Print this Article


සෙයියු කිරියාමා මහා නා හිමියන්ගේ ජන්ම ශත සංවත්සරයට පින්කම් රැසක්

සෙයියු කිරියාමා මහා නා හිමියන්ගේ ජන්ම ශත සංවත්සරයට පින්කම් රැසක්

තම ස්වාමි දියණියගේ අඩම්තේට්ටම් ඉවසා ගත නොහැකි වූ මාලා නම් තරුණියක් ‘රජ්ජුවකින්‘ දිවි නසා ගැනීමට ගොස් අවසානයේ බුද්ධ ශාසනයේ උතුම් වූ රහත් ඵල ලාභී බවට පත් වූ බව රජ්ජුමාලා කතා වස්තුවෙන් අපට දැන ගන්නට හැකි වනවා.

මීට දශක කිහිපයකට පෙර ජපානයෙන් ද අපට ඒ ලෙසින් දිවි නසා ගන්නට ගොස් අවසානයේ ලෝකයේ බෞද්ධ පුනරුදයට දායකත්වයක් දැක්වූ අයකුගේ පුවතක් අසන්නට ලැබුණා.

ඔහු උපන්නේ 1921 වසරේ ජනවාරි 05 වැනිදායි. ත්සුත්සුමි නමින් හැඳීන් වූ මේ තැනැත්තාගේ කුඩා කල දිවිය ඉතාම වේදනාකාරී වුණා. කොහොම වුණත් අවසානයේ ඔහු දෙවන ලෝක යුද සමයේ ජපන් යුද හමුදාවට එක්වීමට තීරණය කළත් වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත් වීම නිසා එයද ව්‍යර්ථ වුණා.

එම වෛද්‍ය පරීක්ෂණයෙන් කියැවුණේ ත්සුත්සුමිට වැඩිකල් ජීවත්විය නොහැකි බවයි. එයින් දැඩි කළකිරීමට පත් වූ ඔහු තමන්ගේ දිවි නසා ගැනීම එකම විසඳුම යැයි සිතා ඒ සඳහා සූදානම් වුණා.

එහෙත් බුදුරජාණන් වහන්සේ වදාළ සූත‍‍්‍ර ධර්මයක් කියැවීමට ලැබීමෙන් පසුව අට ලෝ දහම මෙන්ම රෝග බිය ලොව සියලු දෙනාටම එක සේ බලපාන බව වටහා ගත් ඔහු ත්සුත්සුමි ‘සෙයියු කිරියාමා‘ නමින් පැවිදි වුණා. ඒ 1955 වසරේදීයි.

පැවිදි වීමෙන් පසුව ඒ හිමියන් සිදු කෙළේ දරුවන්ගේ අධ්‍යාපනයට උපරිම ලෙසින් දායකත්වය ලබා දීමට කටයුතු කිරීමයි. ජපානය වැනි දියුණු රටක සිට සංවර්ධනය වෙමින් පවතින රටක අධ්‍යාපනය ලබන දරුවන්ගේ දැනුම වැඩි කළ යුතු යැයි ඒ හිමියන් කල්පනා කළා.

ඒ අනුව ජපානයේ ‘අගුන්ෂු‘ නමින් පදනමක් ආරම්භ කළා. එහි සාර්ථකත්වය කෙතරම් ද කිවහොත් උන් වහන්සේ වැඩිකල් නොගොස් ජපානයේ මහ නා හිමි නමක් බවට පත් වුණා.

උන් වහන්සේ අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙරටද දුගී දරුවන් වෙනුවෙන් යම් අවශ්‍යතාවයක් ඉටු කිරීම වෙනුවෙන්. ඒ අනුව 1994 ජනවාරි මස 12 වැනිදා ශ‍ී‍්‍ර ලංකා අගොන්ශු මිත‍‍්‍රත්ව පදනම මෙරට බිහි කළා. ‘දුප්පත්කම නිසා දරුවකුට අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට නොහැකි වෙතොත් එය දරුණු ඛේදවාචකයක් ය’’ යන කිරියාමා මහ නාහිමි තුළ පැවති අදහස අනුව එදා සිට අධ්‍යාපන ශිෂ්‍යත්ව 16,000 ද ඉක්මවා ලබා දීමට කටයුතු කර තිබෙනවා. එදා සිට වසර 28ක්ම මේ සේවාව සිදු කරන්නට කටයුතු කරනු ලබනවා.

උන් වහන්සේගේ මේ කාරුණික සේවාව වෙනුවෙන් මහනුවර මල්වතු මහා විහාරයෙන් සෙයියු කිරියාමා මහ නා හිමි වෙත ‘‘කීර්ති ශ‍ී‍්‍ර සාමදූත’’ යන උසස් ගෞරව නාම සම්මුතියත්, ශ‍ී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවෙන් ‘‘බෝධිසත්ත්ව ගුණෝපේත ලෝකත්ථචාරී’’ යන උසස් ගෞරව නාම සම්මුතියත් පුද කරනු ලැබුවා.

තරුණ වියේදීම ජීවිතය අවසන් වන බව පැවසුවද වයස අවුරුදු 96ක් දක්වා මේ සමාජ සේවාවන් සිදු කරන්නට උන් වහන්සේට හැකි වුණේ බුදු ගුණ මහිමය නිසාම බව උන් වහන්සේ දැඩි සේ විශ්වාස කළා. 2016 අගෝස්තු 29 වැනිදා උන් වහන්සේ අපවත් වී වදාළ නමුත් උන් වහන්සේ බිහි කළ සිසු පරපුර විසින් එම සේවාව දිගටම කරගෙනු යනු ලබනවා.

උන් වහන්සේගේ ජන්ම ශත සංවත්සරය ජපානයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සැමරීමට කටයුතු කළ අතර, ශ්‍රී ලංකා අගොන්ශු පදනමේ අධ්‍යක්ෂ ජනරාල් සෝමසිරි අද්දර පතිරණගේ මහතාගේ මූලිකත්වයෙන් පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේදී එම කාර්යය සිදු කෙළේ ශ‍ී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පාසල් සිසු දරු දැරියන් සිය දෙනකුට පාසල් උපකරණ පිරිනැමීමත් ගැබිනි මව්වරුන් සිය දෙනකුට පෝෂණ මලු පිරිනැමීමත්, ආර්ථික දුෂ්කරතා සහිත පවුල් 100කට වියළි සලාක පිරිනැමීමත්, සිදු කෙරුණු අතර 5 වැනිදා රාත්‍රී සෙයියු කිරියාමා මහනාහිමි ගුණානුස්මරණ ධර්ම දේශනාව සිදු කෙළේද මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නා හිමි විසිනි.