Print this Article


මල් පිපෙන සදහම් අරණ

බුදු ගුණ

සිදුහත් බෝසතාණන් වහන්සේ අපමණ දුක් විඳිමින්, දුෂ්කරක්‍රියා කරමින් ශරීරයට අධික දුක් දුන්නේ අප වෙනුවෙන් ම ය. සම්මා සම්බුද්ධත්වය ලැබ සෑම සත්ත්වයකුට ම එක සමාන ව කරුණාව දැක්වූ උන්වහන්සේ ලෝසතට පිහිටවූ සේක. ලොව සිටි පිනැතියෝ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනය ගෙන දුගතියෙන් මිදුණ හ.

****

පිහිට ලැබෙන පින

මිනිසුන්ට වඩා වෙනස් වුව ද සතුන් ද අප වගේ ම තම පණට ආදරය කරයි. අප සැවොම ජීවිතයේ වටිනාකම දැනගෙන කටයුතු කිරීම වැදගත් ය. අපි එම නිසා සතුන්ගේ ද වෙනත් අයගේ ද ප්‍රාණය නැසීම හෝ කරදර කිරීමට යොමු නොවිය යුතු ය. සත්වයෙක් කරදරයට පත් වූ විට එයින් බේරා ගෙන රැක ගතහොත් මහානිසංස ගෙන දෙන පිනක් බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. අප කිසිවකුට කරදර කළහොත් එහි විපාක අප පසුපස එයි. කළ පව්වලින් බේරී සිටිය නොහැකි ය.

එමනිසා අපි සියලු දෙනාම පින් රැස් කරමු. එම පින් අපිට මෙලොව හා පරලොවත් පිහිටට එයි. අපට සතුන් වෙනුවෙන් ආදරය, කරුණාව දැක්විය හැකි ය. කුරුල්ලන්ට ආහාරයට කෑම ලෑල්ලක්, වතුර භාජනයක් තබා පුංචි අපි පින් රැස් කර ගනිමු. අපි උදේ සවස බුදුන් වඳින විට, පන්සිල් සමාදන් වෙමු. එයින් පළමුවන සිල් පදය වන්නේ මම ප්‍රාණය නැසීමෙන් වළකිමි යන්නයි. අප උදේ සවස බුදුන් වඳින විට පොරොන්දු වන පන්සිල් රැකීමට පුරුදු වෙමු. අපි සතුන්ට හිංසා නොකරමු. අපිත් රැකෙමු. සතුනුත් රකිමු.

****

පියාණෙනි

මා ඉපදුණ දවසෙ පටන්
ඔබ මා ගැන සතුටු වෙමින්
රැක ගැනුමට වෙහෙස වෙමින්
අපමණ දුක් වින්දෙ නිතින්

අද මා ළඟ නො සිටින මා පියාණෙනි
ඔබෙ සෙනෙහසට සයුර පරදයි පියාණෙනි
මගෙ මතකය ඇත ඔබෙ රූ පියාණෙනි
මතු මතුවටත් ඔබ මගෙමයි පියාණෙනි

****

සිත්තරා

සිංහගිරියේ අලු විහාරේ
කැලණි රජ
මහ විහාරේ....
සිතුවම් අතර හෝ සෙවූ වද
ඔබේ රුව නැත හමුවුණේ......
එදා දිවි මග සිත්තමක් වී
බිත්ති පාටින් හැඩ කළේ....
මතක සටහන් ඉතිරි කරලයි
ඔබේ වතගොත පැවසුවේ......

****

සසර ගමනට නිමාවක්

අප මේ ඇවිද යන සසර ගමනේ නිමාවක් දැකිය හැකි වන්නේ නිර්වාණය ලබා ගැනීමෙන් පසුව ය. අප මෙම සංසාරයේ ඉපදී මියගිය වාර ගණන අනන්ත යි. අප්‍රමාණ යි. මෙම සංසාර ගමන නිම කිරීම ඉතා දුෂ්කර යි. එයට වීර්ය, ශක්තිය, ධෛර්ය පමණක් නොව කැමැත්ත ද අවශ්‍ය යි.

අප මේ ලොවෙහි පවතින තාවකාලික සැපයෙහි ඇලෙනවා. විවිධ වූ කාම වස්තු කෙරෙහි දැඩි ආශාවන් ඇතිකර ගන්නවා. එනිසාම අප භවයේ ගමන් කරනවා. දෙතිස් මහ කුණුප කොටස් ඇති මේ සිරුර දිරනවා. ශරිරයේ නව දොරටුවලින් නිරන්තරයෙන් පිළිකුල් සහිත දේ ගලා යනවා. මේ සිරුරෙන් ඇති ඵලය කුමක් ද?

අප මෙලොවෙන් පරලොවට රැගෙන යන කිසිවක් නැත. ගෙන යන්නේ පින සහ පව පමණ යි. එනිසා අනිත්‍ය බව, දුක් සහිත බව දකිමින් ජීවත් වෙමු. තාවකාලික සැපයට ලොල් නො වී සදාකාලික සැපය ළඟා කර ගනිමු.