල කර ගැනීමට මේ අත්අඩංගුවට ගැනීම බාධාවක් වන බව කල්පනා කළ ධර්මපාලතුමා ඉන් මිදීමට මගක් ඇත්දැයි කල්පනා කෙළේ ය.

බුදුරදුන් පෙන්වා දුන් මෛත්‍රියේ ශක්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ඒ තුළින් සහනයක් ලැබිය හැකි යැයි සිතූ ධර්මපාලතුමා තමා දැක පුරුදු ඒ ආණ්ඩුකාරවරයාගේ රූපය හිතින් මවාගෙන එතුමාට මෛත්‍රී කළේ ය.

එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේ ය. යහපත් කාර්යයක් සඳහා පැමිණි මා නිදහස් කිරීමට මොහුගේ සිත නැමේවායි මෙත් වැඩුවේ ය. පසුදා උදෑසනම ධර්මපාලතුමා නිදහස් කරන ලෙස නියෝග කැරිණි. මෙය මෙතුමා බුදුදහමේ ඉගැන්වෙන මෛත්‍රිය වැඩීමේ ශක්තිය ප්‍රායෝගිකව අත්හදා බැලූ අවස්ථාවකි. ලූතර් බර්බෑන්ක් උද්භිද විද්‍යාඥයෙකි. නමුත් චිත්ත ශක්තිය දියුණු කරගත් කෙනෙකි. සෑම දිනකම තම නිවසේ තිබූ කටු සහිත පතොක් පැළයක් ළඟට ගොස් “ඇයි ඔබට මේ කටු, ඔබට කරදරයක් කරන කිසිවකු මෙහි නැත. මා ඔබට ආදරෙයි. මේ කටුවලින් ඔබට අවශ්‍යතාවයක් නැහැ. මේ කටුවලින් ඔබට වැඩක් නැහැ. තුන් මාසයක් පුරාම පතොක් පැළය ළඟට ගොස් මේ අයුරින් කියා ඇත. ක්‍රමයෙන්, පතොක් පැළයේ කටු වියළී ගැළවී ගියේ ය. කටු ගිලිහී ගිය පතොක් පැළයෙන් අලුත් බීජ නිෂ්පාදනය කළේ ය. ඒ තුළින් හටගත් පතොක් වල කටු නොතිබිණි. මේ තුළින් මෙම උද්භිද විද්‍යාඥයා කටු රහිත පතොක් පැළ නිෂ්පාදනය කර ගැනීමේ අවස්ථාව උදාකර ගත්තේ ය. ගස්වැල්වලට ස්ව මානසික ශක්තිය යෙදවිය හැකි බව මේ අනුව ඉතා පැහැදිලි ය. ගස්වැල්වලටත් මේ මානසික ශක්තිය ඇතුළු කළ හැකිනම් මිනිසෙක් තවත් මිනිසකු වෙත මානසික ශක්තිය යෙදවිය හැකිය යන්න ඉතා පැහැදිලි ය.

අපේ මනස පවිත්‍ර වූ පමණට අප කරන්නා වූ කුසලය ද ශක්තිමත් වනු ඇත. පිරිසුදු රෙදි කැබැල්ලක් ගෙන නිල්පාට තීන්ත භාජනයක එබුවාම ලස්සන නිල්පාට රෙදි කෑල්ලක් ලැබෙනවා වගේ පිරිසුදු සිතකින් කරන දේත් පවිත්‍රයි. ලස්සනයි. ප්‍රතිඵලය හොඳයි.