Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 31 කොටස: ප්‍රචණ්ඩකාරී සංවිධානයක පූර්ව සැලසුමක් ...

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 31 කොටස:

ප්‍රචණ්ඩකාරී සංවිධානයක පූර්ව සැලසුමක් ...

ජේ.ආර්. රජීව් සාම ගිවිසුම අනුව ඉන්දියන් සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට පැමිණි අතර, එයින් එක් අනු ඛණ්ඩයක් නාගදීප දූපතේ ද පිහිටුවන ලදී.

එහි අණදෙන නිලධාරියා වූ ලුතිනන් පටකුයි නිරතුරුව ම පදුමකිත්ති හිමියන්ට වන්දනා කරමින් සිටීම උන්වහන්සේට මහත් කරදරයක් විය. නා හිමියන් වැඩිපුර හමු නොවීම නිසා උන්වහන්සේට වැඩි වධයක් නොවුණත් ඇස ගැටුණොත් පටකුයි ගේ වන්දනාවෙන් ගැලවෙන්නට නොහැකි විය.

ඔවුන් දූපතේ නවාතැන් ගැන්මට කූඩාරමක් තනා ගන්නට උත්සාහ කළ ද දෙමළ ජනතාව එයට කැමැති වූයේ නැත. ඒ එල්.ටී.ටී.ඊ. පිරිස් විසින් කළ කී දේ නිසා ය. එහෙත් පදුමකිත්ති හිමියන්ගේ දැනුම්දීම මත දෙමළ ජනයා ඔවුන්ට උදවු කළහ.

ඉන්දියන් හමුදාව පැමිණීමෙන් පසු කොටි සංවිධානය තරමක් නිහඬ වුව ද එය වැඩි කලක් පැවතුණේ නැත. සති කිහිපයකට පසුව ඔවුන් සුපුරුදු පරිදි ප්‍රහාර දියත් කිරීම නිසා නාගදීපයේ සිටි ඉන්දියන් හමුදාවට යාපනයට එන ලෙස නියෝග ලැබුණි. ඔවුහු අකමැත්තෙන් වුව ද පිටත්ව ගියහ.

ඒ අතර කරෙයිනගර් සිට නාගදීපයට පැමිණි නාවික හමුදා යාත්‍රාවක් පුපුරුවා හරින ලදී. එයින් නාවික හමුදාවේ සෙබළුන් තිදෙනකු මිය ගිය අතර එක් අයකුගේ දේහය මුහුදු වෙරළේ තිබී හමුවූයේ දින 3කට පසුව පදුමකිත්ති හිමියන්ට ය.

පදුමකිත්ති හිමියන් දේහය දුටු සැණින් නා හිමියන්ටත්, නාවික කඳවුරටත් දැනුම් දෙන ලදී. වෙරළට පැමිණි අණ දෙන නිලධාරියා පැවසුවේ එම සිරුර බෙහෙවින් නරක් ව ඇති හෙයින් එය දූපතේම භූමදාන කළ යුතු බවයි.

එය දැනගත් නා හිමියන් බෙහෙවින් කෝප විය.

‘‘රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු ඒ දරුවගෙ පවුලෙ අයට පුළුවන් විදිහට අවසන් කටයුතු කරන්න ඒක යවනවලා‘‘

ඒ අනුව පදුමකිත්ති හිමියන් විසින් තම දෑතින්ම මස් දියවෙමින්, දුර්ගන්ධය හමමින් තිබූ දේහයේ කොටස් පොලිතින් උරයකට බහාලන ලද්දේ නාගදීප රෝහලේ වෛද්‍යවරයා පැමිණ ෆෝමලීන් දැමීමෙන් පසුව ය. නාවික නිලධාරීන් දේහයේ කටයුතු කරන්නට පැමිණෙද්දී පදුමකිත්ති හිමියන් එහි කටයුතු කර අවසාන ය.

ඒ අනුව සිරුරේ කොටස් නාවික සෙබළාගේ නිවස පිහිටි බලපිටියට ගෙන යන ලද අතර, එය නිසි ලෙසින් සිදු කෙරෙන්නේදැයි ධම්මකිත්ති හිමියන් හා පදුමකිත්ති හිමියන් අවධානයෙන් පසුවිය.

දූපතක් වූ නාගදීපයේදී නාවික යාත්‍රාවකට ත්‍රස්තවාදීන්ට එලෙස ප්‍රහාරයක් එල්ල කරන්නට දූපතේ කාගේ හෝ සහායක් තිබිය යුතු බව ඉතා පැහැදිලි විය. එම නිසා නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් ඒ සම්බන්ධ ව ක්‍රියාත්මක කරන ලදී.

එහිදී හෙළි වූයේ කොටි සංවිධානයට ඍජුව සම්බන්ධ නොවූවත් නාගදීපයේ සිටින ප්‍රචණ්ඩකාරී සංවිධානයක කිහිප දෙනකු විසින් පූර්ව සැලසුමක් සහිතව එම ප්‍රහාරය දියත් කර ඇති බවයි. එය යුද හා නාවික හමුදා බුද්ධි අංශය විසින් අනාවරණය කරගන්නා ලදී. එය අනාවරණය වීමෙන් පසුව නාවික හමුදාවේ සහ යුද හමුදාවේ සියලු දෙනා දණ්ඩෙන් පහර කෑ නාගයන් මෙන් විය. නාගදීපයේ සියලු නිවාස ඔවුන්ගේ පරීක්ෂාවට ලක් විය. සැකසහිත සියලු දෙනාගෙන් ම ප්‍රශ්න කරන්නට විය. පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ම ප්‍රශ්න කර ඇත්තේ කටට තුවක්කුව තබා බවද පදුමකිත්ති හිමියන්ට ආරංචි විය. නාගදීප වැසියෝ බියෙන් ඇලළී ගියහ. පදුමකිත්ති හිමියෝ මේ බව නා හිමියන්ට පැවසූහ.

යුද සෙබළුන් මෙන්ම නාවික සෙබළුන් ද දැඩි සේ කුපිත වී සිටියහ. එක් අතෙකින් ඔවුන්ගේ කෝපය සාධාරණ ය. දුපතේ ජනතාව ආරක්ෂා කිරීමට පැමිණ සිටි ඔවුන්ට දූපතේ කිහිප දෙනකුගේ ක්‍රියාවන් නිසා ජීවිත අහිමිවීම ගැන ඉවසිය හැක්කේ කාටද? එහෙත් නා හිමියන් දැරුවේ වෙනම අදහසකි. යම් හෙයකින් දුපතේ අහිංසක අයකුට හමුදාවෙන් අනතුරක් වුවහොත් එය නාගදීපයට ම බලපානු ලබන බවයි.

උන්වහන්සේ වහාම නාගදීප නාවික කඳවුර හා යුද හමුදා කඳවුර දෙසට වැඩියහ.

‘‘ හමුදාවේ සේරම අයටයි මේ කියන්නෙ, මේ දූපතේ කිසිම කෙනකුට කරදර හිරිහැර කරන්න ලෑස්ති වෙන්න එපා. වැරැදිකාරය හරියට අහුවෙලා නම් ගිහින් නීතියට බාර දෙන්න, වෙඩි තියනවා නම් ඉස්සරවෙලාම මට වෙඩි තියන්න‘‘ නා හිමියෝ දැඩි ආවේගයෙන් පැවසූහ.

ඒ අතර නාවික ප්‍රහාරක යාත්‍රා වෙරළ ආසන්නව ම සන්නද්ධ ව ගමන් කළ අතර, ගුවනින් ද නිරීක්ෂණ කටයුතු කරනු පෙනුණි.

නා හිමියන්ගේ ආවේගකාරී ප්‍රකාශය හමුවේ කඳවුරු දෙකේම අණදෙන නිලධාරීන් මෙන්ම සෙසු සියලු දෙනා නිහඬ වූ බවක් පෙනුණි. එහෙත් දුපතේ කෙළවරේ නිවාස පරීක්ෂාවට ගිය සෙබළුන් කිහිප දෙනෙක් ඒ වන විට කඳවුර වෙත පැමිණෙමින් සිටියේ කෝපයෙනි.

පාසල් ඇරී පැමිණෙන සිසුවියක හා සිසුවකු දුටු ඔවුන් ඒ දෙදෙනා දෙසට පැමිණෙමින් සිටිනු දුටු පදුමකිත්ති හිමියන් දිව ගොස් ඒ දෙදෙනා පන්සලට ඇදගෙන එන ලදී. ඒ දෙදෙනා පන්සලේ කාමරයට දමා දොර වසන ලදී. ඒ සමඟම හමුදා සෙබළුන් දෙදෙනෙක් පන්සලේ ය. ඒ ඇඟ පුරා දවටා ගත් උණ්ඩ වැලක් හා ටී -56 අවි ඇතිව ය.

‘‘හාමුදුරුවනේ කෝ අර පන්සලට ගෙනිච්ච කොල්ලයි කෙල්ලයි. අපිට ආරංවියි උන්ගේ තාත්තත් මේකට සම්බන්ධයි කියල. ඌ දූපතේ නැහැ. මුන් දෙන්නව දෙන්න, අපි ඉතුරු හරිය බලා ගන්නම්‘‘

‘‘මේක පන්සලක්. මෙතෙන්ට එන අය ගැන බලන්න ඔහේලට බැහැ. ‘‘ පදුමකිත්ති හිමියෝ පැවසූහ.

එකිනෙහිම ඉදිරියට ආ එක් හමුදා සෙබළෙක් ටී 56 තුවක්කුව පදුමකිත්ති හිමියන්ගේ බෙල්ලට තබා තද කෙළේ ය.

‘‘ළමයි දෙන්න දෙනවද නැද්ද? නැත්නම් හාමුදුරුවො කියල බලන්නෙ නැහැ. මෙතනම තියනව‘‘ ඔහු ගුගුළේ ය.

“උඹ කවුද යකෝ මට වෙඩි තියන්න, වෙඩි තියපන් බලන්න‘‘ පදුමකිත්ති හිමියන් වැරෙන් තුවක්කුව පසෙකට තල්ලු කළේ ඔහුට ද පහරක් දෙමිනි.

ඒ පහර හමුදා භටයා බලාපොරොත්තු නොවූවක් විය. පදුමකිත්ති හිමියන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම යටතේ ඔහු ඇදගෙන යන්නට අනෙක් සෙබළා කටයුතු කළ අතර ඔවුන් පස්ස නොබලාම යන්නට විය. ඒ සම්බන්ධව යුද හමුදාවේ අණ දෙන නිලධාරියාට පදුමකිත්ති හිමියන් විසින් පැමිණිලි කළ අතර, එදිනම ඔහු යාපනයට මාරු කරන්නට කටයුතු කරන ලදී.

මේ සිදුවීම් මාලාව අතර දුර දිග නොබැලූ අයෙක් නාගදීපයේ ‘නාගපූෂනී අම්මාන් ‘ කෝවිලට ගිනි තැබුවේ ය. එම ගින්නෙන් එහි ප්‍රධාන දොරටුව මුළුමනින්ම දැවී ගියේය. එම දොර වටිනා දැව භාවිත කර වසර 50කට 60කට පමණ පෙර තනන ලද්දකි. එයින් නොනැවතී ඔහු එහි තිබූ වේල් කරත්ත දෙකකට ද ගිනි තැබුවේ ය. ප්‍රධාන වේල් කරත්තය පමණක් බේරී තිබුණි.

එයට එකට එක කරන්නට නාගදීපයේ කිසිදු අයෙක් කටයුතු නොකළද වෙනත් දුපතක සිට පැමිණි ත්‍රස්තවාදියකු විසින් බුද්ධ වලව්ව පන්සලට බෝම්බ තබා පුපුරවා හරින ලදී.

මේ කරදර අස්සේ නිවාසවලින් එළියට බසින්නටවත් ජනතාව අකමැති වූහ. නිවාස පරීක්ෂා නොකළ ද නාවික හමුදාව හා යුද හමුදාව දූපත පුරා ගිය අතර නාවික හමුදාව මුහුදේ නිරතුරු සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නට විය.

ත්‍රස්තවාදීන්ද කුරිකට්ටුවාන් ජැටියේ සිට මෝටාර්වලින් ප්‍රහාර එල්ල කළහ. ඔවුන් සතුව නවීන මෝටාර් උණ්ඩ තිබෙන බව එම ප්‍රහාරවලින් තේරුම් ගියේය.

දින දෙකක්ම පදුමකිත්ති හිමියන්ට හා නා හිමියන්ට දානය පවා නොලැබුණි. පන්සල පිටුපස වැලේ තිබුණු වට්ටක්කා ගෙඩියක් තබ්බා ගත් පදුමකිත්ති හිමියෝ ලුණු දමා පොල් ගා එයින් නා හිමියන්ට දානය පිළිගන්වා උන් වහන්සේ ද වැළඳුහ. දෙදිනම උදෑසන හා දහවල් ආහාරය වූයේ වට්ටක්කා තැම්බුම පමණි.

බුද්ධවලව්ව පන්සලට බෝම්බ ගසා විනාශ කිරීම නිසා තැතිගත් ජනතාව පන්සලට රොක්වූහ. තමන්ට හානියක් වේ යැයි ඔවුහු නා හිමිගෙන් සරණක් පැතූහ.

එම අවස්ථාවේ කෝවිලේ පූසාරි හමුවී පදුමකිත්ති හිමියෝද ඒ සම්බන්ධව කතා කළහ. ඒ අතර පන්සලටත්, කෝවිලටත් වන්දි ලබා දීමට කටයුතු කරන බව යාපනය දිසාපතිවරයා විසින් දන්වා තිබුණි. නා හිමියන් කඳවුරු දෙකේම අණ දෙන නිලධාරීන්ට පෙර මෙන්ම දැඩි ආවේගයෙන් පවසා සියල්ල අමතක කර දමන ලෙසත් දුපතේ ජනතාවට කිසිදු ආකාරයක කරදරයක් හිරිහැරයක් නොවිය යුතු බවයි.

සියලු හමුදා නිලධාරීන් ඒ බව පිළිගත් අතර ජනතාව නා හිමියන්ට වන්දනා මාන කර පන්සලෙන් පිටව ගියේ නා හිමියන් නිසා තමන්ට ජීවය ලැබුණු බව පවසමිනි.

ඔවුන් සියලු දෙනා නාහිමියන්ට දෙතුන් වතාවක් බිමට නැමී වන්දනා කළ අතර, ඒ සඳහා පැයකට අධික කාලයක් ගත විය.

ප්‍රචණ්ඩ ක්‍රියා නිසා හානිවලට වන්දි වශයෙන් කෝවිලට රුපියල් ලක්ෂ 20ක් හා පන්සලට ලක්ෂ 5ක මුදලක් ලැබුණි.