Print this Article


දහමෙන් දුක සමනය කර ගත් අපූරු ගැමි දිවිය

දහමෙන් දුක සමනය කර ගත් අපූරු ගැමි දිවිය

සම්භාව්‍ය ගද්‍ය රචකයන්ගේ මෙන් ම පද්‍ය රචකයන්ගේ කලා කෘති සඳහා වස්තු විෂය ලෙස සුලබ ව යොදාගෙන තිබෙනුයේ බුදු සිරිත හා බුදු දහම යි. නමුත් එය එවැනි වූ සම්භාව්‍ය කෘතිවලට පමණක් ම සීමා නො වුණි.

සාක්ෂරතාවයෙන් අඩු මට්ටමක සිටින එහෙත් ශිල්පීය ඥානයෙන් යුක්ත වූ ජනකවියා තුළින් ද සිය කාව්‍ය නිර්මාණයන් තුළින් බුදු බණ හුවා දැක්වීමට කටයුතු කර තිබෙන අයුරු දැකගත හැකි වෙයි. ආගමට දහමට ලැදිකමක් නිරන්තරයෙන් ම දක්වන්නා වූ ගැමියා තුළ වන අව්‍යාජබව නිසාවෙන් තමන් තුළ නැඟෙන හැඟීම් හා සිතුවිලි කවියට පද බඳීන කල්හි එය ආටෝපයන්ගෙන් තොර ව සරල බසින් ප්‍රකාශනයට ජන කවියා කටයුතු කර තිබෙනු දැක ගත හැකි ය.

විදග්ධ මනසට ගෝචර වූ සම්භාව්‍ය කවිය සේ ම පොදු ජනතාව අතර වූ ජනකවිය ද රසාලිප්ත බවින් අනූන වූවකි. යථාර්ථවත් වූ ජීවිතය පිළිබඳ කෙරෙන එම ආත්මීය ප්‍රකාශනයන් තුළින් සංස්කෘතික වපසරිය පිළිබඳව ද තොරතුරු අනාවරණය වේ. එපමණක් නොව මෙරට සම්පාදිත වූ බොහෝමයක් පද්‍ය කාව්‍යයන් විෂයෙහි පාදක වූවක් ලෙසට ද ජනකවිය හඳුනාගත හැකි වෙයි.

සිය මුවඟට නැඟෙන වදනට බුදු බණ පදයක රසය එක් කළ කවියා එයින් සිය ශ්‍රද්ධාව, භක්තිය පෙන්නුම් කිරීමක් පමණක් නොව බුදු බණෙහි වන යථාර්ථය හඳුනාගත් බවක් ප්‍රකට කරනුයේ වෙයි. ජනකවිය හා බෞද්ධ දර්ශනය අතර පවතින සබැඳීයාව පිළිබඳ සැලකීමේ දී බොහෝවිට ජනකවියා සිය ජීවිතයේ දී විඳීන දුක් කරදර සියල්ලට ම මූලික හේතුව ලෙසට දක්වනුයේ සිය කර්මය වන බවට අනාවරණිත වෙයි.

භික්ෂුන් වහන්සේ වෙතින් පෙහෙවස් සමාදන් වූ දිනයන්හි ධර්මය පිළිබඳ අවබෝධයක් ලබාගන්නා වූ ගැමියාට කර්මය පිළිබඳව වනුයේ නිවැරදි අවබෝධයක් වේ. තමන් විසින් සිදු කරනු ලබන සියලුම කාර්යයන් විෂයෙහි කර්මයෙහි බලපෑමක් වන බවට දැන සිටි ගැමියා සිය දිවිය කර්මයට බාර කරන ලද අයුරු ද කවි තුළින් අවබෝධ කරගත හැකි වෙයි.

සීරුවේ ගමන් ඇවිදින් පාරුවට
මාරුවේ හබල් අදිමින් විටින් විට
පුරුවේ කරපු අකුසල් ගෙවන්නට
පාරුවේ ඇවිත් දුක් විඳිනව දැනට

පාරු කවි අතර සඳහන් වන ඉහත කවිය උක්ත කරුණ සපථ කරනු ලබන්නකි. තමන්ට පෙර භවයේ සිදු කරන ලද කර්මයන් නිසා මාරුවෙන් මාරුවට හබල් ගසමින් පාරුවෙන් දිවි රැක ගැනීමට සිදු වීම පිළිබඳව දුක්බර ලෙසින් ප්‍රකාශිත එම කවිය කර්මය හා කර්මඵලය මනා ලෙස ප්‍රකට කරන්නක් වෙයි.

බුදු දහමෙහි වන මූලික ඉගැන්වීමක් වන කර්මය හා කර්ම පලය පිළිබඳව ඉතා සරල අයුරින් ප්‍රකාශිත එම කවිය උගත් නූගත් සියල්ලන් කෙරෙහි ම අවැසි මඟ පෙන්විම සිදු කරන ලද්දක් ලෙසට හඳුනාගත හැකි ය. ඉන් කවියා පෙර ආත්ම භවයන්හි සිදු කරන ලද විපාකයන්හි ප්‍රතිඵල අත්විඳීමට සිදුවීම මනා ලෙස පද්‍යයට නඟා තිබිම ප්‍රශංසනීය ය.

පෙර කාලේ කරපු අකුසල් පලදීලා
මෙම කාලේ විඳීති දුක් පැල් වලට වෙලා
රජ කාලේ පටන් පුරුදුයි පැල් රැකලා
ලොකු රාළේ කියන් පැල් කවි තෝරාලා

එකල ගැමියා තුළ වූ පෙර කරන ලද අකුසලයන් නිසාවෙන් සියල්ල සිදුවන බවට වන අදහස උක්ත කවිය තුළින් ද දැකගත හැකි වෙයි. නියාම ධර්ම ආදියෙහි මනා අවබෝධයක් නො වූ ඔවුන්හට කර්මය යනු මෙම ආත්මයේ දී නොව පෙර භවයේ දී සිදු කරන ලද ක්‍රියාවන්හි ප්‍රතිඵල බවට අවබෝධයක් විය.

යහපත් ක්‍රියාවන් සිදු කොට මරණයට පත් වූ පසුව යහපත් ආත්ම භවයන් හිමි වන බවටත්, අයහපත් ක්‍රියාවන් කළවුන් දුගතිගාමී දිවියක් ගත කරන බවටත්, ඔවුන් තුළ දැඩි විශ්වාසයක් විය.

පීල්ලේ යටට කළයක් තිබුවත්
නොපිරේ කළේ සැට පැයකින් බැලුවත්
පින් මද එකා බණ දහමින් වෙලුවත්
උගේ ගතිය ඌ නොහරී මැරුවත්

මෙහි භාෂා භාවිතය සරල ය. නමුත් කවියා එළිවැට යොදමින් එහි රසවින්දනය තවදුරටත් වැඩිවන ආකාරයට සිය කාව්‍ය නිර්මාණය කර ඇති ආකාරය ප්‍රශංසනීය වෙයි.

පින-පව පිළිබඳ ඔවුන් තුළ වූ අවබෝධය ප්‍රකට කරන එම කවිය දු-දනන් හට එල්ල කරන ලද ප්‍රහාරයක් බඳු වෙයි. කුසලය කෙරෙහි වීර්යවන්ත නො වන දු-දනන් හට කෙතරම් ධර්මය දේශනා කළ ද, ඒ පිළිබඳව මාර්ගය පෙන්වා දුන්න ද, ඉන් පලක් නො වන බවට කවියා ප්‍රකාශ කර තිබෙනුයේ කළය උපමාවට බඳුන් කරමිනි. උපමා-රූපක පිළිබඳ අවබෝධයක් නො වුවත් සිය නෙත ගැටෙන ද්‍රව්‍යයන් යොදා ගනිමින් ඒ තුළින් උසස් කාව්‍ය රසාස්වාදයක් ලබාදීමට කවියා කටයුතු කර තිබෙනුයේ වෙයි.

මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට
තියෙන දෙයක් දෙන්නෙත් අපි දෙන්නාට
බුදුන් වඳීන ලෙස වැඳපන් අම්මාට

ලොව මිහිරිම අකුරු පෙළ වනුයේ “අම්මා” යන්න යි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සිව්බඹ විහරණ සිය දරුවන් වෙත පතුරවනුයේ අම්මා ය. “ගෙදර බුදුන් අම්මා ය” යන්න අතීතයේ සිට ම භාවිතයෙහි වන කියමනකි. දස මසක් සිය කුසෙහි හොවා මෙලොවට ජනිත වූ පසුව ද තමන්ගේ දරුවන් විෂයෙහි අපරිමිත සෙනෙහසක් දක්වනුයේ අම්මා ය.

බුදුන් වහන්සේ විසින් ලෝ වැසියන් වෙත දක්වන කරුණාව ලෙසින් ම මව ද සිය දරුවන් කෙරෙහි එපමණක් වූ ආදරය කරුණාව දක්වන්නී ය. එබැවින් එලෙස හැඳීන්වීම ඇයට සිදු කරන්නා වූ ගෞරවයකි. එහෙත් ඇයගේ සෙනෙහස නො හඳුනන දරුවන් වර්තමානයේ දී මෙන් ම අතීතයේ දී ද සිටින ලද බවට ඉහත කවිය උදාහරණ සපයනු ලැබේ. බුදු දහමෙහි මවට පියාට සැලකීම මංගල කරුණක් ලෙසට සලකන අතර, එලෙස සිදු නො කිරීම පිරිහිමට කරුණක් බවට දක්වා තිබේ.

ජනකවියා ද ප්‍රකාශිත කරනුයේ එම අදහස වෙයි. සිය මවට නො සලකන බාල සොහොයුරා හට මවගේ ගුණ ගයමින් ප්‍රකාශ කරන එම ඔවදන පසක් කරනුයේ බුදු වදන ම වෙයි.

සිරිමා බෝමුල වැඩ සිටි මුනි බුදු වෙනවා-ත් තෙතඟු
වැඩ සිටි මිණි පළඟේ බුදු රැස් විහිදෙනවා-ත් තෙතඟු
හොඳට හොඳයි බුදුවෙනදා මල් වැසි වසිනවා-ත් තෙතඟු
එන මෙත්තේ බුදුන් වඳීමු සාධු කාර දෙනවා-ත් තෙතඟු

ජනකවි අතර එනු ලබන තෙතඟු කවි තුළින් ද ජන කවියට අපූර්වත්වයක් එක් කර තිබේ. ඒ තුළින් ද බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, බුදු දහමෙහි වන හරය පිළිබඳවත් කවියා හුවා දක්වා තිබෙන අයුරු දැකගත හැකි වෙයි.

බොහෝ බෞද්ධයින්ගේ අභිප්‍රාය වනුයේ මෙතේ බුදුන් දැක නිවන් දැකීම ය. සිදු කරන ලද අකුසලයන් නිමා කොට නිවන සාක්ෂාත් කරගැනීම උදෙසා වෙහෙසෙන බෞද්ධයින් මෙකල පමණක් නොව එකල දී පවා සිටි බවට මෙය උදාහරණ වෙයි.

බුදුන් වහන්සේ උදෙසා වන අපරිමිත ශ්‍රද්ධාව පෙන්නුම් කරන මෙම කවිය තුළින් කවියා කුසලයන්හි නිරතවෙමින් ඒ අනුව මෙතේ බුදුන් දැක ගැනීම සඳහා කටයුතු කිරීමට යුහුසුළු වන බව හෙළි වේ. එය සිය ආත්මය විෂයෙහි බුදු දහමෙහි බැඳීයාව ගැමියා තුළ වූ බව සපථ කරන්නකි.

උලලේනිය උලලේනිය නාඬ බොලේ
නාඬ ඉන්න තොට බලයක් ඇතිය බොලේ
අනඳ මහ තෙරිඳු පටියෙන් බැන්ද බොලේ
බුදුනි නමෝ උලලේනි නාඬ බොලේ

එදා මෙන් ම අදත් මිනිසුන් හට යම් දුකක් කරදරයක් පැමිණියේ නම් එසැණින් සිහි වනුයේ ධර්මය වෙයි. එවන් වූ අදහසක් ලබා දෙන ගැමියාගේ මුවින් පිට වූ කවියක් ලෙසට ඉහත කවිය නිදර්ශන වෙයි.

උලලේනියගේ ශබ්දය ඇසීම ගැමියා විසින් සලකනුයේ නුදුරේ දී විපතක් ඇති වන බවට අනතුරු අඟවන සංඥාවක් ලෙසිනි. එතරම් බියකරු මෙන් ම අප්‍රසන්න වූ හැඟීමක් ජනිත කරවන අවස්ථාවක ගැමියාට බුදුන් සිහිවීම පුදුමයක් නො වන්නකි.

විශාලා මහනුවර තුන්බිය බුදු හිමියන් විසින් අනඳ තෙරුන් හා එක් ව සංසිඳ වූ ආකාරය පිළිබඳ අවබෝධයක් වූ නියාවෙන් කවියා එම මතකය තුළින් මෙම අවස්ථාවේ දී තමන්ට ඇතිවන බිය ජනක අවස්ථාවේ එය සිහිපත් කළ බවට අනුමාන කළ හැකි වෙයි. එවන් වූ අවස්ථාවක ගැමියාගේ මුවින් පිටවූයේ බුදුන් පිළිබඳ හා ධර්මය පිළිබඳ වදන් වෙයි.

ශ්‍රි ලාංකේය සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියක් බවට සිදු වූ පරිවර්තනයත් සමඟ ම මෙරට සංස්කෘතියේ සියලුම අංගයන් බෞද්ධ මුහුණුවරක් ගන්නට විය. ජනතාවට දැනුම මෙන් ම රසවින්දනය සපයනු ලබන සාහිත්‍යය ද ඒ අතර වේ.

සිය දිවි පෙවෙතත්, බුදු දහමත්, එක ලෙස සැලකූ ගැමි ජනයා සිය සිතැඟි කවියෙන් දැක්වීමේ දී බුදු වදන යොදා ගන්නට අමතක නො කළහ. බුදු දහමෙහි වන සරල දහම් කරුණු පිළිබඳ අවබෝධයක් වූ ඔවුන් එයින් සිය දිවිය පෝෂණය කරගන්නට වූ බව ඉන් පැහැදිලි වනු ඇත.