Print this Article


බෞද්ධ සාහිත්‍යය ධර්මාවබෝධයට හා ජීවිතාවබෝධයටයි

බෞද්ධ සාහිත්‍යය ධර්මාවබෝධයට හා ජීවිතාවබෝධයටයි

"අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා මුළුමණින් ම බෞද්ධ අනන්‍යතාවකින් යුතුව සම්පාදිත ගද්‍ය පද්‍ය සාහිත්‍යයක් විද්‍යාමන වන හෙයින් පැරණි සිංහල සාහිත්‍යය බෞද්ධ සාහිත්‍ය යනුවෙන් හැඳීන්වීම යුක්තියුක්ත වේ. මෙම ග්‍රන්ථවල මුඛ්‍යතම අරමුණ වී ඇත්තේ පොදු ජනයා මෙන්ම විද්වත් ජනයා ධර්මයෙන් ඤාණනය කිරීම ය"

බුදු රදුන් විසින් දේශිත ධර්මය හා විනය තේමා කරගත් සාහිත්‍ය බෞද්ධ සාහිත්‍යය යන පොදු නාමයකින් හඳුන්වනු ලැබේ. මෙම සාහිත්‍යය සාතිශය පුළුල් වූවකි.

එය පාලි සංස්කෘත ආදි මූල භාෂාවන්ගෙන් මෙන්ම, බුදුසමය ව්‍යාප්ත වූ ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය, තිබ්බතය, ජපානය, චීනය හා කොරියාව ආදි ථෙරවාද සහ මහායාන බෞද්ධයන් වෙසෙන රටවල ඔවුනොවුන්ගේ මව් බසින් සම්පාදිත බෞද්ධ සාහිත්‍ය ද එයට අයත් වේ.

මෙයට අමතරව බුදුසමය ව්‍යාප්ත වූ යුරෝපයේ ඉංග්‍රිසි, ප්‍රංශ, ජර්මන් ආදි භාෂාවලින් සම්පාදිත නූතන බෞද්ධ සාහිත්‍යයක් ද හඳුනාගත හැකිය. මේ සියලුම බෞද්ධ සාහිත්‍ය කෘතිවල මුඛ්‍යතම අරමුණ වන්නේ බුදුරදුන් විසින් දේශිත ධර්මය හා විනය තවදුරටත් සාකච්ඡා කිරීම හා ව්‍යාප්ත කිරීම ය. ඒ අනුව බෞද්ධ සාහිත්‍ය අතිශය පුළුල් වූවක් ය යන්න පැහැදිලි ය.

ඇතැම් බෞද්ධ ග්‍රන්ථ බුද්ධ දේශනාවෙහි අන්තර්ගත දාර්ශනික කරුණු තවදුරටත් විවරණය කරනු ලබන අතර, ඇතැම් ග්‍රන්ථ සම්පාදනය කිරීමේ අරමුණ වී තිබෙන්නේ බෞද්ධ සදාචාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ය. පාලි ජාතක කථා හා පාලි බණ කථා මේ සඳහා නිදසුන් වේ.

බෞද්ධ සාහිත්‍යයේ ප්‍රධානම අංගය බුද්ධ වචනය ඇතුළත් ත්‍රිපිටකයයි. ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය අනුව පාලි ත්‍රිපිටකය ඔවුන්ගේ ප්‍රධානතම බෞද්ධ සාහිත්‍ය වන අතර, සංස්කෘත භාෂාවෙන් සම්පාදිත සූත්‍ර හා ආගම ග්‍රන්ථ මහායානිකයන්ගේ ප්‍රධානතම බෞද්ධ සාහිත්‍ය වේ. මෙයට අමතරව වජ්‍රයානික බෞද්ධයන්ගේ පිටක ග්‍රන්ථ ලියැවී තිබෙන්නේ තිබ්බත භාෂාවෙන් ය. අතීතයේ චීනයට රැගෙන ගිය පාලි පිටක ග්‍රන්ථ චින භාෂාවට පරිවර්තනය කළ අතර, ඒවා දැනට පැරණි චීන භාෂාවෙන් ශේෂ ව තිබේ.

මේ සියලුම පිටක සාහිත්‍ය අතුරින් ථෙරවාද පාලි පිටක සාහිත්‍ය අඛණ්ඩ ඉතිහාසයක් සහිත වඩාත්ම පැරණි බෞද්ධ මූලාශ්‍ර වශයෙන් පිළිගනී.

බෞද්ධ සාහිත්‍යයට අයත් පාලි සාහිත්‍ය අතිශය පුළුල් ය. ත්‍රිපිටකය, අට්ඨකථා, ටීකා, ප්‍රකරණ, වංශකථා ආදි වශයෙන් එය විවිධ ප්‍රභේදයන්ගෙන් යුක්ත ය. ඒ අතුරින් පාලි ත්‍රිපිටකය, අට්ඨකථා, ටීකා හා ඇතැම් පාලි ප්‍රකරණ ග්‍රන්ථ ථෙරවාදය ව්‍යාප්ත වූ සැම රටකට ම පොදු වේ. මෙයට අමතරව ඒ ඒ රටවල පාලි භාෂාව උගත් විවිධ පඬිවරුන් විසින් ධර්ම විනය දෙක සාකච්ඡා කරමින් සම්පාදිත විශේෂ පාලි ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයක් ද විද්‍යමාන වේ.

එම සාහිත්‍ය මඟින් ඒ ඒ රටවල ශාසනික ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ සමාජය විවරණය වේ. ථෙරවාද සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානය වශයෙන් සැලකෙන ලංකාවේ විසූ පාලි උගතුන් විසින් සම්පාදිත පාලි වංසකථා, බුද්ධ චරිත කථා, සංග්‍රහ ග්‍රන්ථ හා පාලි බණකථා ආදිය ලක්දිව පාලි සාහිත්‍යාවලියේ සුවිශේෂ සාහිත්‍යාංගයෝ වෙති. පාලි බෝධිවංසය, ථූප වංසය, ජිනචරිතය, සද්ධම්මෝපායනය, උපාසකජනාලංකාර, සහස්සවත්ථු, සීහලවත්ථු, රසවාහිනි ආදිය මේ සඳහා නිදසුන් වේ.

පාලි සාහිත්‍යය හැරුනුකොට ථෙරවාද බෞද්ධ රටවල ප්‍රධාන භාෂාවලින් සම්පාදිත බෞද්ධ සාහිත්‍යයක් ද විද්‍යමාන වේ. ලංකාවේ සිංහල භාෂාවෙන් සම්පාදිත සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යයක් තිබෙන අතර, එමගින් බෞද්ධ දර්ශනය, බෞද්ධ සදාචාරය හා බෞද්ධ ශාසනික ඉතිහාසය මෙන්ම සංස්කෘතිය ද විවරණය වේ. සිංහල බෞද්ධ සාහිත්‍ය හා සමාන සාහිත්‍යයක් සෙසු ථෙරවාද හා මහායාන බෞද්ධයන් වෙසෙන රටවල ඔවුනොවුන්ගේ මව් භාෂාවලින් ද සම්පාදනය වී තිබේ. සිංහල බෞද්ධ සාහිත්‍යයේ ආරම්භය අනුරාධපුර යුගයයි. ක්‍රි. පූ. තුන්වන සියවසේ මිහිඳු මාහිමියන් විසින් ථෙරවාද බුදුසමය ලංකාවට හඳුන්වාදීමෙන් නොබෝ කලකින්ම සිංහල බෞද්ධ සාහිත්‍ය ඇරඹි බව සීහල අට්ඨකථාවලින් සනාථ වේ. ඉන් අනතුරුව සියවස් ගණනාවක් තිස්සේ අඛණ්ඩ ව සිංහල බෞද්ධ සාහිත්‍ය අඩුවැඩි වශයෙන් වර්ධනයට පත්ව තිබේ.

අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා මුළුමණින් ම බෞද්ධ අනන්‍යතාවකින් යුතුව සම්පාදිත ගද්‍ය පද්‍ය සාහිත්‍යයක් විද්‍යමාන වන හෙයින් පැරණි සිංහල සාහිත්‍ය බෞද්ධ සාහිත්‍ය යනුවෙන් හැඳීන්වීම යුක්තියුක්ත වේ.

මෙම ග්‍රන්ථවල මුඛ්‍යතම අරමුණ වී ඇත්තේ පොදුජනයා මෙන්ම විද්වත් ජනයා ධර්මයෙන් ඤාණනය කිරීම ය. අමාවතුර, බුත්සරණ, දහම් සරණ, සඟ සරණ, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය හා සද්ධර්මාලංකරය යන සම්භාව්‍ය සිංහල සාහිත්‍ය මේ සඳහා නිදසුන් වේ.

සිංහල බෞද්ධ ගද්‍ය සාහිත්‍ය අතුරින් පන්සියපනස් ජාතක පොත පොදු ජනයාගේ මෙන්ම විද්වත් ජනයාගේ ද සිත් පැහැරගත් රසවත් ග්‍රන්ථ රත්නයකි. එය කොතරම් ජනප්‍රිය බෞද්ධ සාහිත්‍ය කෘතියක් වී ඇත්දැයි යන්න බෞද්ධ බිතුසිතුවම්වලට ද, පද්‍ය සාහිත්‍යයට ද, නාට්‍ය සාහිත්‍යයට ද වස්තු බීජය වී තිබීමෙන් පැහැදිලි වේ.

සම්භාව්‍ය සිංහල බෞද්ධ ගද්‍ය සාහිත්‍යයට අමතරව කාව්‍ය රසයත්, ධර්ම රසයත් එක් තැන් කළ මහාර්ඝ සම්භාව්‍ය බෞද්ධ පද්‍ය සාහිත්‍යයක් ද දක්නට ලැබේ. කව්සිළුමිණ, මුවදෙව්දාවත, සසදාවත, වෙස්සන්තර කාව්‍ය, බුදුගුණාලංකාරය, ගුත්තිල කාව්‍ය, ලෝවැඩසඟරාව ආදි පද්‍ය ග්‍රන්ථ ඒ අතුරින් ප්‍රධාන වේ. බෞද්ධ තේමාවන් වස්තු බීජ කරගනිමින් සම්පාදිත නූතන ගීත සාහිත්‍යකින් ද බෞද්ධ සාහිත්‍ය සමලංකෘත වේ. එම ගීතාවලියට සවන් යොමු කරන්නාගේ චිත්ත සන්තානයෙහි මෙත්, කරුණා ගුණ විකසිත වේ.

පාලි හෝ සිංහල භාෂා දෙකින්ම සම්පාදිත බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල මුඛ්‍යතම අරමුණ වී තිබෙන්නේ බුදුරදුන් වදාළ ධර්ම විනය පිළිබඳ විවරණය කිරීමට මෙන්ම සමාජ සදාචාරය ප්‍රවර්ධනය කිරීම ය. බෞද්ධ සාහිත්‍ය සේවනය කරන තැනැත්තා එක් අතකින් ධර්මාවබෝධය මෙන්ම ජීවිතාවබෝධයත් ලබාගන්නා අතර, අනෙක් අතින් නිරාමිස ප්‍රීතියක් ද වින්දනය කරයි.

පුද්ගල මනස මෙන්ම සමාජයත් මැනවින් විවරණය කර ඇති පාලි හා සිංහල සාහිත්‍යයට අයත් ගද්‍ය, පද්‍ය, නාට්‍ය, ගීත ආදි සැම සාහිත්‍යය අංගයක්ම සන්තානගත කෙලෙස් ධර්ම තදංග වශයෙන් යටපත් කිරීමෙහිලා බෙහෙවින් උපස්ථම්භක වේ. එමඟින් තවදුරටත් භාව විශෝධනයක් ද සිදුකෙරේ. බෞද්ධ සාහිත්‍ය ගැඹුරු මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයන්ගෙන් ද යුක්තවේ. මෙනිසා බෞද්ධ සාහිත්‍ය ඇසුරු කරන්නකුට පුද්ගල මනෝභාවයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් අත්පත් කරගත හැකිවේ.

මෙතැන් සිට ඉදිරියට බෞද්ධ සාහිත්‍ය යන තේමාව යටතේ සම්පාදනය කෙරෙන ලිපි මාලාවකින් පාලි හා සිංහල බෞද්ධ සාහිත්‍ය පිළිබඳ සංක්‍ෂිප්ත විවරණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව බුදුසරණ පාඨකයන් වෙත කාරුණිකව සිහිපත් කරනු ලැබේ.