Print this Article


ප්‍රසාදය හා අප්‍රසාදය ලැබෙන හැටි

ප්‍රසාදය හා අප්‍රසාදය ලැබෙන හැටි

බුද්ධිමතුන් දැක ඔවුනට ගර්හා කරන්නා ද අප්‍රසාදයට ලක්වන පුද්ගලයෙකි. බුද්ධිමතුන් නුරුස්සනා ආකාරයට කටයුතු කරන අය ජන සමාජය තුළ කොතෙකුත් දැකිය හැකි ය. එය ස්වකීය මානසික මට්ටමේ දුර්වලකම මත ඇති වූවකි. මෙම කරුණු නිසාම ඔහු පිළිබඳ සමාජයේ පැතිරෙන්නේ පවිටු තැනැත්තෙක් ය යන ප්‍රචාරයයි.

පඤ්චි මෙ භික්ඛවෙ ආදීනවා අපාසාදිකෙ කත මෙ
පඤ්ච. අත්තාපි අත්තානං උපවදති. අනුවිච්ච
විඤ්ඤු ගරහන්ති, පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති
සම්මූල්හො කාලං කරොති කායස්සභේදා
පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති

අංගුත්තර නිකායෙහි පඨම අපාසාදික හා දුතිය අපාසාදික නමින් සූත්‍ර දෙකක් පවතියි. අප්‍රසාදයට ලක්වන පුද්ගලයකු සතු ලක්ෂණ පළමුව හඳුන්වා, දෙවනුව ප්‍රසාදයට පත්වන පුද්ගලයා සතු ලක්ෂණ එහි අනුපිළිවෙලින් දක්වා තිබේ.

ඒ අනුව අප්‍රසාදයට ලක්වන්නාගේ පළමු ලක්ෂණය තමාට තමා ම උපවාද කිරීම යි. සසර පුරාවට අපමණ කුසල් සිදුකොට දුක් සේ ලබාගත් උතුම් මිනිසත් බවෙහි අගය තමා ම නොදැකීම නොහොත් තමාගේ වටිනාකම තමා ම නොදැකීම මෙයට හේතුවයි.

ඇතැම් අය නිතරම තමා මහා අවාසනාවන්තයෙක්, කාලකණ්නි පුද්ගලයෙක් ලෙස හීනමානයෙන් කතා කරනු අසන්නට ලැබෙයි. මෙය දුතිය සම්මත්තනියාම සූත්‍රයෙහි දක්වා ඇත්තේ’අත්තානං පරිභෝති’ යනුවෙනි. තමාට ම තමා පරිභව කරගැනීම එයින් අදහස් වෙයි. එම හීනමානය නිසාම ධර්මය තේරුම් ගැනීමෙහිලා ඔහු අසමත් පුද්ගලයකු වන බව එම සූත්‍රයෙහි ම ඉගැන්වෙයි.

බුද්ධිමතුන් දැක ඔවුනට ගර්හා කරන්නා ද අප්‍රසාදයට ලක්වන පුද්ගලයෙකි. බුද්ධිමතුන් නුරුස්සනා ආකාරයට කටයුතු කරන අය ජන සමාජය තුළ කොතෙකුත් දැකිය හැකි ය. එය ස්වකීය මානසික මට්ටමේ දුර්වලකම මත ඇති වූවකි. මෙම කරුණු නිසාම ඔහු පිළිබඳ සමාජයේ පැතිරෙන්නේ පවිටු තැනැත්තෙක් ය යන ප්‍රචාරයයි. ධාර්මික හා බුද්ධිමත් ජන සමාජය තුළ ඔහු බාලයකු ලෙස ප්‍රතික්ෂේප කෙරේ. ඒ අනුව ජන සමාජය තුළ ප්‍රසාදයක් නොලබන්නකු බවට ඔහු නිතැතින් ම පත්වෙයි. තව ද ජීවිතය නිසි ධර්ම මාර්ගය ඔස්සේ සකස්කර නොගත් හෙයින් ඔහු මුළාවට පත්ව, කළුරිය කරන්නෙක් බවට පත්වෙයි. ඒ නිසාම කායික මරණින් පසු ඔහු දුගතියට යයි.

ප්‍රසාදයට ලක්වන පුද්ගලයා සතු ලක්ෂණ 05 ක් ද මෙහි දක්වා තිබේ. ඔහු පෙර සඳහන් කළ තැනැත්තා මෙන් තමා ම තමාට උපවාද කර නොගනියි. දුක සේ ලත් මිනිසත් බවෙහි අගය දනියි. බුද්ධිමතුන් දැක ගර්හා නො කරයි. බුද්ධිමත් ජනයා ගේ වටිනාකම තේරුම් ගෙන ක්‍රියා කරයි. ඒ නිසාම ඔහු පිළිබඳ වූ කීර්ති රාවය ජන සමාජය තුළ පැතිරෙයි. ඔහු කවදා හෝ කළුරිය කරනුයේ මුළාවෙන් තොරවයි. කායික මරණින් පසු ඔහු සුගති ස්වර්ග ලෝකයට ම යයි.

ද්විතීය අප්පසාදික සූත්‍රය තුළ ද කරුණු දක්වා ඇත්තේ ප්‍රසාදය හා අප්‍රසාදය පිළිබඳව ම ය. ඒ අනුව විෂම චර්යාවෙන් යුත් පුද්ගලයා කෙරෙහි ජන සමාජයේ අප්‍රසාදය පළ වේ. ඒ නිසාම ඔහු කෙරෙහි නොපැහැදුණ අයගේ පැහැදීමක් ඇති නොවේ. පැහැදී සිටි ඇතැම් අය පවා කෙමෙන් කෙමෙන් ඔහු කෙරෙහි අපැහැදීමට හෙවත් කළකිරීමට පත්වෙති. ඔහු තුළ ධර්මය ප්‍රගුණ කිරීමක් නැත. එසේම ඔහු ඇසුරු කරන අය ද ඔහු නිසා කිසියම් ගුණ ධර්මයක් පුරුදු පුහුණු නොකරති. ඔහු ගේ සිතෙහි පිරිසුදුභාවයක් නොමැත. අවුල් සහගත ය.

එහි දෙවනුව දක්වා ඇති ප්‍රසාදයට පත්වන පුද්ගලයාගේ ගති ලක්ෂණ ඊට හාත්පසින් ම වෙනස් ය. ඔහුගේ ධාර්මික පැවැත්ම නිසා ඔහු කෙරෙහි නොපැහැදුණ අය පවා කෙමෙන් කෙමෙන් පැහැදීමට පත් වෙති. පැහැදුණ අය ගේ ද එකී පැහැදීම වර්ධනය වෙයි. ඔහු මැනවින් ධර්මය ප්‍රගුණ කරයි. ඔහු දකින ඇසුරු කරන ජනතාව ද ඔහු නිසා ධර්මානුකූල පිළිවෙත් හුරු පුරුදු වෙති. ඔහුගේ සිත ද ඉතා ප්‍රභාෂ්වර ය.

මිනිසුන් අතර ප්‍රසාදයට පත්වීම සේ ම, අප්‍රසාදයට පත්වීම ද ස්වකීය හැසිරීම් රටාව අනුවම තීරණය වෙයි. ප්‍රසාදය බලෙන් ලබාගත හැකි කෙනෙකු නොමැත. වංචනික ක්‍රමෝපායයන් ඔස්සේ කලින් කල ඇතැම්හු ජනතා ප්‍රසාදය ලැබූ පුද්ගලයන් බවට පත් වෙති. එහෙත් එය තාවකාලික ය. වංචනික ක්‍රියාවන් හෙළි වු විගස ඔහු ප්‍රසාදය ලැබුවාටත් වඩා වැඩි වේගයෙන් අප්‍රසාදයට පත් වෙයි. තමාගේ සිත, කය, වචනය පිරිසුදු නම්, හැසිරීම යහපත් ම ය. එය නිතැතින්ම ජනතා ප්‍රසාදය හිමිවීමට හේතු වෙයි.