Print this Article


ලෝකයේ කෙළවර සොයනවාද?

ලෝකයේ කෙළවර සොයනවාද?

බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වූ අප අතරමං වූ ජනතාවක් නෙවෙයි. අපට පාරක් තියෙනවා. අප පිහිට නැති පිරිසක් නෙවෙයි. අපට පිහිටක් තියනවා. අප සරණ නැති පිරිසක් නෙවෙයි. අපට සරණක් තියනවා.

අප අතරමං නො වුණේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපට මුණ ගැහුණු නිසා. අපට පිහිට ලැබුණේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරන්න ලැබුණ නිසා. අපට සරණ ලැබුණේ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණ නිසා.

අපි කවදාද ධර්මය අවබෝධ කරන්නේ කියල දන්නේ නැත්නම්, අපි කොහේද යන්නෙ කියල දන්නේ නැත්නම්, මරණින් මත්තේ අපට කුමක් වේවිද කියල දන්නේ නැත්නම්, පාර හඳුනාගත් පිරිසකුත් නොවෙයි. මඟක් තොටක් දන්නා පිරිසකුත් නෙමෙයි. පිහිටක් පිළිසරණක් ඇති පිරිසකුත් නොවෙයි.

අප දන්නවා වර්තමාන ලෝකයේ ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තිබෙන්නේ එකම බුදුරජාණන් වහන්සේ නමකගේ පිහිට යි. ඒ තමයි මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිහිට. අප වෙන මොන මොන දේවල් ගැන කතා කළත් ඒවා එකක්වත් ප්‍රායෝගික නැහැ. අපට මේ ජීවිතයේදී අත්දකින්න පුළුවන් බව, මේ ජීවිතයේ දී ශ්‍රද්ධාව ඇතිකරගන්න පුළුවන් බව ආදී මේ සෑම දෙයක් ම අපට ලැබෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිහිටා පිළිසරණ ලබා නො ගෙන මේ දුර්ලභ අවස්ථාව අපේ ජීවිතයෙන් මග හැරෙන්න දුන්නොත් ඒක තමයි අපේ ජීවිතවලට උදාවන මහා අවාසනාව.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, ප්‍රමාද වූ අය ජීවත් වුණත් මිය ගිය අය වගේ කියලා. එහෙම තමයි ලෝකයේ බොහෝ දෙනා ජීවත් වෙන්නෙ. අන්න ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ අප අපේ ජීවිතය තුළ ඇති කරගන්නා අවබෝධය මත යි.

කවදාවත් අවබෝධය ඉබේ පහළ වෙන්නේ නෑ. අවබෝධය ඉබේ පහළ වෙනවා නම් මේසා දීර්ඝ සංසාරයේ මෙතෙක් කල් එය පහළ නොවුණේ මන්ද? ඉබේ අපට අවබෝධයක් ඇතිවෙනවා නම්, මිනිස් ලෝකයේ ජීවත් වූ පමණින් අපට අවබෝධය ඇතිවෙනවා නම් වයසට යනතුරු අපට ඒ අවබෝධය ඇති නොවුණේ මන්ද? මේ සසරෙහි ගමන් කිරීමෙන් අවබෝධය ඇති වෙන්නේ නැහැ.

ඒ විතරක් නෙමෙයි දැන් බලන්න රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් ඇහුවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ ඇවිදගෙන ගිහින් මේ ලෝකයේ කෙළවරක් දකින්න පුළුවන්ද?” කියලා. උන්වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්නා “බැහැ” කියලා. බෑ කියපු ගමන් රෝහිතස්ස කියනවා “ස්වාමීනි, හරියට ම හරි ඔය කතාව. හරියට ම හරි ස්වාමීනි. මට ලැබිල තිබුණා දිව්‍ය ජීවිතයක් වේගයෙන් යන්න පුළුවන් විදිහේ. ඉතින් මම හිතුව මට දැන් ලැබිල තියෙනවා වේගයෙන් ගමන් කරන්න පුළුවන් ජීවිතයක්. ඉතින් මම දැන් පටන් ගන්න ඕන. මගේ හිතේ තියෙන අදහස, ‘වේගයෙන් ඇවිදගෙන ගිහින් ලෝකයේ කෙළවර බලන්න ඕන’ කියලා. ඉතින් ස්වාමීනි මම පිටත් වුණා. කෑමට බීමට පුංචි විවේකයක් ගත්ත. වේගයෙන් මම ලෝක ඔක්කොම පහුකරගෙන පහුකරගෙන ගියා. ඈත පේනව තව විශාල ලෝක. අතරමඟදී මගේ ආයුෂ ඉවර වෙලා මම මළා.”

බුදුරජාණන් වහන්සේ අන්න ඒ වෙලාවේ හරි ලස්සන මාර්ගයක් පෙන්වා වදාළා. බුදුරජාණන් වහන්සේ රෝහිතස්සට වදාළා,

“රෝහිතස්ස, ඇවිදගෙන යන්න නම් බැහැ. හැබැයි ලෝකේ කෙළවර දක්වා දකින්න ඕන. හැබැයි ඒ කෙළවර දක්වා දකින ලෝකේ මේ විඤ්ඤාණය සහිත, මනස සහිත, සඤ්ඤා සහිත බඹයක් පමණ වූ ඔබේ ලෝකය යි.”

බලන්න කොතරම් ලස්සන ද කියල. මේ ලෝකය තමයි කෙළවරට ම දකින්න ඕන ලෝකය. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෝකය තුළ තියනවා ලෝකේ හටගන්න සෑම දෙයක් ම. හැබැයි මේ ලෝකය තුළමයි තියෙන්නේ ලෝකෙන් නිදහස් වීමත්. ලෝකෙන් නිදහස් වන මාර්ගය දියුණු කරන්න තියෙන්නෙත් ඔතනමයි.”

බුදුරජාණන් වහන්සේ ඒ පෙන්වා දෙන නිවැරැදි කිරීම කෙනෙකුට ඒ ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් නම්, ඒ ගැන නුවණින් කල්පනා කරන්න පුළුවන් නම්, ඒ ගැන නුවණින් විමසන්න පුළුවන් නම්, ඒ ගැන නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ කෙනා හැම තිස්සේ ම දකිනවා තමා තමාව පිහිට කරගන්න පුළුවන් බව. ධර්මය තමාට පිහිට කරගන්න පුළුවන් බව අන්න ඒ කෙනා දකිනවා. ධර්මය කියන දේ තමන්ගේ දෙයක් බවට එදාට පත්වෙනවා. ධර්මය හරියට තේරෙනකම් හැම තිස්සේ ම හිතෙන්නේ මේක පිට කෙනෙක් ම කරල දෙන්න ඕන කියලයි. ධර්මය නියම විදියට තේරුම් ගත්ත දවසට තේරෙනව මේ සියලු දෙයක් ම ඇති කරගන්න තියෙන්නේ තමා විසින්ම යි කියලා.

ධර්මය තමයි තමන්ට ඊළඟට පිහිට කරගන්න තියෙන්නේ. දැන් අපි ගත්තොත්, චක්කවත්ති සීහනාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වදාළා අනාගතයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසූදාහක් ගිය කලට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියලා. ඒ ප්‍රකාශය කරලා ඊළඟට උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා “ඒ නිසා ආනන්ද, තමා පිහිට කරගන්න, ධර්මය පිහිට කර ගන්න” කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ජීවමානව මුණ ගැහුණත් අපි කරන්න ඕන මොකක්ද? තමාව පිහිට කරගැනීම. තමාව පිහිට කරගන්න බැරිවුණොත් ඒ අවස්ථාව මඟ හැරෙනවා.