Print this Article


තමන්ගේ අයිතිය රැක ගන්න අනුන්ගේ අයිතිය සුරකින්න

තමන්ගේ අයිතිය රැක ගන්න අනුන්ගේ අයිතිය සුරකින්න


ලෝකයේ මානව අයිතීන් උල්ලංඝණය කෙරෙන විවිධ අවස්ථා හා විවිධ සිදුවීම් ගැන නිරන්තරව අසන්නට ලැබේ. ඒ සියල්ලෙන් මිනිසාට ආරක්‍ෂා වීමට හැකි පහසු මෙන්ම යෝග්‍යය ප්‍රතිපත්ති මාලාව පංච සීලයයි. බුදුරජාණන් වහන්සේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදි සීලය හඳුන්වා ඇත්තේ සම්පත්තියක් වශයෙනි. එයින් අදහස් කරන්නේ උදාර මිනිසෙකු වීමට සීලය සම්පතක් වන බවයි.

බුදු දහම උගන්වන සෑම ආචාර ධර්මයක ම පදනම වන්නේ කරුණාව හා මෛත්‍රියයි. කරුණාව ලෙස සැලකෙන්නේ දුකට පත් සත්වයන් සුවපත් කිරිමේ කැමැත්ත වන අතර මෛත්‍රිය යනු සියලු සත්ව වර්ගයාම සුවපත් වේවා, දුකින් මිදේවා යන ප්‍රාර්ථනයයි. මේ හැඟිම් යමකු තුළ පවත්නේ නම් ඔහු මානව අයිතිවාසිකම් සුරකින පුද්ගලයකු වන අතර, අනිවාර්යයෙන්ම ඒ තැනැත්තා පන්සිල් රකින කෙනකු ද වනු ඇත.

‘සෑම පුද්ගලයකුටම ජිවත් වීමටත්, නිදහසේ හැසිරීමටත් පෞද්ගලික ආරක්‍ෂාවටත් හිමිකම් ඇත’ යනු මානව අයිතිවාසිකම් සම්බන්ධ විශ්ව ප්‍රකාශනයේ එක් කොටසකි. එහි ප්‍රධානම පරමාර්ථය වන්නේ මිනිස් ජිවිතය පිළිබඳ ආරක්ෂාවයි.

සමස්ත ලෝකවාසි සත්ව ප්‍රජාවටම නිදහසේ ජිවත්වීමේ උරුමය හිමිකර දෙන වැදගත්ම ශික්ෂා පදය වන්නේ පංච සීලයට ඇතුළත් පළමුවැනි සිල් පදයයි. තමන් තමන්ගේ ජීවිතයට වඩාත් ආශා කරයි. එසේ තමන් ආශා කරන්නාක් මෙන් අන්‍යයන් ද ඔවුන්ගේ ජීවිතයට පි‍්‍රය කරන බව සිතා කටයුතු කිරීමට පෙළඹීම මානව අයිතිය තහවුරු කරන්නකි.

සෑම අවස්ථාවක ම තමා උපමා කොටගෙන වේදනාවට, දුකට හා මරණයට තමන් ද අකමැති බව සිතා ගැනීම මේ තත්ත්වය තවදුරටත් තහවුරු වන අවස්ථාවක් වේ. වෙනත් සත්වයකුගේ ජිවිතය තොර කිරීමෙන් වැළකීමට පොරොන්දු වීම පළමු ශික්ෂා පදයෙන් ම සිදුවන අතර, එයම මානව අයිතිය පංච සීල පිළිවෙත හා බැ¼දී ඇති බවට වන සාධකයකි.

දිවි පැවැත්මේ අයිතිය මෙන්ම දේපළ අයිතිය සම්බන්ධව ද මානව අයිතිවාසිකම් පිළිබඳ වන විශ්ව ප්‍රකාශනයේ ඇතුළත්ව තිබේ. කිසි වෙකු සතු දේපළ බලෙන් අහිමි කළ නොහැකිය යනු එහි සඳහන් වගන්තියකි. අනුන් සතු දෑ සොරකම් කිරීම, භාණ්ඩය අයිති තැනැත්තාගේ කැමැත්තකින් තොරව තමා සතු කර ගැනීම නොකළ යුතු බව දෙවැනි සිල් පදයෙන් ප්‍රකාශ වේ. සොරකම යනු තවත් අයෙකුට හිමි දේපළක් බලෙන් අහිමි කිරීමකි.

වැරදි කාම වස්තුන් කෙරෙහි ලොල්වීම මගින් වෙනත් තැනැත්තෙකුට හෝ තැනැත්තියකට මුහුණපෑමට සිදුවන දුෂ්කරතාවය ඔහුගේ හෝ ඇයගේ අයිතිය පැහැර ගැනීමක් වේ.

තමා කැමති කෙනෙක් හා විවාහ වීම ඔහු හෝ ඇය සමග කැමති ප්‍රදේශයක ඔවුනොවුන් රුචිකරන පරිදි ජීවත් වීම මානව හිමිකමකි. කම්සැප වි¼දීම ගිහි සමාජයට අහිමි වූවක් නොවේ. බුදු දහමින් එයට ඉඩකඩ ලබා දි ඇතත් කාමයෙහි වරදවා හැසිරිම නොකළ යුත්තක් ලෙස දක්වා තිබේ.

යම්කිසි පුරුෂයකු හෝ ස්ත්‍රියක විසින් යථෝක්ත වැරදි මග අනුගමනය කරන්නේ නම් ඒ හේතුවෙන් ඔවුන්ගේ පවුල් දිවිය විනාශ වී යයි. ගෙදර දොර සාමය සමගිය නැතිව යයි. ඒ නිසාම මුලු මහත් සමාජයම නොසන්සුන් තත්වයට පත්වේ. අහිමි කාම වස්තුන් කෙරෙහි ඇලුම් කිරීමෙන් මව්පිය දු දරු සබඳතා හා ස්වාමි භාර්යා සබඳතා කැඩී යාමක් සිදුවන බැවින් එය තවත් පිරිසක් සතුවන මානව අයිතිය අහිමි කිරීමකි. ඕනෑම දරුවෙකුට දෙමාපිය ආදරය, සෙනෙහස, කරුණාව ලැබීමේ හිමිකම් තිබේ.

බොරු කීමෙන් වැළකීම උසස් ගුණ ධර්මයකි.බොරු කියන හා බොරු කරන පුද්ගලයන් නිසා සමාජය දූෂිත වේ. මුසා බස් දොඩන්නාට සමාජයේ ගෞරවනීය ස්ථානයක් හිමි නොවේ. ඔහු කිසිවෙකු විශ්වාස නොකරන පිළිකුලට භාජනය වන්නකු වෙයි. බොරුවක් කියන අයකු එය කරන්නේ තමා සමඟ ජිවත් වන තවත් කෙනෙකු හා කණ්ඩායමක් මුළාවට පත් කිරිමේ අදහසිනි. යමෙක් සිතාමතාම තවත් කෙනෙකු මුළා කිරීම ඔහුගේ මානව හිමිකම උල්ලංඝණය කිරීමකි.

බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් විනය ශික්ෂාවන් පැනවීමේදී තමා සතු නොවන ගුණයක් තමන් වෙත ඇතැයි ප්‍රකාශ කිරීම එසේ ප්‍රදර්ශනය කිරීමට උත්සාහවත් විම වරදක් සේ හඳුන්වා දෙති. අප වෙසෙන වත්මන් සමාජයේ නැති ගුණ පෙන්වන ප්‍රසිද්ධියේ මෙබඳු දේ ප්‍රකාශ කරන අය බොහෝ සිටිති. කෙනෙකු ව්‍යාජ සහතින පත්‍ර සකසා ගෙන උසස් රැකියාවක් ලබාගත හොත් ඔහු කරන්නේ සැබැවින්ම එම තත්වයට හිමිකම ඇති අයගේ අවස්ථාව වැරදි ලෙස උදුරා ගැනිමකි.

අද ලෝකයම ගිලගෙන ඇති විශේෂයෙන් තරුණ පරපුර විනාශ කරන භයානක රකුසෙකුගේ තත්වයට පත්ව ඇති සුරාව හා වෙනත් මත් ද්‍රව්‍යයන්ගෙන් වැළකීම පංච සීලයට ඇතුළත් ශික්ෂාවකි. බුදුරජාණන් වහන්සේ එබඳු ශික්ෂා පදයක් පනවන ලද්දේ සුරාව පුද්ගලයාගේ මදයට හා ප්‍රමාදයට හේතුවන නිසයි.

තමා උපයා ගන්නා මුදල් වැයකර තමාට මත්ද්‍රව්‍ය මත් පැන් පානය කිරිමේ අයිතියක් ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙත් ඔහුගේ එම ක්‍රියාව නිසා සෙස්සන්ට හිරිහැරයක් වේ නම්, ඒ මානව හිමිකම් විනාශ කිරිමකි. වාහනයක් පදවන රියදුරකු මත්පැන් පානයෙන් මහමඟ යන එන අයගේ ජිවිත වලට තර්ජනයක් කරයි නම්, ජිවිත හානියක් කරයි නම් එය ද මිනිසාට ඇති නිදහසේ ප්‍රයෝජනයක් නැතිවන මොහොතකි.

වර්තමාන ලෝකයේ මානව හිමිකම් සුරුකීම සම්බන්ධ විවිධ සංවිධාන බිහිවෙමින් අහිමිවන අයිතීන් රැක ගැනිමට නානා මාදිලියේ ක්‍රියා මාර්ගයන්හි යෙදෙන බව පැහැදිලි කාරණයකි. එහෙත් බුදුරජාණන් වහන්සේ ගිහි සමාජය ආරක්‍ෂා කිරිම පිණිස දේශනා කොට වදාළ පංච සීල පිළිවෙත ඕනෑම රටක, ඕනෑම ජනතාවකට උචිත වන මානව හිමිකම් ආරක්‍ෂා කිරීමේ උසස් ප්‍රතිපත්ති මාලාවක් ලෙස හැඳීන්වීම සුදුසු ය.