Print this Article


සතර අතේ යන සතර දෙනා

සතර අතේ යන සතර දෙනා

පින්වත් දරුවනේ, ගින්දරට මුදා හරින බීජ දැවී පිච්චී යනවා. නැවත හට ගැනීමක් නම් නෑ. නැවත හට ගැනීමක් නැතිනම්, ඒවා නැවත වැඩීමක් වන්නේ ද නෑ.

ඒ වගේ තමයි දරුවනේ, කළගුණ දන්නේ නැති අකෘතඥ අයට යම් කෙනෙක් උපකාර කරනවා නම්, ඒ උපකාරයත් ඒ විදියමයි. නැවත උපකාරයක් නම් ලැබෙන්නේ නෑ. ඒ වුණත් දරුවනේ සත්පුරුෂයකුට යම් ආකාරයක උපකාරයක් කළොත් ඒ විදිහට වෙන්නේ නෑ. සරු කෙතක වැපිරෙන මහා බීජ වගේ හොඳින් වැඩෙනවා. ඒ වගේම විනාශ වෙන්නේ නෑ. ප්‍රති උපකාර ලැබෙනවා.

ඉතින් දරුවනේ සමාජයේ පුද්ගලයින් වර්ග දෙකක් සිටිනවා. සත්පුරුෂයින් හා අසත්පුරුෂයින් ලෙස. මේ දෙපිරිසම අප අතර සිටිනවා. අප මේ දෙපිරිසටම උදව් උපකාර කරන්න ඕනෑ. ඒත් සත්පුුරුෂ බව, අසත්පුරුෂබව හොඳින් තේරුම් අරගෙනයි.

අසත්පුරුෂයන්ට උදව් කරන විට කිසිදු බලාපොරොත්තුවක් තබා ගන්නට හොඳ නෑ. අසත්පුරුෂ කෙනෙක් අපට හිංසා පීඩා කරන කෙනෙක්, වින කරන කෙනෙක් දුකට, කරදරයට වැටී සිටිනවා නම් මඟහැර සිටීම හොඳ නෑ. උදව් කරන්න ඕනෑ. ඒ කොහොමද?

දරුවනේ. ගැඹුරු ළිඳක් තිබෙනවා. යම් කෙනෙක් එයට එබී බලනවා. හරිම පරිස්සමෙන්, හිස පමණයි ළිඳ දෙසට නැඹුරු කරන්නේ නැතිනම් ළිඳට ඇද වැටෙන්න පුළුවන්. ගැඹුරු ළිඳක් දෙස බලන්නේ යම් සේ ද අන්න ඒ වගේ තමයි අසත්පුරුෂයන්ට උදව් කළ යුතු වන්නේ.

අද, මා කියලා දෙන්නේ මේ ලෝකයේ සිටින පුද්ගලයින් සතර දෙනෙක් පිළිබඳවයි. ටිකක් ගැඹුරුයි. ඒත් තේරුම් ගන්න උත්සාහ කරමු. මා, මේ සතර දෙනා නම් කරන්නේ සතර අතේ යන සතර දෙනා කියලයි.

බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ ධම්ම සමෝධාන කියන සූත්‍රයේ දී.

ඔන්න එක්තරා මනුෂ්‍යයෙක් කිසිම සුවඳක් නැති, රසක් නැති තිත්ත ලබු ගෙඩියක් ආහාරයට අරගෙන මිය ගියා.

තවත් පුද්ගලයෙක් ලස්සන භාජනයක තිබෙන සුවඳ පිරුණු, රසවත් වස බඳුනක් පානය කරලා ඔහුත් මිය පරලොව ගියා.

තුන්වැන්නා පාණ්ඩු රෝගියෙක්. ඔහු අරළු, බුළු, නෙල්ලි දැමූ තිත්ත කසායක් පානය කරලා එයින් එයාගේ රෝගය සුවපත් වුණා. සතරවැනි කෙනා අතීසාර රෝගියෙක් ඔහු තෙල්, මී පැණි පිරුණ බඳුනක් පානය කරලා එයින් ඔහුගේ අතීසාර රෝගය සුවපත් වුණා.

දැන් මතකයි නේද සතර දෙනා. ධර්ම මාර්ගය අනුගමනය කරන පුද්ගලයින් සතර දෙනාත් ඔය වගේලු.

දරුවනේ, සමහරු හරිම කනගාටුවෙන්, හරිම දුකෙන්, හරිම දොම්නසින් හරිම අකැමැත්තෙන් පස්පව් කරනවා. ඒ වගේම දස අකුසල් කරනවා. මෙලෙස දුකෙන්, දොම්නසින් පව් කරන විට ඒ පුද්ගලයා මිථ්‍යා දෘෂ්ටික වෙනවා. ඒ කියන්නේ වැරැදි ලෙස විවිධ අදහස් තමන්ගේ සිතට ගන්නවා.

සරු දේ නිසරු දේ ලෙසත්, නිසරු දේ සරු දේ ලෙසත් දකිනවා. මේ පුද්ගලයා මරණින් මතු උපදින්නේ සතර අපායේ. එයා වර්තමානයේත් දුක් විඳිනවා. අනාගතයේත් දුක් විඳිනවා. හරියට තිත්ත ලබු කෑ මිනිසා වගේ.

තවත් සමහරු ඉන්නවා දරුවනේ හරිම සතුටින්, සොම්නසින් පස්පව්, දස අකුසල් කරලා සතුටින් ම මිථ්‍යා දෘෂ්ටික වෙනවා. මරණින් පසු ඔහු උපදින්නේත් නිරයේම තමයි. මේ මොහොතේ සතෙක් මරණ විට පොඩි සතුටක් ලැබුවාට දරුවනේ, මරණින් පසු ඔහු විශාල දුක් කන්දරාවකට ගොදුරු වෙනවා. හරියට රසවත් විස බඳුනක් පානය කළ පුද්ගලයා වගේ.

තවත් සමහරු ඉන්නවා හරිම දුකෙන් කනගාටුවෙන් පව් කරනවා. නොයෙක් අකුසල් කරනවා. හැබැයි ඔහු කල්පනා කරනවා පව් වැඩ කළේ නොකරම බැරි නිසානේ කියලා. සතුටින් මිථ්‍යාදෘෂ්ටික වෙනවා. මොහු ගිහින් උපදින්නේ හොඳ තැනක. ඒ සතුටින් සිටිය නිසා. මෙය ටිකක් ගැඹුරුයි. මේ ආත්ම භවයේ දුකක් ලැබුවත් මතු ආත්මයේ තාවකාලිකව හරි සැපයක් ලබන නිසා මේ පුද්ගලයා අමිහිරි කසාය බීලා සුවපත් වුණු පාණ්ඩු රෝගියෙක් වගේ.

සමහර වෙලාවට මේ අය අතර ඉන්නවා පස්පව්, දස අකුසල් කරන්නේ ම නෑ. හරිම සතුටින් සොම්නසින් ඉන්නවා. හැබැයි මිථ්‍යා දෘෂ්ටිකයි. වැරදි විදිහටමයි සිතන්නේ. අම්ම, තාත්තා, ගුරුවරු, හාමුදුරුවන් වහන්සේ කියන දේ අහන්නේ නෑ. හැබැයි සතුටින් ඉන්නවා. එයා උපදින්නේ සුගතියේ තමයි. ඒත් ඒ සැපත තාවකාලිකයි. හරියට මිහිරි මී පැණි පානය කරලා තාවකාලිකව අතීසාරය සුවපත් කරගන්නා කෙනෙක් වගේ.

දරුවනේ අපිත් සමහර වෙලාවට ඔය පුද්ගලයන් වගේ තමයි.

සමාජයේ ජීවත්වන විට, අධ්‍යාපනය ලබන විට හැම මොහොතකම පස් පව් දස අකුසලයෙන් වැළකී සිටින්නට ඕනෑ. සතුටින් හෝ දුකෙන් පව් කරන්නට හොඳ නෑ. එහෙම වුණොත් අප අසත්පුරුෂයන් බවට පත්වෙනවා.

ඒ වගේම අසත්පුරුෂයන්ට කරන උදව් උපකාර හරියට ගින්නට දැමූ බීජ වගේ දැවී පිච්චී යනවා. නැවත හටගන්නේ නෑ. ඒ වගේ කවදාවත් ප්‍රතිඋපකාරයක් ලැබෙන්නේ නෑ. හැබැයි සත් පුරුෂයාට උපකාරයක් කළොත් සරු කෙතක වැඩෙන බීජ වගේ හොඳින් වැඩෙනවා. විනාශ වෙන්නේ නෑ. ප්‍රත්‍යුපකාර ලැබෙනවා.

ඒ නිසා පස්පව් දස අකුසලයෙන් වැළකී සත් පුරුෂයන් වන්නට සිතට ගන්න ඕනෑ.