Print this Article


බොදු පිළිවෙත නිවැරදිව හඳුනා ගන්න

බොදු පිළිවෙත නිවැරදිව හඳුනා ගන්න

ලෝකය පවතින්නේ හේතු ප්‍රත්‍ය ධර්මයන් නිසා බව පළමු වරට ලෝකයට ප්‍රකාශ කර පහදල දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ යි.

උන්වහන්සේ මේ සැබෑ තත්වය වටහා ගත්, එදා ඇසතු බෝ රුක මුල වෙසක් පුර පසළොස්වක දිනයේ හිමිදිරි පාන්දර අරුණ නැගෙන වත් සමඟ උන්වහන්සේගේ මුවින් ප්‍රකාශ වූයේ අරුත් බර ප්‍රීති වාක්‍යයකි. ඒ තමා “මම මේ අනන්ත සංසාරයෙහි කෙළවරක් නැතිව මැරි මැරී ඉපිද ඉපිදී ගත කරන්නේ දුක් සහිත පැවැත්මක් යන්න මට වැටහුණා. ඉතින් ඉපදෙනවා කියන්නේ මේ දුක් සහිත පැවැත්ම නැවත නැවත නිර්මාණය කර ගැනීම යි. පංචස්කන්ධය නමැති මේ ගේ හදන, මේ ගේ නිර්මාණය කරන වඩුවා සොයා ගන්නට නො හැකි ව සසර ඇවිද්දා. ඒ සංසාරයෙහි ඉපදෙන හැම වාරයක ම කෙළවරක් නැති දුක් වින්දා. හැබැයි අද නම් ඒ ගේ හදන වඩුවා කවුද? කියා සියැසින් දැක ගත්තා. මේ වඩුවා කියන්නේ තෘෂ්ණාව යි. මින් ඉදිරියට නම් නුඹට මේ ගේ හදන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ.

නුඹට ගේ මුදුණ නිමවන්නට සහාය දෙන අනෙකුත් කෙලෙස් නමැති පරාල සියල්ල මම සිඳ බිඳ දමා සුණු විසුණු කළා. ස්කන්ධ පංචකය නම් ගේ මුදුණ ලෙස මට අවබෝධ වුණු, අවිද්‍යාව නම් වූ මුදුණ හෙවත් කැණිමඩල සම්පුර්ණයෙන් ම ඉතිරියක් නො කර විනාශ කර දැම්මා. මගේ ඒ සිත නිවනට පැමිණියා. සියලු තෘෂ්ණා සහිත බැ¼දීම් සපුරා අවසන් කර අර්හත්වයට පත් වුණා.” යනුවෙන් ඒ සටහන් කළේ එම ප්‍රීති වාක්‍යයේ සරල අරුත යි.

මෙවැනි ප්‍රකාශයක් කරන්නට උන්වහන්සේ සමත් වූයේ කුමක් නිසා ද? ඒ අපේ බෝධිසත්වයන් වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ වැඩි දියුණු කළ චිත්ත ශක්තියේ බලයෙන් මේ ලෝකය හෙවත් මේ අප කවුරුත් දරා සිටින පංචස්කන්ධයේ පැවැත්ම, සැකැස්ම යථා තත්වයෙන් හෙවත් ඇති සැටියෙන් අවබෝධ කර ගැනුමේ ප්‍රතිඵලය නිස යි. අපි මේ පංචස්කන්ධය දකිනවා. ඒත් අපේ දැක්මේ වෙනස කුමක් ද?

අපි දකින්නේ මූලික වශයෙන් රූප ධර්මයක් වන මේ රූපස්කන්ධයේ සාටෝප පැවැත්ම යි. ව්‍යාජ පැවැත්ම යි. අපි දන්නවා ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන මේ ආදිනවයන්ට මේ රූපස්කන්ධය මුහුණ දෙන ආකාරය. හැබැයි ඒ මතු පිටින් පමණ යි අපි දකින්නේ. අනෙකුත් නාමස්කන්ධයට අයත් වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන ස්කන්ධ හතර ගැන අප උනන්දුවක් දක්වන්නේ නැහැ. එය අවශ්‍ය යි කියල හිතන්නේත් නැහැ. රූපස්කන්ධයේ වුවත් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන හතර ම දුකක් වුවත් එය දුකක් හැටියට අප දකින්න උත්සාහවත් වන්නෙත් නැහැ.

අපි වයසට යනවා. දත් හැලෙනවා. ඇඟ රැළි වැටෙනවා. මුදු සුමුදුවට තිබුණ හම ගොරෝසු වෙනවා. හිසකෙස් සුදුවෙනවා. නිය පොතු අවපැහැ ගැන්වෙනවා. ඉතින් අපි ඒ තත්වය දකින්නට කැමැති නැහැනේ. ඉතින් එතකොට මොකද කරන්නේ. ඒ තත්වය නැති ලෙස පෙන්වන්නට හිත හදා ගන්නට උත්සාහවත් වෙනවා.

ඒ නිසා තමා සුවඳ විලවුන් ගල්වන්නේ. නියපොතු, තොල්, හම වර්ණ කිරීමට විවිධ ආලේප, දියර වර්ග, ෂැම්පු වර්ග භාවිත කරන්නේ. ඒත් එය කොයි ආකාරයකින් වත් නවත්වන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් බෝධි සත්වයන් වහන්සේ සිදු කළේ ඊට වඩා හාත්පසින් ම වෙනස් ක්‍රියාවක්. උන්වහන්සේ සසර දුකට හේතුවන මේ ඉපදීම අවසන් කළොත් ඉන් පසු ඇති වන කිසිදු ආදීනවයකට සත්වයා පත් නො වන බවයි පෙන්වා දුන්නේ. එහෙනම් ඒ ඉපදීම හෙවත් ජාතිය ඇති කරන ධර්මතාව කුමක් දැයි සොයන්නට උන්වහන්සේ එදා අධිෂ්ඨාන කරගෙන යි අපරාජිත ඇසතු බෝ රුක මුල වැඩහිඳ ගෙන මෙනෙහි කරන්නට වූයේ.

මෙහි දී උන්වහන්සේ තමන් වහන්සේට දැනෙන මේ හුස්ම පිටකිරීම, හා ඇතුළට ගැනීම හෙවත් ආශ්වාස හා ප්‍රශ්වාසය යන ද්විත්ව ක්‍රියාවලිය මෙනෙහි කිරීම හෙවත් අනාපාන සතියෙන් යුක්ත ව දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තා. ඒකාන්තයෙන් මගේ සම්, මස්,නහර, ඇට, ඇට මිදුළු වියළි ගියත් මා මේ ගත් මග කිසිවිටෙකත් මේ ඉපදීම හෙවත් ජාති ය ඇති කරන හේතුව සොයා ගෙන මිසක් අත් නො හරිමි යන වීර්යය උපදවා ගෙන ඒ මගට බැස්සා. ඒ අවස්ථාවේ දී එම වීර්යයෙන් යුක්ත ව ආනාපාන සතිය වඩමින් සිටි උන්වහන්සේට ජාතිය හෙවත් ඉපදීම නිසා ජරා, ව්‍යාධි, මරණ, ශෝක, දුක්ඛ, දොමනස්ස, උපායාස හටගත්නා බව පැහැදිලි ව වැටහෙන්නට පටන් ගත්තා.

එහෙම නම් ඒ ජාතිය ඇති වුණේ ඇයි? ඊට පිළිතුර උන්වහන්සේට වැටහුණේ තවදුරටත් ආනාපාන සතිය වැඩීමෙන් ම යි. ඒ අනුව උන් වහන්සේට වැටහුණා මේ ජරා මරණ ඇති කරන ජාතිය ඇති වුණේ භවය නිසා බව. භවය ඇති වුණේ කුමක් නිසා දැයි මෙනෙහි කරන විට උපාදානය හෙවත් අල්ලා ගැනීම නිසා බව වැටහුණා. උපාදානය ඇති වූයේ තෘෂ්ණාව නිසා බවත් වැටහුණා. තෘෂ්ණාව ඇති වුණේ වේදනාව නිසා බව වැටහුණා. වේදනාව ඇති වූයේ ස්පර්ශය නිසා බවත් වැටහුණා.

මේ ස්පර්ශය ඇති වුණේ කෙසේදැ යි මෙනෙහි කරන විට ඇස්, කන්, නාසා. දිව. ශරීරය හා මනස යන ඉන්ද්‍රියයන් සය නිසා එය ඇති වූ බව වැටහුණා. සඪායතන නිසා නාමරූප ඇති වෙන බවත් පැහැදිලි වුණා. නාමරූප නිසා විඤ්ඤාණය ඇති වුණ බවත් ප්‍රකට වුණා. එමෙන් ම සංස්කාරයන් නිසා මේ විඤ්ඤාණය ඇති වන බවත් වැටහුණා.

එවිට උන්වහන්සේ මෙනෙහි කළේ මේ සංස්කාර ඇති වීමට හේතුව යි. උන්වහන්සේට ප්‍රකට වුණා පැහැදිලි ව අවිද්‍යාව හෙවත් නො දැනීම නිසා සංස්කාර ඇති වුණ බව. දැන් අප බෝසතාණන්ට අතිශයින් පැහැදිලි වුණ කාරණය තමා මේ සියලු දේ ඇති වන්නට මූල හේතුව අවිද්‍යාව බව.

ඊ ළඟට උන්වහන්සේ මුල සිට අගට නැවතත් මෙනෙහි කළේ අවිද්‍යාව නිසා කුමක් ඇති වේ ද? යනාදි අනුලෝම පියවරයන් ය. ඉතින් ඊළඟ ට ඒ අවිද්‍යාව ආදි කොට ඇති ජාති ප්‍රත්‍යය දක්වා ශේෂයක් වත් ඉතිරි නො කර දැන ගැනීමෙන් සෝවාන් ආදි සතර මාර්ගඵලාවබෝධයෙන් නිවීමට පත් වන බවත්, තමන් වහන්සේ එසේ පත් වුණ බවත් දැන ගත් කල්හි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් අභිෂේක ලැබුවා යන්නයි පැහැදිලි වූයේ.

ඇසතු බෝරුක මුලදී උන්වහන්සේට විද්‍යාව යි පහළ වූයේ. ඒ කියන්නේ එදා සිට උන්වහන්සේට ලෝකය ඇති සැටියෙන් දැකීමේ නුවණ පහළ වුණා.” විජ්ජා උදපාදි” යනුවෙන් පැහැදිලි ප්‍රකාශයක් උන්වහන්සේ විසින් කළේ ඒ නිස යි.

ඉතින් කුමක් ද මේ උන්වහන්සේට පහළ වූ විද්‍යාව කියන එකයි මෙතැන් සිට අපේ විමසුමට භාජන විය යුත්තේ.

ලෝකය හෙවත් අප දරා සිටින මේ පංචස්කන්ධයට යි බුදුදහමට අනුව ලෝකය කියලා කියන්නේ. ඒ හැරුණු විට සාමාන්‍ය ව්‍යවහාරයේ පවත්නා අප ජීවත් වන මේ භෞතිකමය විශ්වයට ත් අපි ලෝකය කියලා කියනවා.

ලෝකය පිළිබඳ, අර්ථ විග්‍රහය වන්නේ කැඩෙන, බිඳෙන, පලුදු වන ලෝකය යි. මෙය සක්වල සහිත අවකාශ ලෝකය යි. ඉතින් මේ ලෝකය එවැනි ස්වභාව ඇත්තේ වී නමුදු එය චිත්‍ර කරල යි තිබෙන්නේ. ඒ නිසා අපි ඒවා හැම විටම සුන්දරත්වය පිණිස ම භාවිත කරනවා. මල් මැලවෙන කොට, පරණ වෙන කොට ඒ ජරාවට පත්වන මල් වෙනුවෙන් ලස්සන සුවඳ මල් හොයලා අපි ඒවා අලුත් කරනවා. සුන්දර කරනවා. ලෝකයේ පැවැත්ම එහෙම වුණාට ඒවා නිතර ම හැඩ වැඩ ගන්වලා ඒ දෙස සුන්දර විදියට බලන්නට යොමු වන්නේ අපේ කාම සංකල්පනා.

ලෝකයේ මේ විසිතුරු බව, ලස්සන බව කාමවස්තු නො වේ. එහෙම නම් කාමවස්තු පවතින්නේ කොහේ ද? ඒවා පවතින්නේ පුද්ගලයා මවා ගන්නා සංකල්ප තුළ යි. ඒ නිසා කාමය කියලා කියන්නේ එම සංකල්පවලට මිසක් ඒ වස්තුන්ට නොවෙයි. ලොව විසිතුරු වෙන අවස්ථාවේ ඒවා ඒ විදියට ම පවතිනවා. එතකොට මේ සංකල්ප වශයෙන් අප සිතේ ඇති වන සිතිවිලි නිසා අපි මේ ඇත්ත දකින්නේ නැහැ.

ලෝකය ඇති සැටියෙන් දකින්නට නම් කාමයන් පහ කළ යුතු වෙනවා. මොනව ද? මේ කාම කියන්නේ? ඒවා තවදුරටත් බෙදා දක්වනවා වස්තුකාම හා ක්ලේශ කාම කියලා. ඉතින් වස්තු කාම කියලා කියන්නේ සිතේ ඇති කර ගන්නා ඒ ඒ වස්තූන් පිළිබඳ ඇති කර ගන්නා ප්‍රිය මනාප බව යි. මේ ප්‍රිය මනාප බව නිසා ඇති වන තැවීම, දැවීම ක්ලේශ කාම කියා කියනවා.

මේ ක්ලේශ කාමයන් වස්තු කාම නිසා ඇති වන නිසා ඒවා එකක් ලෙස ගෙන කාම කියන එක වචනයකින් පෙන්වා දෙනවා. එතකොට ක්ලේශ කාම ඇති වීමට ප්‍රත්‍ය වන්නේ වස්තු කාම යි. ඒ නිසා තමා බුදුරජාණන් වහන්සේ පැහැදිලි ව ප්‍රකාශ කරන්නේ ලෝකයේ චමත්කාර ජනක, විසිතුරු, සාටෝප දේ කොච්චර වත් තිබෙන්නට පුළුවන්. ඒ කිසිවක් කාමයෝ වෙන්නේ නැහැ.

පුහුදුන් පුද්ගලයාගේ ඒ ඒ වස්තු පිළිබඳ සංකල්පනා වලට යි කාම කියලා කියන්නේ. ඉතින් කාම සංකල්පනා ඉවත් කර ගැනීම තුළ යි ලෝකයේ යථාර්ථය දකින්නට හැකියාව තිබෙන්නේ. එම සංකල්පනාවන් ඒ විදියට ඇති වන්නේ අවිද්‍යාව නිසා ම නම් විද්‍යාව පහළ කර ගන්නට අවශ්‍ය වෙන ලෝකය ඇති සැටියෙන් දකින්නට ඊට අවශ්‍ය අනුපුර්ව ප්‍රතිපදාව යි බුදුරජාණන් වහන්සේ ඇසතු බෝ රුක මුලදි අවබෝධ කර ගත්තේ. ඒ තමා චතුරාර්ය සත්‍යය කියලා කියන්නේ. බෞද්ධයා කියලා කියන්නේ ඒ ප්‍රතිපදාව අවබෝධ කර ගැනුම පිණිස පිළිවෙල අනුගමනය කරන්නා' යි කියා ප්‍රකාශ කළොත් වඩාත් හොඳීන් බෞද්ධකම කුමක් ද? යන්න අප කාටත් මැනවින් පැහැදිලි කරගන්නට හැකි වෙනවා.