Print this Article


මල් පිපෙන සදහම් අරණ

අරහං බුදු ගුණය

කෙනෙකු පිළිකුල් සහගත දෙයින්, බියකර තැනකින් ඈත්වන්නා සේ බුදුරදුන් කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් අරහං වන සේක. තමා තුළම වූ කෙලෙස් සතුරන් නැසු හෙයින් ද, සංසාර චක්‍රයේ ගරාදි හෙවත් පටිච්ච සමුප්පාදයේ එන අවිද්‍යාදී ධර්ම සිඳලු හෙයින් ද, සියලු පූජාවන් ලැබීමට සුදුසු උතුම් ම පූජනීයයන් වහන්සේ වූ හෙයින් ද, සිතින් කයින් හෝ වචනයෙන් රහසින්වත් පව් නො කරන හෙයින් ද අරහං වන සේක.

****

අපේ නායක හාමුදුරුවෝ

මාහරගම අලංකාර කෙරු සමිඳු
පංච මහා විහාර හෙබවූ සමිඳු
නැණ මහ ගුණ බලෙන් සපිරුණ සමිඳු
මාහරගම පියරතන නායක හිමි නමදිමු

****

ශ්‍රී පාද පුදබිම

ශ්‍රද්ධා සම්පන්න දෙස්, විදෙස් සැදැහැවතුන් ජන ගංගාවක් පරිද්දෙන් වාර්ෂික ව උඳුවප් මාසයේ සිට වෙසක් පුර පසළොස්වක පොහෝ දින දක්වා ම සිරිපා වන්දනාවේ නියැළෙති. අප මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේගෙන් සුමන සමන් දිව්‍ය රාජයන් විසින් සිදුකළ ඇරයුමකට අනුව සමන්තකූට පර්වතයට වැඩමවා ඉන්ද්‍රඛීල මාණික්‍යය මත සම්බුදු පාද පද්මය පිහිටුවාලු සේක.

කිසිදු අයකුගේ මෙහෙයවීමකින් තොරව, ස්ව ශ්‍රද්ධාවෙන් යුතුව වැඳුම් පිදුම් කිරීමට පවතින මෙම පූජනීය ස්ථානයේ තවත් ප්‍රධාන සංකේත‍ දෙකක් දක්‍නට ඇත. එකක් නම් තමන් වන්දනාවට පැමිණි වාර ගණනට ඝණ්ඨ‍ාරය නාද ගැන්වීම සහ දොළොස්මහේ පහන ය. මුනි සිරිපා කරුණාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් වශයෙන් දැක්වෙන මෙම දොළොස්මහේ පහන අපට ආශිර්වාදයකි. එනිසා මෙම පූජනීය හා ඓතිහාසික වටිනාකමකින් යුතු ශ්‍රී පාදස්ථානය රැක ගැනීම ලාංකේයයන් වන අපගේ ඒකායන අරමුණ විය යුතුය.

****

මගේ දහම් පාසල

නැණවත්, සාරධර්මවලට ගරු කරන, ඉතා යහපත් ගුණදම්වලින් හෙබි ගුණවත් දරු පිරිසක් බිහි කිරීමේ ලා මහඟු සේවයක් රට, දැය හා සමය වෙනුවෙන් ඉටු කරන වටිනා, අගනා වූ සම්පතක් ලෙස මාගේ දහම් පාසල හඳුන්වා දිය හැකි ය. ශ්‍රී අමරවංශ අනුනාහිමි දහම් පාසල එහි නාමය යි. සැබැවින්ම එම නාමයෙහි ඇත්තේ ගණනින් වචන තුනක් වුවද එම වචන ති‍්‍රත්වයෙහි ගැබ් වී ඇති අර්ථය නැතහොත් ගුණවත් මෙන්ම නැණවත් දරු පිරිසක් බිහි කිරීමේ ලා මහඟු සේවය ගණනය කළ නොහැකි තරම් අසීමිත ය.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් හයසියයක් පමණ අධ්‍යාපනය ලබන අප දහම් පාසලේ ගුරු මෑණිවරු සහ පියවරු විසිපහක් පමණ සිටිති. පාසල මෙන්ම දහම් පාසල තුළින් ද අපට යහ ගුණදම් කියාදෙමින් රටට යහපත් පුරවැසි‍යන් දායාද කිරීමට උත්සාහ ගනී.

****

සීලය හඳුනා ගනිමු

සීලය යන්නෙහි සරල අදහස නම්, කය හා වචනයෙහි සංවරය යි. අප විසින් කළයුතු දේ මෙන්ම නො කළ යුතු දේ බුදුරජාණන් වහන්සේ වෙන වෙනම පැහැදිලි කළ සේක. නො කළයුතු දේ විරිත් හෙවත් විරමණ නමින් ද, කළයුතු දෑ සිරිත් හෙවත් සමාදාන නමින් ද හැඳීන්වෙයි.

ඒ අනුව සතුන් මැරීම, නො දුන් දේ ගැනීම ආදී නො කළ යුතු ක්‍රියාවන්ගෙන් වැළකී, සතුන්ට කරුණාව, මෛත්‍රීය දැක්වීම, දුන් දේ පමණක් ගැනීම ආදී ක්‍රියාවන්හි නිරත විය යුතු ය. පුද්ගලයාගේ චරිත සංවර්ධනය උදෙසා සිල් සමාදන් විය යුතු අතර, ඒ සමාදන් වූ සිල්පද රැක ගැනීමේ ආනිසංස පහක් පිළිබඳව ද බුදු දහමේ උගන්වයි.ඒවානම්,

මහත්වූ බෝග සම්පත් ලැබීම, කීර්තිරාවය පැතිරීම, පිරිසක් මැදට නො බියව යා හැකිවීම, සිහි මුළා නො වී කලුරිය කිරීම, මරණින් මත සුගතියෙහි උපත ලැබීම යන අනුසස් සිල්වත් ජීවිතයක් ගතකරන පුද්ගලයාට හිමි වේ.

****

සිරිපා වන්දනාව

සම්බුදු සිරිපා වඳින්න
සමනල කඳු වැටිය බලා
නඩේ රෑන මැදට වෙලා
සිරිපා වන්දනාවෙ යන
සමනල පැටියෝ

කොවිඩ් කොරෝනා හින්දා
මා හට හැකි වුණේ නැතත්
සිරි පතුලේ නළල තබා
මටත් එක්කලා වඳින්න
සමනල පැටියෝ
කරුණාවයි
කරුණාවයි

****

දුරුතු පෝදා

දුරුතු පොහොය දා අපි යමු පන්සල්
බුදුන් වඳින්නට යමු අපි පන්සල්
හිස්වැසුම්, පාවහන් ගලවා යමු අපි පන්සල්
මල් තෙල් අරගෙන යමු අපි පන්සල්

****

දානය

දානය යනු තමන් සතු දෙයක් නැවත ලබා නො ගැනීමේ අපේක්ෂාවෙන් අත හැරීම යි. වැඩිහිටි නිවාසවලට, දුගීමගි යාචකයන්ට, ළමා නිවාසවලට අප දානය දෙනවා. එහෙත් ඒ හැම දානයට ම වඩා අග්‍ර වන්නේ ධර්ම දානය යි.

භික්ෂූන් වහන්සේ නමක හෝ යම් උපාසකයෙක් මේ දුක් විඳීන සත්ත්වයා සසරින් එතෙර වේවා’ යි සිතමින් යම් අනුශාසනාවක් කරයි නම්, එය අයත් වන්නේ ධර්ම දානයට යි. අප යමෙකුට යමක් දෙනවා නම් එය ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරව දියයුතු වෙනවා. නැතිනම් අප කළ පින මහත්ඵල මහානිශංස වන්නේ නැහැ.