Print this Article


මිනිසා හති දමමින් දිව යන්නේ කොතැනට ද?

මිනිසා හති දමමින් දිව යන්නේ කොතැනට ද?

අවබෝධයේ අවසාන ඵලය ලබා ගනිමින් බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුදු බවට පත්ව කරනු ලබන උදාන වාක්‍යය නම් නොයෙක් භවයන් හි ‘භවය‘ නමැති ගෙය තෘෂ්ණාව නමැති වඩුවා සොයා ගත් බවයි. නොයෙක් ජාතිවල ඔහු සොයමින් සසර සැරිසැරූ බවත් නැවත එකී සංසාර ගෘහය නිර්මාණය කරන්නට ඔහු සමත් නොවන බවත් උන්වහන්සේ දේශනා කළහ. භවයෙන් භවය සැරිසරමින් යන සසර ගමන ප‍‍්‍රධාන සාධකය නම් තෘෂ්ණාවයි. නිවන යනු කුමක්ද යන්නට කරන කෙටිම විග‍‍්‍රහය නම් ”තණ්හක්ඛයො නිබ්බානං” යන්නයි.

නිවන යනු අන් කිසිවක් නොවේ. නිවන යනු තෘෂ්ණාව නැති කිරීමයි. එහෙත් එය සුළු පටු කාර්යභාරයක් නොවේ. එම නිසා දහම, හඳුනා ගත්, දහම් මඟෙහි වඩා වඩාත් නියුක්ත වන්නට කැමති, බුද්ධිමත් පුද්ගලයා වඩ වඩාත් තෘෂ්ණාව අත්හැරීමේ උත්සාහයෙහි නිරත විය යුතු ය. ප‍‍්‍රධාන වශයෙන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් විග‍‍්‍රහ වන තෘෂ්ණාව වූ කලි සන්තානයෙහි ප‍‍්‍රබලවම ක‍ි‍්‍රයාත්මක වන, හඳුනා ගැනීමට අපහසුම තත්වයකි.

රැවටීමේ තරම

විටෙක විවිධ නම්, විවිධ සිතිවිලි සඳහා භාවිත වෙයි. ආදරය, සෙනෙහස, බැඳීම් ආදී විවිධ සුභවාදී නම් වලින් කරන අලංකාරවත් ව්‍යවහාරයන් දක්නට ලැබේ. තෘෂ්ණාව කෙතරම් සත්වයා රැවටීමකට පත් කරන්නේ ද යත් ආදරය යනු ද තෘෂ්ණාවටම තවත් නමක් බව කිසිවෙක් නොසිතයි. බුදු දහම අසුභවාදයක් නොවේ. සමාජයේ සම්මත, මිනිසුන් විසින් අගය කරන සංකල්පයන්ට පහර දෙමින් ඒවාට නින්දා කරන්නක් නොවේ. එහෙත් බුදු දහම යථාර්ථ විග‍‍්‍රහයට පසුබට නොවේ. යථාර්ථය කෙතරම් කටුක වුවත් එය පෙන්වා දීම පරම සමාජ මෙහෙවරක් බව බුදු රජාණන් වහන්සේ අවධාරණය කළහ.

අභය රාජ සූත‍‍්‍රය එයට හොඳම නිදසුනකි. කෙනෙකුට අප‍ි‍්‍රය, අමනාප වචන පවසන්නේ දැයි අසන විට අභය රාජ කුමරුට බුදු රජාණන් වහන්සේ පැහැදිලිව ම දේශනා කරන්නේ මෙසේ ය. යම් වචනයක් සත්‍ය ද, නිවැරදි ද, අර්ථ සහිත ද එම වචනය අමිහිරි වුවත් තමා එය ප්‍රකාශ කරන බව ය. එයට උදාහරණයක් ද ඒ අවස්ථාවේ බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙති. මේ කතා බහ සිදුවන අවස්ථාවේ අභය රාජ කුමරුගේ අතෙහි කිරිබොන වියෙහි දරුවෙක් වෙයි.

‘මේ දරුවා උගුරෙහි කිසිවක් හිර කර ගතහොත් කරන්නේ කුමක්දැ‘යි බුදුහු ඇසූහ. ‘එය ඉවත් කරමි‘ යි අභයරාජ කුමරු පිළිතුරු දුණි. ‘බැරිවුවහොත්‘ යැයි නැවත බුදුහු විචාළ අතර, එයට අභය රාජ කුමරු පිළිතුරු දෙන්නේ ‘වමතින් හිස අල්ලා දකුණු අතෙහි ඇඟිල්ල වක් කොට කෙතරම් හැඬුවත්, ලේ ගැලූවත් එය ගන්නා‘ බව පවසමිනි.

බුදු රජාණන් වහන්සේ ඔහුගේ වචනම ආපහු හරවමින් තමන් වහන්සේ ද එවැනිම කරුණාවකින් කටයුතු කරන බව පෙන්වා දුන්හ. මේ අයුරින් බුදු දහම තෘෂ්ණාවේ විවිධ ස්වරූපයන් සුභ හා යහපත් ලෙස අර්ථ විග‍‍්‍රහ නොකරයි. සත්වයා ගේ සසර ගමන් කිරීමට තෘෂ්ණාව හේතු වන අතර ඒ නිසා විවිධ දුක්ඛ වේදනාවන් විඳීමට සිදුවන බවද පෙන්වා දෙයි.

වෙනස් වී ඇත්තේ කුමක්ද?

තෘෂ්ණාව හටගන්නේ සිත තුළ වන බැවින් තෘෂ්ණාවට පිළියම් සෙවිය යුත්තේ ද සිත තුළින්ම ය. කිසිවෙකුටක් අන් අයෙකු සසරින් එතෙර කරන්නට නොහැකි අතර, තම තමන් විසින් දැන අවබෝධ කටයුතු ය. එනිසාම බුදු රජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් තුළ අදාළ පුද්ගලයාට ම යමක් වටහා ගන්නට ඉඩ හසර සලසා පසෙකට වු අවස්ථාවන් දක්නට ලැබේ.

වරක් සිරිමා නම් වෙසඟනක් පිළිබඳව පෙමින් බැඳුණු භික්ෂුවක් පිළිබඳව බුදු රජාණන් වහන්සේට පැමිණිල්ලක් ලැබිණි. එයට අනුව එම භික්ෂුව එම කාන්තාව පිළිබඳව සිතමින් සිය පැවිදි කිස පවා නිසි අයුරින් කරගන්නට අපහසු තත්වයට පත්විය. මේ කරුණ දැනගත් බුදු රජාණන් වහන්සේ දින කිහිපයකින් සිරිමා මිය යන බව දැන නිහඬ වූහ. එයින් දින කිහිපයකට පසු සිරිමාව මිය ගිය අතර බුදු රජාණන් වහන්සේ කොසොල් රජු ලවා මෘත දේහය ආරක්ෂා කරන්නට කටයුතු කළහ. දින හතකට පසුව සිරිමාව වෙන්දේසි කරන බව කියමින් අණ බෙරයක් යැවුණේ ද බුදු රජාණන් වහන්සේ ගේ අනුදැනුම මත ය. සිරිමාව මිය ගිය බව නොදැන සිටි ඉහත කී භික්ෂුව ද ඇය දැකීම සඳහා මහත් උද්යෝගයෙන් එම ස්ථානයට වැඩම කළහ. එහිදී අන් දිනවල සිරිමා අය කළ කහවණු දසදහක මුදල ට ඇයව වෙන්දේසි කරන්නට උත්සාහ කළ මුත් දහසකට නොව නිකම් වත් ඇයගේ සිරුර ගන්නට කිසිවෙක් කැමති නොවී ය.

කුණු වී දුගඳ හමමින් තිබුණු සිරුර දෙස බලමින් සිටි භික්ෂුවට මදින් මඳ සත්‍යය වැටහිණි. ශරීරය එදා සිටි සිරිමාගේ ම ය. එදා ගණන ගණන ම ය. එදා ප‍ි‍්‍රය කළ මිනිසුන් අද අප‍ි‍්‍රය කරති. වෙනස් වී ඇත්තේ කුමක් ද?.

සිත වෙනස් වී තිබේ. ඇල්ම පිළිකුළක් බවට පත් වී තිබේ. ඇය දැකීමෙන් එදා පහළ වූ සිතිවිලි පහළ නොවේ. තෘෂ්ණාවේ ස්වභාවය මෙයයි.

තෘෂ්ණාව ජනිත වන්නේ යථා ස්වභාවය හරි හැටි නොදැකීම නිසා ය. වැරදි ග‍‍්‍රහණය කර ගැනීම නිසා ඇති වෙන මානසික රැවටීමක ප‍‍්‍රතිඵලයකි. එයට පිළියම් සෙවිය හැකි වන්නේ යථා ස්වභාවය පිළිබඳව සොයා බැලීම තුළින්. යථාර්ථය වැටහෙන විට ඒ පිළිබඳ ඇල්ම දුරුවී යයි. පැටළුණු දෙයක් එකින් එක ලිහා පෙන්වන්නා සේ බෙදා විග‍‍්‍රහකොට විවරණය කිරීම බුදු දහමේ ඉතා ජනපි‍්‍රය ක‍‍්‍රමවේදයකි.

‘චිත්තෙ නීයති ලෝකො‘ යනුවෙන් ලෝකයේ ස්වභාවය පිළිබඳව බුදු රජාණන් වහන්සේ ඉතාම සුළු වචන කිහිපයකින් කරනු ලබන ඉතා සංකීර්ණ විග‍‍්‍රහයක් මෙසේ පෙන්වා දිය හැකි ය. ලෝකය යනු මනස විසින් මෙහෙයවනු ලබන සිතිවිලිවල ප‍‍්‍රතිඵලයකි. බැලූ බැල්මට මේ කිනම් ප‍‍්‍රකාශයක් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. ලෝකය ඇස් ඉදිරිපිට තිබෙයි. විවිධ නම් වලින් හඳුන්වනු ලබයි. පෘථිවියේ මහා පස් ගොඩ ඇතුළු ව ලොකු කුඩා භෞතික දේ ලෝකය තුළ දැකිය හැකි ය. සමහර දේ ඇසට හසු වෙයි. එසේත් නැති නම් කනට, නාසයට, හෝ දිවට දැනෙයි. මේ සියල්ල මායාවක් නොවේ. ඇසට පෙනෙන, දැනෙන ලෝකයක් අප ඉදිරිපිට තිබේ. එසේ නම් එය චිත්ත නිර්මිතයක් වන්නේ කෙසේ ද? එය සැබැවින් ම ඉතා සංකීර්ණ ප‍‍්‍රශ්නයකි.

ලෝකය හඳුනා ගන්නා හැටි

බැලූ බැල්මට අමුතු දෙයක් ලෙස පෙනුණ ද බුදු රජාණන් වහන්සේ ගේ මෙම පැහැදිලි කිරීම ඉතා ගැඹුරු හා තාත්වික විග‍‍්‍රහයකි. උදාහරණයක් ලෙස මෙසේ පෙන්වාදිය හැකි ය.

ලෝකය යන්න හඳුනාගත හැක්කේ රූප වශයෙනි. නැතහොත් ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ ස්පර්ශ වශයෙනි. අනෙක් දෙය නම් මේ කිසිවකට හසු නොවන, මනසට පමණක් ගෝවර වූ හැඟීම් චෛතසික සමුදායයි. ඉහත කී ඇස කන ආදී ඉඳුරන් අක‍ී‍්‍රය වූ කිසිවකු ට ලෝකය යනු කුමක්දැයි කිසිදු ආකාරයකින් හඳුනාගත නොහැකි ය. ලෝකය පිළිබඳව අප හඳුනා ගන්නේ මෙකී මාධ්‍ය හරහා ය. අන්ධ පුද්ගලයකුට ‘රූප’ පිළිබඳ ව අවබෝධයක් නැත. ඇත්තේ ස්පර්ශයෙන් ලැබූ කිසියම් අත්දැකීමක් පමණකි.

වරක් අන්ධ පුද්ගලයෙක් තවත් අයකුගෙන් මී කිරි යනු මොනවාදැයි ඇසීය. මීකිරි සුදු පාට යයි පිළිතුරු ලැබිණි. සුදු පාට මොන වගේදැයි විමසිණි. කොකා සුදු පාටයි. කොකා මොනවගේ දැයි යළි අන්ධ පුද්ගලයා ඇසී ය. කොකා මේ වගේ යැයි අත වක් කොට අඟවන්නට උත්සාහ කළේ ය. අන්ධ තැනැත්තා වක් කළ අත, අතගා බලා ‘මීකිරි හරියට කොකෙක් වගේ යැයි කීවේ ය. පවතින වස්තුවේ ස්වරූපය කුමක් වුවත්, එය දකින හෝ දැනෙන ආකාරය අනුව ය එය කුමක්දැයි තීරණය වන්නේ.

සැපය තමා සමීපයෙහි ම ය

තවත් කතාවක් මෙසේ ය. වරක් ඉබ්බකු ගොඩබිම ඇවිදින්නට ගියේ ය. ගොඩබිම බොහෝ වේලාවක් ඇවිදීමෙන් පසුව නැවත මුහුදට ගිය පසුව මාළුවෙකු මුණ ගැසිණි. ඔබ උදෑසන සිට කොහි ගියේ ද? මාළුවා ඇසී ය. මම ගොඩබිම ඇවිදින්නට ගියා යැයි ඉබ්බා පිළිතුරු දුණි. ගොඩබිම මොන වගේ ද, එහි පාසි වර්ග වැනි ආහාර හොඳීන් තිබේ ද? විශාල මාළුන් ගෙන් හිරිහැරයක් නැත් ද මේ ආදී ප‍‍්‍රශ්න රැසක් මාළුවා ඉබ්බාගෙන් ඇසී ය. සත්‍ය වශයෙන් ම ගොඩබිම කුමන ආකාරයෙන් දැයි පෙන්විය හැකි උදාහරණයක් නැති අතර, මාළුවාට එය තේරුම් ගැනීමට ක‍‍්‍රමයක් ද නැත. මේ නයින් බලන කළ සැබැවින් ම ලෝකය ඇත්තේ අපේ ඉඳුරන් ට ගෝචර වන විෂය පථය තුළ මිසක භෞතික දෙයෙහි ස්වභාවය අනුව නොවේ. ස්වභාවය කුමක් වුවත් අප එය හඳුනාගන්නා ආකාරය අනුව අදහස තීරණය වේ.

සමහර අය ගව මස් අනුභව කරති. සමහර අය එළු මස් හෝ කුකුළු මස් අනුභව කරති. එවැනි මසකට ප‍ි‍්‍රය කරන අයකුට සුනඛයකු ගේ මාංශයක්, එසේත් නැතහොත් බළලෙකු ගේ නැතහොත් සර්පයෙකු ගේ මාංශයක් ආහාරය පිණිස දුනහොත් ඔහුගේ හෝ ඇයගේ ප‍‍්‍රතිචාරය කෙසේ විය හැකිද? මේ තවත් එක් මාංශයක් යැයි අනුභව කරයි ද? නැත. එය මලකුණක් යයි ඉතාමත් ම පිළිකුලෙන් බැහැර කරනු ඇත. එළුවාගේ මාංශය ආහාරයක් වන්නටත්, සුනඛයාගේ මාංශය මළ කුණක් වන්නටත් හේතුව කුමක් ද? මලකුණ වන්නේ සුනඛයාගේ පමණක් ද. එක්කෝ දෙකම මලකුණු විය යුතු ය. නැතහොත් දෙකම ආහාර විය යුතු ය. එකම ලේ, මස් නහරවලට අර්ථකථන දෙකක් තිබෙන්නේ එය දකින ආකාරය අනුව ය. කොරියන් හෝ චීන ජාතිකයකුට මේ දෙකෙහි ම වෙනසක් නොවන්නේ ඔහු මේ දෙක දෙසම බලන්නේ එකම දෘෂ්ටියකින් වීම ය. එම නිසා ලෝකය යනු චිත්ත නිර්මිතයක් බව හොඳීන් පැහැදිලි වෙයි. බුදු රජාණන් වහන්සේ වරක් දේශනා කළේ ”සංකප්ප රාගො පුරිසස්ස කාමො” යනුවෙනි. මානව වර්ගයා මේ හති දමමින් දිව යන්නේ තම තමන් නිර්මාණය කරගත් සංකල්පයන් පසුපස ය. කිසිවක් හොඳ යැයි තමා තමාට ම ඒත්තු ගන්වා එය සොයමින් ලූහුබඳීයි. නැවතී බලන විට සැපය තිබෙන්නේ තමා තුළ ම ය. තමා වෙනස් කර ගතහොත් සැපය ළගා කර ගත හැකි ය.

නිරර්ථක දේ පසුපසම යන්නේ ඇයි?

තෘෂ්ණාව ඇති වන්නේ සංකල්ප නිසාය. සුන්දර යැයි තමා විසින් තීරණය කරනු ලබන දෙය සොයා එය ලබා ගැනීමේ ආශාවෙන් ඒ අනුව දිව යයි. බොහෝ අය එය දනියි. තමා ලූහුබඳීන්නේ නිරර්ථක දෙයක් පසුපස බව ජීවිතයේ යම් තාක් දුර ගමන් කළාට පසුව මිනිසුනට යම්තාක් දුරට වැටහෙයි. එහෙත් කිසිවකුත් යන මගින් බැහැර නොවේ. සියල්ල තාවකාලික හා අතෘප්තිකර බව දැනෙන මුත් අදාළ දේ තුළම එල්ලී තව තවත් වේදනාව කරා ගමන් කරයි. මෙම ස්වභාවය පවතින්නේ තෘෂ්ණාව පදනම් කරගෙනය. තෘෂ්ණාව නිසා සත්වයා යළි යළි උපදිමින් යළි යළි මියැදෙමින් දීර්ඝ වූ සංසාරයේ ගණන් කළ නොහැකි තරම් භව සංඛ්‍යාවක් පසුකළහ. එනිසා අවබෝධයෙන් ලැබුණු මිනිස් භවයේ සත්‍යාවබෝධය කළ නොහැකි නම්, හෝ මේ භවයේ ම සත්‍යාවබෝධය සිදු කරන්නට හැකි යැයි ස්ථීර නිගමනයකට එන්නට නොහැකි නම් වඩාත් සුදුසු වන්නේ හැකි තරම් තෘෂ්ණාධික සිතිවිලි වලින් මිදී නිස්සරණධ්‍යාශයෙන් දිවි පැවැත්ම සිදු කිරීමයි.

එහෙත් තණ්හාවෙන් මැඩුණු ලෝකයක එය කරන්නේ කෙසේද? තෘෂ්ණාව අඩු කරගන්නේ කෙසේද? බහුවේදනීය සූත‍‍්‍රයෙහි දී බුදු රජාණන් වහන්සේ යමක් විග‍‍්‍රහ කිරීම සඳහා ගනු ලබන විශිෂ්ට ක‍ි‍්‍රයාමාර්ගයක් විස්තර කර දෙති. පංචක නම් වඩු උපාසකයා උදායී තෙරුන් වහන්සේ හමුවී වේදනාව කී වැදෑරුම් දැයි විමසති. එවිට උදායී තෙරුන් එය තෙවැදෑරුම් යැයි පවසන අතර, වඩු උපාසක තැන එය දෙවැදෑරුම් යැයි පැවසී ය. මෙම සංවාදය අසා සිටින ආනන්ද හිමියෝ එය බුදු රජාණන් වහන්සේට දැන්වූහ. එවිට බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්ම විග‍‍්‍රහයේ දී තමා වේදනාව දෙවැදෑරුම්, තෙවැදෑරුම්, සිව්වැදෑරුම්, පස්වැදෑරුම් ආදී වශයෙන් විවිධාකාරයෙන් විග‍‍්‍රහ කර දක්වන බව ය. විග‍‍්‍රහ කිරීම හෙවත් බෙදා බැලීම සත්‍යාවබෝධයේ හොඳම මාර්ගයකි.

ඇසෙහි මායාව

මක් නිසාද යත් , සමස්තයක් ලෙස ගන්නා විට ඕනෑම දෙයක ලස්සන බවක්, සුන්දරත්වයක් දක්නට ලැබේ. එකී ඇසට හසුවන මායාව නිසා ඒ පිළිබඳව ඇල්මක් ඇති වෙයි. එය බෙදා බලන විට, විග්‍රහ කර බලන විට එය සැබැවින් ම අස්ථිර වූ දෙයක් බව වැටහෙයි.

වරක් එක්තරා කාන්තාවක් සිය සැමියා සමඟ අමනාප වී ඔහුගෙන් වෙන් වී වෙනත් කටයුත්තක් කර ගනිමියි යන සිතෙන් ගෙදරින් පිටත් වූවා ය. ඇය ගිය පසු මද වේලාවකින් තරහ සිත නිවුණු සැමියා ඇය සොයමින් පසුපසින් ලුහුබඳීන්නට විය. හමුවන අයගෙන් ඇය පිළිබඳව කරුණු අසමින් එන ඔහුට ඈතින් එන භික්ෂුවක් දක්නට ලැබිණි. ස්වාමීනි, ලස්සන කාන්තාවක් මේ මඟ යනු දුටුවාදැයි විමසූ ඔහුට භික්ෂූන් වහන්සේ පිළිතුරු දුන්නේ කාන්තාවක් දැයි නොදනිමි. ඇට සැකිල්ලක් නම් ගියේ ය යනුවෙනි.

එම කාන්තාවට මගදී භික්ෂුව හමු වූ අතර උන්වහන්සේ වසඟ කර ගැනීමේ අටියෙන් සිනාවක් ද පෑවා ය. එහෙත් භික්ෂුන් වහන්සේ අනිතය වඩන්නෙකි. යථාර්ථය මෙනෙහි කරන්නෙකි. දකින දේ තුළ උන්වහන්සේ සමස්තය නොදකියි. වෙන් වෙන්ව ම දකියි. වෙන් වෙන්ව දකින විට මිනිසා හෝ ගැහැනිය හෝ බිරිඳ හෝ සැමියා යනු සම්,මස්, නහර, ඇට, ලේ වන අතර පිළිකුල් ජනක අවයව කොටස් ටිකක් මිස එහි සතුටින් අයිති කර ගත හැකි කිසිවක් නැත. ඒ සත්‍යය අවබෝධ වන්නේ බෙදා බැලීමෙන් පමණකි. බුදු රජාණන් වහන්සේ විභජ්ජවාදී යයි පවසන්නේ එනිසා ය.

හැඟීම් පාලනය කරන හැටි

වරක් මහාකච්චාන හිමියන් සමීපයට උදේන රජතුමා පැමිණෙයි. පැමිණ විමසා සිටින්නේ තරුණ භික්ෂුන් වහන්සේලා හැඟීම් පාලනය කර ගනු ලබන්නේ කෙසේ ද යනුවෙනි. එවිට හිමියන් පිළිතුරු දෙන්නේ කාන්තාවන් නොදැක සිටීමට උත්සාහ දරන බව ය. දුටුවහොත් කතා නොකරත් කතා කරන්නට සිදුවුවහොත් මව හෝ සොයුරිය හෝ යන සිතිවිල්ලකින් යුතුව කතා කරන බවත් උන්වහන්සේ සඳහන් කරති. නැවත රජතුමා විමසා සිටින්නේ මවගේ වයසේ හෝ සොයුරියගේ වයසේ හෝ කාන්තාවන් පිළිබඳව පවා හැඟීම් ඇතිවන විට කුමක් කරන්නේ ද යනුවෙනි. එවිට තෙරුන් වහන්සේගේ පිළිතුර වන්නේ දෙතිස් කුණුප කොටස් පිළිබඳව මෙනෙහි කරන බව ය. කෙස්, ලොම්, නිය, දත්, සම් ලේ, මස්,නහර ආදී වශයෙන් ශරීරය මෙනෙහි කරන විට ඇති වන්නේ පිළිකුලක් මිස රාගයක් නොවේ.

සැම විටම වෙනස් විය යුත්තේ අප දෙයක් දෙස බලන ආකාරය මිස අදාළ දේ නොවේ. ලෝකය නොව අපගේ සන්තානයන් වෙනස් විය යුතු ය. තෘෂ්ණාව හටගන්නේ අප යමක් දෙස බලන ආකාරය අනුව ය. බලන අයුරු වෙනස් වූ විට තෘෂ්ණාව ජනිත නොවේ. එසේත් නැත්තම් ඒ පිළිබඳව තිබෙන දැඩි ඇල්ම සමනය වේ. මේ සත්‍යය පුද්ගල ශරීරයට පමණක් අදාළ නොවේ.

ලෝකයේ ඇත්ත දකින්න

බුදු රජාණන් වහන්සේ ගේ දේශනාව සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා යනුවෙන් දෙයාකාර වේ. ලෝකය සම්මුතියකි. එය ඉහතදී විවිධ ආකාරයෙන් පැහැදිලි කරන ලදී. සම්මුති දේශනා යනු සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය සත්ත්වයා ට තේරෙන අයුරින් කරනු ලබන දේශනයයි.

පරමාර්ථ දේශනා යනු ලොව පවතින සියල්ලෙහි ධර්මතාව යථාර්ථවත් අයුරින් ම පැහැදිලි කිරීමයි. උදාහරණයක් ලෙස මෙසේ පෙන්වා දිය හැකි ය. අනාත්ම සංකල්පය හරහා බුදු රජාණන් වහන්සේ පැහැදිලි කළේ සත්ත්වයා යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන උපාදානස්ඛන්ධ සංයුතිය මිසක නොවෙනස්, අවිනශ්වර පදාර්ථයක් එසේත් නැතහොත් වෙනස් නොවන සුළු ආත්මය යන්නක් සත්වයා තුළ නැති බව ය. සැකෙවින් කියතොත් මේ ස්කන්ධයන් ගේ එකතුව නිසා සත්වයා යන්න පෙනෙන නමුත් වෙන් වෙන් වශයෙන් ගත් කල සියල්ල අනිත්‍ය වූ වෙනස් වන ස්වභාවයෙන් යුක්ත ය. යම් සේ විවිධ අංග එකතු වීම නිසා රථය යැයි ශබ්දයක්, නාමයක් ඇති වන්නේ ය. මේ සාධාරණ ධර්මතාවය සියලු ලෝකයට පොදු ය. ඒ අයුරින් ගත් කල ලෝකයේ සත්වයෙක් ද නැත. පුද්ගලයෙක් ද නැත. ගෙය හෝ වාහනය කියා දෙයක් නැත. සැම තැනම ඇත්තේ එකතුවක් පමණකි. එකතු වූ රූපය සිත රවටන මායාවක් බව තේරුම් ගන්නා තාක් කල් තෘෂ්ණාවට ඉඩක් නැත. අවබෝධ කර ගත යුත්තේ එකී ලොව පවතින සැබෑ යථාර්ථයයි.