Print this Article


සෙනසුන් පනවන භික්ෂූන් වහන්සේ අතරින් මුල් තැන ලැබූ දබ්බමල්ලපුත්ත මහ රහතන් වහන්සේ

සෙනසුන් පනවන භික්ෂූන් වහන්සේ අතරින් මුල් තැන ලැබූ දබ්බමල්ලපුත්ත මහ රහතන් වහන්සේ

දබ්බමල්ලපුත්ත මහ රහතන් වහන්සේ අසූ මහා ශ්‍රාවකයන්ට අයත්වන තවත් සුවිශේෂී මහ රහතන් වහන්සේ නමකි. ස්ව කැමැත්තෙන් ම අටළොස් මහා විහාර ඉතා හොඳීන් පිරිසුදු කර, ඇඳ පුටු සකස් කර පැන් තබා, කළයුතු සියලු කාර්යයන් සියතින් ම සකස් කර දීම උන්වහන්සේගේ සිරිතකි.

ඒ නිසා උන්වහන්සේ අසූ මහා ශ්‍රාවකයන් අතර ලැබූ තනතුර වන්නේ ‘සෙනසුන් පනවන භික්ෂූන් වහන්සේ අතරින් මුල් තැන ලැබීම’යි. දබ්බමල්ල පුත්ත තෙරුන් වහන්සේ මල්ල රජුගේ පුතු ය. ඒ නිසා මල්ලරාජපුත්ත යනුවෙන් මොහු හැඳීන්වුව ද දබ්බ නමින් හැඳීන්වීම ද විශේෂිත ය. උන්වහන්සේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වීම උදෙසා සසර මඟ සිදු කළ පින්කම් උදාර ය.

දබ්බ තෙරුන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පෙර මෙලොව පහළ වූ පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයෙහි උපත ලැබුවේ හංසවති නුවර කුල ගෙයක ය. ඔහු වැඩිවියට පැමිණි පසු ව එක් දිනක් විහාරස්ථානයට ගියේ බුදුන් වහන්සේගෙන් බණ ඇසීමට ය. එහිදී පුදුමුත්තර බුදුන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් සෙනසුන් පනවන්නන් අතර අග්‍රස්ථානය තබන දසුනින් සතුටට පත් මොහු, තමා ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නෙමි’යි සිතා ගත්තේ දැඩි අදිටනෙනි. ඒ නිසා සත් දිනක් මුළුල්ලේ ම බුද්ධ ප්‍රමුඛ මහා සඟ රුවනට දන් පවත්වා අවසානයේ දී තම අදහස බුදුන් වහන්සේට දන්වා සිටියේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. එය සම්බුදු ඥානයෙන් දුටු බුදුන් වහන්සේ අනාගතයේ ඉෂ්ඨ වනු දැක, එම්බා කුලපුත්‍රය, මෙයින් කල්ප ලක්ෂයකට පසුව ලොව පහළ වන ගෞතම බුදු සසුනේ ඔබගේ පැතුම වන ‘ සෙනසුන් පනවන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර තනතුර’ ලැබෙන බවට නියත විවරණ ලබා දුන් අයුරු විශිෂ්ට ය.

පසුව සසර මඟ බොහෝ පින් දහම් කළ මොහු, කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ පැවිදි වූයේ තවත් සත් දෙනකු සමඟ ය. දිනක් සත්නම ම කථිකා කරගෙන එක්තරා පර්වතයකට, හිණි මඟක් ආධාරයෙන් නැඟ ඒ හිණිමඟ බිමට පෙරළා දමා පර්වතයෙහි වාසය කළේ ශ්‍රමණ ධර්මය පිරීමට යි. හිණිමඟ පෙරළන අවස්ථාවේ දීම එක් හිමි නමක් රහත් වූයේ භාග්‍යවත් ලෙස ය. උන් වහන්සේ අහසින් උතුරු කුරු දිවයිනට පිඬුසිඟා වැඩම කර අනෙකුත් සය නමටම උවටැන් කළේ ආහාර පාන ආදියෙනි. එහි දී රහත් නොවූ අනෙකුත් භික්ෂූන් වහන්සේ සය නම කරගත් කථිකා ව අපූර්ව ය. ඒ සයනම ම පර්වතයට නැඟ හිණිමඟ හෙළන විට එක නමක් රහත් වුවහොත්, ඒ අය විසින් අනිත් අයට ආහාර ගෙනවිත් පිළිගැන්වීමට කථිකා නොකළ බව යි. ඒ නිසා ඔබ වහන්සේ කැමැති තැනකට වැඩම කරන්න යනුවෙනි. මෙලෙස සය නම ම පැවසීමෙන් පසුව රහතන් වහන්සේ දන් වැළඳුවේ වෙනත් දිසාවකට වැඩම කරමිනි.

මෙහි දී තවත් හිමි නමක් සත් වන දිනයේ දී අනාගාමී ඵල ලබා උපත ලැබුවේ බඹ ලොව ය. මහණ දම් පිරූ අනෙකුත් පස් දෙනා වහන්සේ මිය පරලොව ගියේ කිසිදු මාර්ගඵලයක් නොලබා ය. ඒ පස්නම සසරේ අවසන් භවයේ දී උපත ලැබුවේ ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ ය. ඔවුන් පස්දෙනා පිළිවෙළින් ගන්ධාර රටෙහි ද, තවත් අයෙක් තක්සලා නුවර රජ මාලිගයක්, තවත් අයෙක් පබ්බතිය රට පරිබ්‍රාජිකාවගේ නිවසේ ද, තවත් අයෙක් කෙළෙඹි නිවසක ද, අනෙක් පුද්ගලයා රජගහ නුවර කෙළෙඹි නිවසක ද උපත ලැබූ අතර දබ්බ කුමරු උපත ලැබුවේ මල්ලරට රජුගේ පුතු ලෙස ය.

දිනක් දබ්බ කුමරු මව්කුස පිළිසිඳ ගෙන සිටිය දී කුමරුගේ මෑණියන් මිය පරලොව ගියේ හදිසි රෝගයක් උත්සන්න වීම නිසා ය. එහෙත් ඒ දේහය ආදාහනය කරද්දී සිදු වූයේ අරුම පුදුම දෙයකි. ඒ මෘත සිරුර ආදාහනය කරද්දී දැල්වූ ගින්නෙහි සැර වේගයෙන් හමා ගොස් දරු ගැබ දෙකට පැලී කුස තුළ වූ දරුවා කුසතණ පඳුරක් මතට විසි වී යාම යි.

මෙලෙස මොහුගේ මව මිය ගිය ද, මව් කුස සිටිය දී ගින්නට අසු වුව ද,මරණයෙන් බේරී යන්නට ඇත්තේ පෙර කළ සසරේ පිනේ මහිමය නිසා විය හැකි ය. මල්ල රටේ රජුගේ සිඟිති පුතු වූ මේ පින්බර කුමරු දර සොහොනෙහි උපන් නිසා හැඳීන්වූයේ ‘දබ්බ’ නාමයෙනි. කුඩා කලදී ම මව් සෙනෙහස අහිමි වී ගිය දබ්බ කුමරු ඇති දැඩි වූයේ මිත්තණියගේ සෙවණේ ය. දිනක් බුදුන් වහන්සේ සමඟින් වැඩම කරන සඟ රුවනේ අසිරියෙන් පැහැදුණු සත් හැවිරිදි වියේ පසු වූ ‘දබ්බ’කුමරුට ඇති වූයේ පැවිදි වීමේ අදහසකි. එය තම මිත්තණියට පැවසූ විට ඇය ද ඊට එකඟ වූ බැවින් මොහු පැවිදි කිරීමට බාර දුන්නේ බුදුන් වහන්සේ හමුවට ය. එහි දී සත් හැවිරිදි වියේ පසු වූ ‘දබ්බ’ කුමරු පැවිදි වෙනවාත් සමඟම රහත් වීම සුවිශේෂී භාග්‍යයකි.

බුදුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයට වැඩම කළ විට දබ්බ මල්ල පුත්‍ර රහතන් වහන්සේට ඇති වූ අදහස අගනේ ය. ඒ ‘පැවිදිව ලැබිය යුතු උසස් ම ඵලය මම රහත් වීමෙන් ලබා ගතිමි. ඒ සඳහා කළ යුතු දෙයක් කිසිවක් ඉතිරි වී නැත. ඒ නිසා මහා සංඝයා වහන්සේට සෙනසුන් පිළියෙළ කරන්නටත්, සලාක බෙදා දීමත් සිදු කරන්නෙමි’ යි’ යනුවෙනි. මෙසේ සිතූ දබ්බ මල්ල තෙරණුවන් වහන්සේ ,ඒ සඳහා අවසරය බුදුන් වහන්සේගෙන් ලබා ගෙන එතැන් සිටම භික්ෂූන් වහන්සේලාට සෙනසුන් පැවරුවේ ස්ව කැමැත්තෙනි. මේ බව දබ්බමල්ලපුත්ත ථෙරපදානයෙහි ද සඳහන් ය. උන්වහන්සේලාගේ කැමැත්තට අනුව සුදුසු ස්ථානවල සෙනසුන් පනවමින් සියලු දෙනා වහන්සේගේ සිත් ගැනීමට සමත් විය. එකවර බොහෝ තැනක සෙනසුන් පැනවිය නොහැකි වු විට ඍද්ධි බලයෙන් සෙනසුන් පිළියෙළ කර පිළිගැන්වීම ද විශේෂිත ය. උන්වහන්සේ තමන් වහන්සේ හා සමාන මනෝමය කායන් බොහෝ නිර්මාණය කොට එක්, එක් භික්ෂූන් වහන්සේ සුදුසු ස්ථාන කරා වැඩම කරවූ දසුන අපූර්ව ය. මේ සුවිශේෂී කාරණය අරමුණු කරගත් බුදුන් වහන්සේ අනෙකුත් භික්ෂූන් වහන්සේ මධ්‍යයේ දබ්බමල්ල පුත්‍ත තෙරුන් වහන්සේට ලබා දුන් තනතුර විශිෂ්ට ය. ඒ ‘සෙනසුන් මනා කොට පනවන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර’ තනතුර ලබා දීම යි.