Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 20: දඬුවමට හසු නොවීමට නම් රටින් පලා යා යුතුයි

දුටුගැමුණු මහ රජතුමා - 20:

දඬුවමට හසු නොවීමට නම් රටින් පලා යා යුතුයි

පියරජතුමාගේ දඬුවමට බයෙන් ගැමුණු කුමාරයා රජමාළිගයෙන් පැන ගොසිනි. ඔහු අල්ලා සිරගත කරන්නට ආරක්ෂක නිලධාරීන්ට නොහැකි විය . මේ සැමටම වඩා රජතුමා අසහනයටත්, කළකිරීමටත් පත් කළේ කුමරුගේ ආරක්ෂාව පිළිබඳව ඇති වූ බිය නිසා ය.

තමන්ට කරනලද නින්දාවට වඩා රජතුමාට දැන් අවශ්‍යව ඇත්තේ කුමරා කොහි සිටීදැයි’දැනගැනිමේ වුවමනාවයි. නන්දිමිත්‍ර ඇතුළු ආරක්ෂක භටයෝ කිහිප දෙනෙකු කැඳ වූ රජතුමා කුමාරයා සිටින්නේ කොහි දැයි සොයා බලන ලෙස අණ කළේ ය. එම කරුණු කඩිනමින් තමාට දැනුම් දෙන ලෙස පැවසි ය. “වේළුසුමන කොහිද ?” හදිසියේ යමක් සිහි වූ ලෙසට නන්දිමිත්‍රගෙන් විමසිය. නන්දිමිත්‍ර විපිළිසර විය.

“රජතුමනි, ගැමුණු කුමාරයාගේ සිදුවීමෙන් පසු වේළුසුමන මට හමුවුණේ නැහැ. නමුත් මහනෙල යෝධයාට කියා තිබුණේ කඳවුරු නිරීක්ෂණය කිරීමට යන බවයි. රජතුමා ගේ අණ කිරීමකට අනුව යන්නට ඇතැයි මට සිතුණා”

“එතකොට , දාව ආචාර්ය තුමා දින කිහිපයක සිට පෙනෙන්නට නැහැ. ඊට හේතුව කවරේ ද ? ඒ මොහොතේ එතැනට පැමිණි විහාරමහා දේවිය නන්දිමිත්‍රට නිහඬ වන ලෙසට අතින් සංඥා කරමින් වහා පිළිතුරු දුන්නා ය. “ගැමුණු කුමාරයා සෙවීමේ වගකීම දාව ආචාර්යතුමාට පැවරුවා. එතුමා ඒ සඳහා යුද කඳවුරුවලට ගොස් පරික්ෂා කරන බව පැවසුවා.”

දේවිය දෙසත්, නන්දිමිත්‍ර දෙසත් සැකමුසු ලෙස බැලු රජතුමා “මගෙන් අවසර නොගත්තේ මක්නිසා ද ?” අප්‍රසාදයෙන් ප්‍රශ්න කළේ ය. “අවසර ගන්නට පැමිණියා රජතුමණි. එහෙත් ඔබතුමා හමුවීමට කිසිවකුටත් අවසර නොදුන් නිසා ඒ ගමන පිළිබඳව මට දැනුම් දුන්නා. මා ඒ සඳහා අවසර ලබා දුන්නා. හැකිනම් වේළුසුමනත් ඒ ගමනට සම්බන්ධ කරගන්නා ලෙසට පැවසුවා.”

කාවන්තිස්ස රජතුමාගේ සිත තුළ ඇති වුයේ කළකිරීමකි. විහාරමහා දේවිය කෙරෙහි ද සියුම් කෝපයක් හටගත්තේ ය. රජතුමා කෝපයෙන් පසුවන බව දැනගත් විහාරමහා දේවිය යන්නට සුදානම් වුවා ය.

“ගැමුණු කුමරු තවම කුඩා දරුවෙක්. ඔහුට අයාලේ යන්නට ඉඩ දෙන්න බැහැ .” රජතුමා දේවියට ද ඇසෙන ලෙස පැවසුවේ ය. ඉන්පසු නන්දිමිත්‍රට ද චෝදනා කළේ ය.” දීඝාභය ගෙන ආ රහස් වාර්තා ව පිළිබඳව කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ. එකවරම යුද්ධය නිර්දේශ කිරීම වැරදියි.”

දීඝාභය කුමාරයා පැමිණෙන විට මම ඒ වාර්තාව පිළියෙළ කර අවසානයි. ඒ නිසා ඒ කරුණු වාර්තාවට එකතු කරන්න බැරි වුණා. “ ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැහැ . යුද්ධ සංවිධාන කටයුතුවල අඩුපාඩුවක් නොවන ලෙසට වගබලා ගැනීමට සියලු සේනාංක ප්‍රධානීන්ට උපදෙස් ලබාදෙන්න. දිනපතා පැමිණ මට තොරතුරු දන්වන්න. “ “අවසරයි දේවයන් වහන්ස,” නන්දිමිත්‍ර රජතුමාට වැඳ අවසර ගෙන මාලිගයෙන් පිටව ගියේ වේදනාත්මක සිතිනි. ගැමුණු කුමාරයාට පලා යාමට උපකාරී කළා යැයි අප්‍රසාදයක් තමා කෙරෙහි රජතුමා ගේ සිත තුළ ඇතැයි නන්දිමිත්‍රට සිතිණි.

මේ සිදුවිමෙන් පසු රාජධානිය පුරා පෙරදා දක්නට තිබුණු උද්යෝගය, ප්‍රබෝදය , දක්නට නොලැබිණි. මේ නිසා රාජධානියට අපල කාලයක් ලබා ඇතැයි බොහෝ දෙනෙක් පැවසුහ. ගැමුණු කුමාරයා වීරයකු ලෙස ජනතාව අතර කතාබහට ලක්විය. එය කිසිවෙකුගේ හෝ වුවමනාවකට සිදුවූවක් දැයි රජතුමා කල්පනා කරන්නට විය.

පසුදා රජතුමා තිස්ස විහාරයට තනිව පැමිණියේ ය. එය විහාරාධිපති වහන්සේට පුදුමයට කරුණක් නොවි ය. විහාරමහා දේවිය කෙරෙහි කිසියම් අප්‍රසාදයක් රජතුමා තුළ ඇති වී තිබෙන බව උන්වහන්සේට ද අවබෝධ විය.

“රජතුමනි, කුමාරයා සිදුකළ දෙය අප අනුමත කරන්නේ නැහැ. නමුත් දඬුවමට හසු නොවන්නට නම් කළ යුතු එකම දෙය රටින් පලා යාම නොවේ ද ? කිසියම් හෝ දඬුවමක් ලැබීම තමාට මදිකමක් ලෙස කුමරා සැලකු බවයි හැඟෙන්නේ.”

“ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්ස, ඔහු හානි කළේ මගේ ගරුත්වයටයි. පෞරුෂයටයි. බිසෝ පළඳනා එව්වේ මා කෝප ගැන්වීමටයි. ඒ නිසයි ඔහු ව සිරගත කිරීමට අණ කළේ. එයින් මා ඔහුගේ ආරක්ෂාවත් අපේක්ෂා කළා. අප ත් ඒ ගැන කල්පනා කළා. ගැමුණු කුමාරයා වයසට වඩා පුළුල් අත්දැකීම් ඇති කුමාරයෙක්. යුද්ධයට අවශ්‍ය තොරතුරු රාශියක් එක්රැස් කරගෙන හිටියා. නමුත් යුද්ධයකට යාමට තරම් වයසින් මුහුකුරා ගොස් නැති බව ඔහු දැන සිටියේ නැහැ.”

“අප ඒ ගැන කල්පනා කළා. කුමාරයා වයසින් මුහුකුරා ගොස් නොසිටියත් අත්දැකීම් සම්භාරයක් ඇති කුමාරයෙක්. ඔහු එළාර රජුගේ රාජධානියේ තොරතුරු රාශියක් නිවැරැදි ව දැනගෙන සිටියා. නමුත් යුද්ධයකට යාමට තරම් ලාබාල වැඩි බව ඔහුට අවබෝධ වී තිබුණේ නැහැ.”

“රජතුමනි, ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්නට බැහැ. ඔබතුමා ගේ කෝපය, කළකිරීම, චිත්ත පීඩා සාධාරණයි. නමුත් අධික මානසික පීඩා දරා ගැනීම ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. ඒ නිසා මේ සියල්ල දුරුකර ගත යුතුයි. මෙතෙක් තිබූ, උත්සාහය, උනන්දුව ඉදිරියටත් එලෙසම තිබෙන්නට ඕනෑ. ඔබතුමා යුද්ධය සඳහා සූදානම් වීම උපායශීලීත්වය, සංවිධාන ශක්තිය ගැන ගැමුණු කුමාරයා බොහෝ ආඩම්බරයෙන් සලකනවා. ඔහුට ජයග්‍රහණය ලබා දීම සඳහා මේ සියලු දේ සිදුකරන බව දැනගෙන සිටියා. ඒ නිසා මේ රට එක්සේසත් කර බුද්ධ ශාසනය බැබළවීම සඳහා ඔහුට අවශ්‍ය පසුබිම සකසා දීමට පසුබට වෙන්න එපා.”

ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ ගේ උපදෙසින් සැනසිල්ලට පත් රජතුමා උන්වහන්සේට වැඳ නමස්කාර කර මාළිගයට යාමට අස්රියට නැංගේ ය.

දාව ආචාර්යතුමා හදිසියේ අතුරුදහන් වීම රජමාළිගයේ හැමදෙනාටම ගැටලුවක් විය. එතුමා සෙවීම සඳහා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුම පිටත් කළ ද ඒ සියලු උත්සාහයන් ව්‍යවර්ථ විය. ගැමුණු කුමරු ගේ හදිසි පලායාමෙන් කළකිරීමට පත් වී එතුමා ඉන්දියාවට යන්නට ඇතැයි ඇතැමෙක් විශ්වාස කළහ. ගැමුණු කුමාරයා පිළිබඳව කිසිම තොරතුරක් නොලැබීම පිළිබඳව රජතුමා දැඩි කණස්සල්ලට පත් විය.

ගිරිනුවර රාජධානියේ ගිරි අබා රජු සහ සෝමා දේවිය ගැමුණු කුමරු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවූහ. දාව ආචාර්ය තුමා කෙරෙහි පවතින ගෞරවය නිසා ඔහු ගේ අවසරයකින් තොරව බැහැරට නොයන බව දැනගත් ඔවුන්ට සැනසිල්ලේ සිටින්නට හැකි විය. එහෙත් වේළුසුමන පැමිණි විට වෙස් වළාගෙන දුර බැහැර පෙදෙස්වලට යන බවට ගිරි අබා රජුට දැන ගන්නට ලැබිණි.