Print this Article


35 වසරක් සපිරෙන නන්දන මහ පිරිවෙන

35 වසරක් සපිරෙන නන්දන මහ පිරිවෙන

ලක්දිව පුරා ධර්ම ශාස්ත්‍රාලෝකය විදහා පෑ අග්‍රගණ්‍ය විද්‍යස්ථාන අතුරින් කැස්බෑව නන්දන මහ පිරිවෙනට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. 1917 වර්ෂයේ දී කුඩා ආවාසයකින් ඇරඹී නාවින්නේ ශ්‍රී දේවානන්ද, මලිගස්පේ ශ්‍රී සෝමානන්ද හා පොල්හේනේ ජිනරතන යන මාහිමිපාණන් වහන්සේලාගේ මූලිකත්වයෙන් සංවර්ධනය වූ විජයසුන්දරාරාමය සියලු විහාරාංගවලින් සමන්විත පන්සලක් බවට පත් කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය ධූරය හොබවා වදාළ, ශාස්ත්‍රපති කඹුරුපිටියේ නන්දරතන මාහිමිපාණන් වහන්සේ නන්දන පිරිවෙනේ ආදි කර්තෘන් වහන්සේ වෙති. ”පිරිවෙනක් ආරම්භ කිරීම හා පවත්වාගෙන යෑම අතිශයින් දුෂ්කර වුවත්, සම්බුදු සසුනේ හා සිංහල ජාතියේ ජීවය බඳු පිරිවෙන තුළින් රටට,ජාතියට හා සසුනට සිදු වන්නා වූ මෙහෙවර පිළිබඳව සලකා එවැනි දුෂ්කර කාර්යයකට අත ගැසීමට මම නොපසුබට වෙමි” යන උදාර තේමාව සම්බුදු සසුනේ චිර පැවැත්ම කෙරෙහි උන්වහන්සේ තුළ වූ ආකල්පය ප්‍රකට කරන්නකි. 1985.08.01වන දින සිසුන් 13දෙනෙකුට අත් පොත් තබමින් නන්දන පිරිවෙන මූලික පිරිවෙනක් වශයෙන් අරඹන ලදි. අත්පොත් තබන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහාසංඝ සභාවේ මහානායක ලබුගම ශ්‍රී ලංකානන්දාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ විසිනි. කඹුරුපිටියේ නන්දරතන මාහිමියෝ සමස්ත ලංකා පිරිවෙන් පරීක්ෂක ධූරය දරමින් ලද අත්දැකීම් අනුසාරයෙන් හා උන්වහන්සේ අධ්‍යාපනය ලද ලක්දිව පතළා වූ කීර්තිමත් විද්‍යස්ථානයක් වන මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙන පූර්වාදර්ශකොට ගනිමින් නන්දන පිරිවෙන මූලික පිරිවෙනක් ලෙස සංවර්ධනය කළහ.

ශාසන ඉතිහාසයේ ‘පිරිවෙන‘ යන්න ආරාම හෙවත් භික්ෂු වාසස්ථාන ලෙස ඇරැඹි බව මහාවංස, දීපවංස ආදී වංස කතාවලින් මෙන්ම අට්ඨකථා ඇසුරිනුත් හෙළිවෙයි. ඒ අනුව නන්දන පිරිවෙන ද ප්‍රදේශවාසීන්ගේ හා ප්‍රාදේශීය භික්ෂූන් වහන්සේලාගේ ද උපකාර ඇතිව සිය ගණන් භික්ෂූන්ට නේවාසිකව හිඳිමින් අධ්‍යාපනය ලැබිය හැකි විශිෂ්ට පිරිවෙනක් බවට පත්විය. ආරම්භයේ පටන් මේ දක්වාම දානමානාදී ප්‍රත්‍ය පහසුකම් සපයන ලද සියලුම දායික දායිකාවන් කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුම ය.

නන්දන පිරිවෙනෙහි විෂය

ක්ෂේත්‍රය එක් පැතිකඩක් පමණක් ආවරණය නොකෙරිණි. නේවාසික භික්ෂූන් කෙරෙහි පැවැති දිනචරියාව එය මනාව තහවුරු කරන්නකි.

පිරිවෙන පැවැත්වෙන කාලය තුළ අධ්‍යාපනික වශයෙන් අවැසි භාෂා ඥානය ලබා දෙන අතර ඊට අමතරව උදෑසන අවධි වූ තැන පටන් ප්‍රතිබල සම්පන්න භික්ෂුවක නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රබල වැඩපිළිවෙළක් නන්දන පිරිවෙන සතුවිය. ඒ ඒ දිනට නියමිත පිරිත්, ධම්මපදය, වරනැඟිලි, කවි, ගාථා හා ශ්ලෝක ආදී නොයෙක් දෑ උදෑසනම නියමිත ගුරුවරුන්ට පාඩම් දිය යුතුය. ඒ ඒ දිනට නියමිත පිටපත් නිරීක්ෂණය ද ගුරුවරුන්ට පැවරුණු වගකීමකි.

මිදුල ඇමදීම, බුද්ධ වන්දනය හා ගුරු දෙගුරුන් වන්දනය නිමකරනා ශිෂ්‍ය භික්ෂූහු දන්වැළඳීමෙන් අනතුරුව තම තමන්ට නියමිත ස්ථානවල සිට කටපාඩම් කරති. දානශාලාව යනු ද ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ජීවිත හැඩගස්වන්නකි. සිවුරු අල්ලාගෙන පිළිවෙළින් සංවරව එක පෙළට වඩිනා උන්වහන්සේලා වැඩිහිටි පිළිවෙළ අනුව දන්සැලෙහි අසුන් ගනිති. තමන්ට පැවරෙනා දිනට ඒ ඒ හිමිවරුන් විසින් පින් වාක්‍ය දේශනා කළ යුතුය. එය භික්ෂුවකට ලැබෙනා දුර්ලභ අවස්ථාවක් වනුයේ ඉතා දීර්ඝ පින් වාක්‍යයක් බොහෝ පිරිසක් මධ්‍යයේ දේශනා කිරීමෙන් සබකෝලය දුරලීමේහි ලා මග විවර වන බැවිනි.

පිරිවෙන් කාලය නිමවීමෙන් අනතුරුව මිදුල් ඇමදීමෙන් පසු බුද්ධ වන්දනය සිදුකරනා අවස්ථාව බොහෝ දෙනාගේ සිත්ගන්නා වූ දර්ශනයකි. ශිෂ්‍ය භික්ෂූහු පත්කඩය නමන ආකාරය, එය රැගෙන යන ආකාරය හා සිවුරු ඇල්ලීම මෙන්ම විවිධ නමස්කාර ක්‍රම ද අනුගමනය කළේ ශාසන සම්ප්‍රදායට අනුකූලව ම ය. බුද්ධ වන්දනයට පසුව සිදුකරනා වත පිරිත් දේශනය ද ක්‍රමානුකූල වූයේ මෛත්‍රියේ සිට මරණානුස්සතිය තෙක් සිහිය පිහිටුවා ගැනීමට අවැසි සූත්‍ර සජ්ඣායනය ද කළ බැවිනි. අනතුරුව ගුරුවරුන් වෙත වන්දනා කරන අතර ඒ ඒ දිනට නියමිත භික්ෂූහු දහම් දේශනා කරති. භික්ෂුවකට ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවක් වූ මෙම අවස්ථාවෙන් චිරාගත සම්ප්‍රදාය මෙන්ම ධර්ම දේශනයක ක්‍රමික පිළිවෙළ පිළිබඳව ද මනා අවබෝධයක් ලැබුණි.

මෙම ලිපියේ ඉතිරි කොටස දුරුතු පුර අටවක (20 ) පත්‍රයේ පළවේ