ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතරින් අග තනතුරු ලැබූ
ඛේමා
රහත් තෙරණින් වහන්සේ
මීට කල්ප බොහෝ ගණනකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ කාලයේ
හංසවතී නුවර මහත් ධන සම්පත් ඇති සිටු පවුලක පින්වන්ත දියණියක් ව ඇය උපන්නා.
තරුණ වියට එළැඹි පසු ඇය නිතර නිතර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ධර්මය
ඇසුවා. තෙරුවන් සරණ ගියා. දිනක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය
පිණිස ආරාධනා කොට දින හතක් මහත් වූ ප්‍රණීත දානයක් සකසා පූජා කළා. සත්වන දින දානය
අවසානයේ දී ප්‍රාර්ථනාවක් කළා.
ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම මතු බුදු සසුනක ප්‍රඥාවන්ත භික්ෂුණියන් අතරින්
අගතනතුරු ලබම්වා! කියා.
අනාගතය දෙස බැලූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ "දියණියනි, මේ ලෝකයට බොහෝ කලකට පසු
ගෞතම නමින් පහළවන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඔබ ප්‍රඥාවන්ත භික්ෂුණියන්
අතරින් අග තනතුරු ලබනවා" යැයි විවිරණ ලබා දුන්නා. එදින සිට බොහෝ පින්දහම් කළ ඇය
මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නා. ඉන් පසු යාම දිව්‍ය ලෝකයේ ද, තුසිතයෙහි ද,
නිම්මානරතියෙහි ද, පරනිම්මිත දිව්‍ය ලෝකයේ ද උපත ලැබුවා. එදා කළ පින් මහිමයෙන් ඒ
දෙවඟන සියලු දෙව් ලෝකවල මහේශාක්‍ය ව වාසය කළා. මිනිස් ලොව ආ විට සක්විති රජවරුන්ගේ
ද ,මාණ්ඩලික රජුන්ගේ ද අගමෙහෙසිය වීමට තරම් ඇගේ පින බලවත් වුණා.
කාලයකට පසු මේ ලෝකයට විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේගෙන් ධර්මය අසා
ඒ ශාසනයේ ඇය පැවිදි වුණා. වසර දස දහසක් බඹසර හැසිරී බහුශ්‍රැත ව බුදුරදුන්ගේ
අනුශාසනා පිළිපදිමින් නිපුණ ධර්ම කථිකාවක් ව සිටියා. ඒ ජීවිතයෙන් පසු එතුමිය නැවත
තුසිත දෙව්ලොව උපන්නා. යම් භවයක උපන්නා ද ඒ හැම භවයක දී ම මහත් ධනය ලැබුණා. නැණවත්
වුණා. රූපයෙන් අගතැන් වුණා. බොහෝ පිරිවර ජනයා සිටියා.
ඒ භද්‍ර කල්පයේ ම බන්ධුමති නුවර කෝණාගමන බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා. එකල්හි ද
ඇය බරණැස් නුවර මහ ධනවත් පවුලක උපන්නා. එහිදී ද බොහෝ පින්දහම් කොට නැවත දෙව්ලොව
උපන්නා.
කස්සප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ බරණැස් නුවර කසීරාජ උන්වහන්සේගේ ප්‍රධාන
උපස්ථායක වුණා. ඇය ඒ පවුලේ වැඩමහල් දියණිය ලෙස උපන්නා. ඒ ජීවිතයේ දී ද මහත් වූ
පින්දහම් කර මරණින් මතු නැවත දෙව්ලොව උපන්නා.
ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ ඇය නැවතත් මිනිස් ලොව උපන්නා. සුන්දර රූප
සම්පත්තියක් තිබූ ඇයට ඛේමා යන නාමය ලැබුණා. තරුණ වියට පත් ඇය බිම්බිසාර රජුට අවාහ
කර දුන්නා. බුදුරජාණන් වහන්සේ හමුවීමට ඇය කවදාවත් ගියේ නැහැ. ඒ උන්වහන්සේ රූපයට
දොස් කියනවා කියා ඇය අසා තිබුණ නිසයි. නමුත් බිම්බිසාර රජු ඇය කෙරෙහි
අනුකම්පාවෙන් බුදුරදුන්ගේ ගුණ කියමින් උන්වහන්සේ වෙත රැගෙන යාමට උත්සාහ කළ ද
ඛේමා බිසව කෙදිනකවත් එයට එකඟ වූයේ නැහැ.
දිනක් බිම්බිසාර රජු ඇය ව බුදුරදුන් වෙත යැවීමට උපායක් යෙදුවා. වේළුවනයේ
භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි දවසක වේළුවන උයන ගැන ගායකයන් ලවා ඛේමා බිසවට ඇසෙන්නට
වර්ණනා කළා.
"වේළුවනය සහිත විහාරය නො දුටු තැනැත්තෙකු නන්දන වනය ද දැක නැත,
යමෙකු බුදුන් වහන්සේ වැඩ සිටින වේළුවනය දැක ඇද්ද හෙතෙම ශක්‍රයාගේ නන්දන වනය ද
දුටුවා වැනි ය, දෙවිවරු ද, නඳුන් උයන අතහැර පොළෝ තලයට බැස මනහර වේළුවනය දැක පුදුම
වෙයි."ආදී ලෙස වර්ණනා කරද්දී ඇයට වේළුවන උයන බැලීමට ආශාවක් උපන්නා. ඒ නිසා ඇය
වේළුවන උයන බැලීමට රජුගෙන් අවසර ඉල්ලා සිටියා. රජතුමා බොහෝ සතුටට පත්ව පිරිවර සහිත
ව උයන බැලීමට ඇය පිටත් කළා.
නොයෙක් වෘක්ෂයෝ ද, මනහර වූ කොවුල් නාදය ද, මොණරුන්ගේ නොයෙක් රැඟුම් ද ඇගේ සිත වශී
කළා. මහජනයාගෙන් තොර නිසා එහි තිබුණේ නිශ්ශබ්දතාවයක්. කුටි සෙනසුන් හැම තැනම ඉදිවී
තිබුණා. සන්සුන් ඉරියව් ඇති තරුණ භික්ෂූන් වහන්සේ භාවනා කරනවා ඇය දුටුවා. නව යොවුන්
වියේ සිටි, බොහෝ ප්‍රියමනාප ඉඳුරන් ඇති තරුණයෙක් හිස මුඬු කොට සිවුරු පොරවා ගසක්
මුල භාවනා කරන අයුරු ඛේමා දුටුවා.
ගිහියකු රිසි සේ කම්සුව විඳ වයසට ගියාට පසුව නේද මෙසේ පිළිවෙත් පිරිය යුත්තේ? ඛේමා
තමාගෙන් ම විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ පිරිසට දම් දෙසමින් වැඩ සිටියේ.
උන්වහන්සේ සමීපයේ එක් කාන්තාවක් පවන් සළමින් සිටියා. ඉතා රූමත් ඇය දෙස ඛේමා ඇසිපිය
නො හෙළා බලා සිටියා. රත් පැහැති මලක් මෙන් පියකරු මුහුණක් ඇති, දීප්තිමත්ව බැබළෙන
ඇස් ඇති, දුටු දුටුවන්ගේ සිත් වශී කරන ඒ කාන්තාව දෙස බලා අනේ මෙතරම් ලස්සන රූපයක්
මම කිසි දිනෙක දැක නැහැ. මටත් වඩා ඉතා ලස්සන කාන්තාවක් මැය නම් යැයි ඛේමාට සිතුණා.
ටිකෙන් ටික ඒ රූපය ජරාවට පත්වන අයුරු ඇය දුටුවා. සම රැළි වැටුණු, දත් වැටුණු, හිස
කෙස් සුදු වූ හැකළුණු කන් ඇති, ලොකු ඇස් ඇති සිරුර පුරා ඉලිප්පි ගිය නහර ඇති,
නැමුණු සිරුරින් යුතු ඇය ටිකෙන් ටික පොළොවට පතිත වන අයුරු පෙනෙන සේ භාග්‍යවතුන්
වහන්සේ සෘද්ධියක් පෑවා. ඒ දෙස ඛේමා නුවණින් බලා සිටියා. ඇයගේ සිත සංවේගයට පත්වනු
දුටු මහා කාරුණිකයන් වහන්සේ මෙසේ වදාළා.
"පින්වත් ඛේමා, රෝගි වූ, අපවිත්‍ර වූ, කුණු වූ, වැගිරෙන්නා වූ, මෝඩයන් ඇලුම් කරවන
මේ සිරුර දෙස බලන්න. මනාව පිහිටුවා ගන්නා ලද එකඟ වූ සිතින් අශුභ භාවනාවට සිත යොමු
කරන්න. කායගතාසතිය වඩන්න. කළකිරීම් බහුල කොට ගන්න. ඇය යම් සේ ද, ඔබත් එසේම යි.
බාහිර වූ ශරීරයෙන් ආශාව දුරු කරන්න. මනස තේරුම් ගැනීමෙන් සන්සුන්ව හැසිරෙන්න.
රාගයෙන් ඇලුණා වූ සත්ත්වයන් තමා විසින් වියන ලද දැලට වැටෙන මකුළුවකු මෙන් දිය පහරට
වැටෙනවා. නුවණැත්තෝ කම්සැප අතහැර ඒවා සිඳ බිඳ දමා නික්ම යනවා" යැයි වදාළ සේක. පෙර
පින් ඇති ඛේමාවෝ ධර්ම දේශනාව අවසානයේ දී මාර්ගඵල අවබෝධ කර ගත්තා. එතුමිය බුදුරජාණන්
වහන්සේ දෙපා මුල වැඳ වැටෙමින් මෙසේ කියා සිටියා.
භාග්‍යවතුන් වහන්ස, දහම දක්නා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! කාරුණිකයන් වහන්ස ඔබ
වහන්සේට නමස්කාරය වේවා! සසර ඉක්ම වූ, අන් අයට අමාසුව ගෙන දෙන ඔබ වහන්සේට නමක්නාර
වේවා! ආදී නන් අයුරින් බුදුරජාණන් වහන්සේට නමස්කාර කළ ඇය මාළිගය වෙත ගොස් රජුට මෙසේ
කියා සිටියා.
"රජතුමනි, ඔබ බුදු සසුනේ පැහැදී සිටිනවා නේද? රූපය කෙරෙහි කළකිරුණු මම ඒ ශාසනයේ
පැවිදි වීමට කැමැතියි."
මහරජු ඉතාමත් ප්‍රීතියට පත්ව ඇයට ඒ සඳහා අවසර දුන්නා. පැවිදි වූ ඇය අඩ මසක් යාමටත්
මත්තෙන් පහන් දැල්ලක භාවය හා අභාවය දැක සියලු සංස්කාරයන්හි අනිත්‍ය බව නුවණින් දැක
රහත්ඵලයට පත්වුණා.
භික්ෂුන් වහන්සේලාට අගතනතුරු පිරි නමද්දී "ප්‍රඥාවන්තයන් අතරින් ඛේමා භික්ෂුණිය
අගතනතුරු ලබන්නීය" කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.
දිනක් ගසක් මුල භාවනා යෝගීව සිටින විට මාරයා තරුණයකුගේ වෙස් ගෙන ඇය වෙත පැමිණ මෙසේ
කියා සිටියා.
"ඛේමා, ඔබ තවම තරුණ වියේ පසු වන්නේ. ඉතා රූමත්. මමත් කඩවසම් තරුණයෙක්. එන්න අපි
කම්සුව විඳීමු. "එය ඇසු ඕ තෝමෝ ඒ මාරයා බව දැන තමන් මාර ග්‍රහණයෙන් මිදුණු බව
දක්වමින් මෙසේ වදාළ සේක.
*
මාරය, නිතර රෝග හටගන්නා, වහා බිඳීයන මේ කුණු ශරීරය ගැන මම පිළිකුළෙන් ඉන්නේ. මම කාම
තණ්හාවේ මුල පවා සිඳ දමලයි ඉන්නේ.
*
සියලු ආශාවන් සිඳ දැමූ මට පංච උපාදානස්කන්ධය කියන්නේ මස් වැදැල්ලක් වගේ. ඔබ කියන ඔය
කාම රතියේ සැපයක් මට නැහැ.
*
මෝඩ ජනයා ග්‍රහයන්ට නමස්කාර කරමින්, වනයේ ගිනි දෙවි පුදමින් සත්‍ය නො දැන
පිරිසුදු බව සොයනවා.
*
නමුත් මම වන්දනා කරන්නේ ඒ ශ්‍රේෂඨ වූ බුදුරදුන්ට යි. බුදුරජාණන් වහන්සේගේ ඔවදන්
පිළිපදිමින් මම සියලු දුකෙන් නිදහස් වූ කෙනෙක්.
නයනා නිල්මිණී |