Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 32 කොටස: දානය නොමැතිව ලුණු දමා වට්ටක්කා වළඳති

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 32 කොටස:

දානය නොමැතිව ලුණු දමා වට්ටක්කා වළඳති

නාගදීපය අසලදී නාවික යාත්‍රාවක් පුපුරුවා හැරීම සම්බන්ධ ව නාවික හා යුද හමුදාවේ සෙබළු දැඩි කෝපයෙන් පසු විය. ඒ අතරේ හඳුනා නොගත් අයකු විසින් නාගදීපයේ ‘නාගපූෂනී අම්මාන්‘ කෝවිලට ගිනි තබන ලදී.

එයට එකට එක කරන්නට නාගදීපයේ කිසිදු අයෙක් කටයුතු නොකළද වෙනත් දුපතක සිට පැමිණි ත්‍රස්තවාදියකු විසින් බුද්ධ වලව්ව පන්සලට බෝම්බ තබා පුපුරවා හරින ලදී.

මේ කරදර අස්සේ නිවාසවලින් එළියට බසින්නටවත් ජනතාව අකමැති වූහ. නිවාස පරීක්ෂා නොකළ ද නාවික හමුදාව හා යුද හමුදාව දූපත පුරා ගිය අතර නාවික හමුදාව මුහුදේ නිරතුරු සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නට විය.

ත්‍රස්තවාදීන්ද කුරිකට්ටුවාන් ජැටියේ සිට මෝටාර්වලින් ප්‍රහාර එල්ල කළහ. ඔවුන් සතුව නවීන මෝටාර් උණ්ඩ තිබෙන බව එම ප්‍රහාරවලින් තේරුම් ගියේ ය.

දින දෙකක්ම පදුමකිත්ති හිමියන්ට හා නා හිමියන්ට දානය පවා නොලැබුණි. පන්සල පිටුපස වැලේ තිබුණු වට්ටක්කා ගෙඩියක් තබ්බා ගත් පදුමකිත්ති හිමියෝ ලුණු දමා පොල් ගා එයින් නා හිමියන්ට දානය පිළිගන්වා උන් වහන්සේ ද වැළැඳූහ. දෙදිනම උදෑසන හා දවල් ආහාරය වූයේ වට්ටක්කා තැම්බුම පමණි.

බුද්ධවලව්ව පන්සලට බෝම්බ ගසා විනාශ කිරීම නිසා තැතිගත් ජනතාව පන්සලට රොක්වූහ. තමන්ට හානියක් වේ යැයි ඔවුහු නා හිමිගෙන් සරණක් පැතූහ.

එම අවස්ථාවේ කෝවිලේ පූසාරි හමුවී පදුමකිත්ති හිමියෝ ද ඒ සම්බන්ධ ව කතා කළහ. ඒ අතර පන්සලටත් කෝවිලටත් වන්දි ලබා දීමට කටයුතු කරන බව යාපනය දිසාපතිවරයා විසින් දන්වා තිබුණි. නා හිමියන් කඳවුරු දෙකේම අණ දෙන නිලධාරීන්ට පෙර මෙන්ම දැඩි ආවේගයෙන් පවසා සිටියේ සියල්ල අමතක කර දමන ලෙස හා දුපතේ ජනතාවට කිසිදු ආකාරයක කරදරයක් හිරිහැරයක් නොවිය යුතු බවයි.

සියලු හමුදා නිලධාරීන් ඒ බව පිළිගත් අතර ජනතාව නා හිමියන්ට වන්දනා මාන කර පන්සලෙන් පිටව ගියේ නා හිමියන් නිසා තමන්ට ජීවය ලැබුණු බව පවසමිනි.

ඔවුන් සියලු දෙනා නාහිමියන්ට දෙතුන් වතාවක් බිමට නැමී වන්දනා කළ අතර ඒ සඳහා පැයකට අධික කාලයක් ගත විය.

ප්‍රචණ්ඩ ක්‍රියා නිසා හානිවලට වන්දි වශයෙන් කෝවිලට රුපියල් ලක්ෂ 20ක් හා පන්සලට ලක්ෂ 5ක මුදලක් ලැබුණි.

ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරය දැරූ සමය වන විට ත්‍රස්තවාදී යුද්ධය දරුණු ලෙසින් පැතිර යමින් තිබුණි. මුහුදේ ගොඩබිම වෙනසක් නොමැතිව දිනපතා සටන් ඇවිලුණි. යුද හමුදාවේ මෙන්ම නාවික හමුදාවේ ද දිනපතාම සැලකිය යුතු පිරිසක් මිය යන්නට විය.එමෙන්ම වෙඩි වැදී මියගිය ත්‍රස්තවාදීන්ගේ සිරුරු ද නාගදීපය අවට මුහුදේ පාවෙන්නට විය. මේ දරුණු සටන් නිසා උතුරේ දුපත්වලට ආහාර පාන පවා නොලැබී ගියේ ය. දින ගණනාවක් දූපත්වල ජනතාව දැඩි අසීරුතාවන්ට මුහුණ දෙන්නට විය.

දුරකතන පහසුකම් පවා නොමැතිව තිබූ අවස්ථාවක වුව ද ධම්මකිත්ති හිමියන් විසින් ප්‍රේමදාස ජනාධිපතිවරයාට කතා කර උතුරේ දූපත්හි ජනතාව දැඩි ආහාර හිඟයකින් සිටිනා බව දැනුම් දෙන ලදී.

එහෙත් ඒ වන විට ජනාධිපති කාර්යාලයේ පිරිස් ප්‍රේමදාස ජනාධිපතිවරයාට දන්වා තිබුණේ එම ආහාර ත්‍රස්තවාදීන් අතට පත්වුවහොත් එයින් කොටි සංවිධානයට ආධාර උපකාර ලබා දීමක් වන බවත්, ජනතාවට ගැටලුවක් ඇතිවන බවයි.

ඒ බව දැනගත් ධම්මකිත්ති හිමියෝ යළිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට කතා කළහ. ආහාර බෙදීමේ වගකිම තමන් බාර ගන්නා බව උන් වහන්සේ පැවසූහ.

දින කිහිපයකට පසු ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර පටවාගත් නැවක් නාවික හමුදා ආරක්ෂාව මැද පැමිණියේ ය. එම නැව මුහුදේ නැංගුරම් ලා නාවික හමුදා බෝට්ටු මගින් ආහාර පාන ඇතුළු අතවශ්‍ය දේ නාගදීපයට ගෙන එන ලදී. එම ආහාර පාන ඇතුළු සියල්ල ජන සංඛ්‍යාව අනුව බෙදා හැරීමේ කටයුත්ත පැවරුණේ පදුමකිත්ති හිමියන්ට ය.

නිසි අයුරින් විදුලි බලය නොමැති වූ දූපතේ ජනතාවට අවශ්‍ය පරිදි භූමිතෙල් පවා බෙදා දීම පදුමකිත්ති හිමි අතින් සිදු කෙරිණි. ඒ වෙනුවෙන් දින ගණනාවක් දානය පවා නිසි අයුරින් නොලබා කටයුතු කරන්නට උන් වහන්සේට සිදු විය.

කෙසේ හෝ එම වසර අවසන් වන විට ධම්මකිත්ති නාහිමියන්ට දූපතේ ජනතාවගෙන් අතිවිශාල ගෞරවයක් හිමි වී තිබුණි. පදුමකිත්ති හිමියන්ට ද මේ නිසා ඇති වූ ගෞරවය සුළු පටු නොවන අතර ඇතැම් දිනවල සුරා ටිකක් කටේ තබාගෙන ගෙදර උන්දැලාට කෑගසන, අඩම්තේට්ටම් කරන චණ්ඩි පවා පදුමකිත්ති හිමි දුටු සැණින් ගෞරවයෙන් සැඟවුණහ. ඒ ගෞරවය පසුව බියකට පෙරලුණි.

ඇතැම් බවලත් උදවිය ස්වාමි පුරුෂයන්ගේ අඩම්තේට්ටම්වලින් ගැලවුණේ ‘පොඩි සාමිට ගිහින් කියනව කරදර කරනව කියලා‘ යනුවෙන් සිය සැමියන් බිය ගන්වමිනි.

දිනක් අඳුර වැටීගෙන එද්දී ඇවිදිමින් සිටි පදුමකිත්ති හිමියන්ට නිවසක් තුළින් ගෝරනාඩුවක හඬ ඇසුණි.

ඒ සුරාව තොල ගා ගත් අයෙක් භාර්යාවට තඩි බාන හඬයි. පදුමකිත්ති හිමියෝ එතැනට වැඩම කළහ.

‘‘කවුද ඔය ගෑනු අයට ගහන චණ්ඩියා‘‘ පදුමකිත්ති හිමියෝ දෙමළ බසින්ම ඇසූහ.

නිවසින් පිටතට පොල්ලක් ද ගෙන ආ ගෙහිමියා පදුමකිත්ති හිමියන් හඳුනා ගත්තේ ළඟටම ආ පසුය. ආපසු හැරී දිව යන්නට සූදානම් වූ ඔහුට පදුමකිත්ති හිමියන් දුන් පහරින් තරු විසිවන්නට ඇත. මිට මෙළ වූ අතේ ඇඟිලි දිග හැර ගන්නට පවා පදුමකිත්ති හිමියන්ට විනාඩියක් පමණ ගත විය. විනාඩි කිහිපයකින් අහළ පහළ නිවැසියන් එතෙන්ට දිව ආවේ ගෙහිමියාගේ සද්දය නැතිව යාම ගැන සොයන්නට ය. කන අත ගාමින් පිළිකන්නේ සිටි ඔහුට වූ ඇබැද්දිය කාටත් වැටහුණේ ය.

පැමිණි සියලු දෙනා ඔහුට සිනා සී ගියහ. එතැන් සිට නාගදීප දූපතේ මධුවිත තොළගාගත් අයෙක් සද්දයක් බද්දයක් දැම්මා නම් ඒ හොර රහසේ ය. පදම වැඩිවී පදුමකිත්ති හිමියන්ගෙන් කන රත්වෙන්නට කෑ අය ද ඒ අතර සිටියහ.

මේ අතර දූපතේ සිටි තරුණ පිරිස් ද පදුමකිත්ති හිමියන් වටා රොක්වන්නට විය. ඊට බල පෑ එක් කරුණක් වූයේ කෝවිලට එල්ල වූ ප්‍රහාරය හමුවේ නාහිමියන් සහ පදුමකිත්ති හිමියන් එය වරදක් ලෙස පැවසීමයි. අසාධාරණය අයුක්තියට පදුමකිත්ති හිමියන් එරෙහි වීම තවත් කරුණකි.

අවසානයේ පදුමකිත්ති හිමියන්ගේ මූලිකත්වයෙන් ආරක්ෂක බළකායක් නාගදීපයේ ස්ථාපිත කෙරුණි. ඔවුනට අවශ්‍ය අවි ආයුධ කම්මල්කරුලවා සාදවා ගන්නා ලදී. කඩු හා දිගු පිහි ඒ අතර විය. ඒ සියල්ල දූපතට බාහිරින් යම් කරදරයක් පැමිණියහොත් පරිහරණය පිණිස පමණක්ම බව පදුමකිත්ති හිමියන් විසින් කල්ඇතිවම තරුණ පිරිසට පවසා තිබුණි. දවල් කාලයේ ආයුධ රහිතව දූපත වටා බයිසිකල්වලින් ගොස් සොයා බලා තමන්ට වාර්තා කරන ලෙස පදුමකිත්ති හිමියන් විසින් ඔවුන්ට උපදෙස් ලබා දී තිබුණි.

රාත්‍රියේදී පදුමකිත්ති හිමියන් සමඟ අවි ආයුධ සහිතව පිරිස දූපත වටේ ගමන් කරන්නට විය.

එම සංචාරයේ දී රා බී වෙරිවූවන්ට මේ පිරිසෙන් හොඳ හැටි අතින් පයින් සංග්‍රහ ලැබුණි. ක්‍රමයෙන් නාගදීපයේ වෙරිකරුවන් අඩුවන්නට විය. ගංජා පානය කළ පිරිස්, පාසල් දරුවන් ද බීඩි පානය කිරීම වැනි දුශ්චරිතවලින් ඉවත්වන්නට විය. එපමණක් නොව සොරකම වැනි දුරාචාර ද ක්‍රමයෙන් අඩුවන්නට විය. ගැහැනු ළමයකු දෙස අනිසි ලෙසින් බැලීමට පවා කොල්ලන් බිය විය.

රාත්‍රියේ බයිසිකල් හඬක් ඇසුණු විට එළි මහනේ සුරුට්ටු උරමින් සිටි උදවිය පවා නිවෙස් තුළට රිංගූහ. එහෙත් මේ සංයමය මධුවිත පානය කරන්නන්ට නම් මහා කරදරයක් විය. ඔවුන් නාගදීප නා හිමියන්ට පැමිණිලි කෙළේ පදුමකිත්ති හිමි ඇතුළු පිරිසට අභූත චෝදනා පවා කරමිනි. අවි ආයුධ පවා තනාගෙන මේ පිරිස් ඒවා අතැතිව රාත්‍රියේ සංචාරය කරන බව ඔවුහු පැවසූහ. නාහිමියෝ ඒ සියල්ල අවධානයෙන් අසා සිටියහ.

දිනක් රාත්‍රියේ මුර සංචාරයේ ගොස් පදුමකිත්ති හිමියන් පැමිණ බයිසිකලයෙන් බැස විහාරයට ගොඩවන විට නා හිමියන් එළි මහනේ ය. නා හිමියන් හාන්සි පුටුවේ අසුන්ගෙන පදුමකිත්ති හිමියන් කැඳවීය.

‘‘අනුරාධපුර යාපනේ හන්දිය පන්සලේ දවල්ට කවුරුත් නැහැ. පන්සල කැලෑ වැදිලා, හෙට උදේම යන්න ලෑස්ති වෙන්න ඕන‘‘

එවැන්නක් සිදුවෙතැයි පදුමකිත්ති හිමියන් බලාපොරොත්තුවෙන් සිටි අතර ඒ අනුව පසුදිනම නාවික හමුදාවේ යාත්‍රාවකින් කරෙයිනගර් දක්වා ගිය පදුමකිත්ති හිමියෝ අනුරාධපුරයට වැඩම කළහ.