Print this Article


සීමාව තුළ සිටින තෙක් තමන් සුරක්ෂිතයි

සීමාව තුළ සිටින තෙක් තමන් සුරක්ෂිතයි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ජා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ කැලණිය රාජමහා විහාරාධිපති,කිත්සිරිමෙවන් රාජමහා විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමිපාණන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේ කැලණිය වගේ රාජමහා විහාරස්ථානයක අධිපතිත්වය දරමින් විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කරනු ලබනවා. මේ සියලු කාර්යභාරයන් නිසි වේලාවට අනුව නොපිරිහෙලා ඉටුකරනු ලබන්නේ කුමන ආකාරයෙන් ද?

මගේ දින චර්යාවට අනුරූපී වන ආකාරයට සියලුම කටයුතු කාල සටහනකට අනුව සකස් කරගෙන තිබෙනවා. සෑම දිනකම විශ්ව විද්‍යාල දේශන සඳහා සහභාගි වන්නේ පෙරවරු කාලයේදී පමණයි. සවස්වරුව හා රාතී‍්‍ර කාලය විහාරස්ථානයේ කාර්යයන් පොත පත කියවීම, ශාස්තී‍්‍රය ලිපි ලිවීම, ධර්මදේශනා සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීමට කටයුතු කරනවා. අලුයම 4 ට අවදිවී ශාස්තී‍්‍රය කටයුතුවල නියැළෙමින් පෙරවරු 5 පමණ වන විට ආගමික වතාවත්වල නිරතවෙනවා. කිසිම දවසක විශ්ව විද්‍යාල දේශන හා විහාරස්ථාන කටයුතු අතපසු නොවන ලෙස ගැටුමක් ඇති නොවන ආකාරයට කාලය වෙන් කර ගෙන තිබෙනවා.

ඔබ වහන්සේගේ පැවිදි ජීවිතය සාර්ථක කරගැනීමට ගුරු හාමුදුරුවරුන්ගෙන් ලබාගත් ආභාසයත්,ධර්ම ශාස්තී‍්‍රය අධ්‍යාපනය තුළින් ලබාගත් අත්දැකීමත් අනුව වර්තමාන තරුණ භික්ෂූන් වහන්සේලාට ලබාදෙන අවවාද අනුශාසනා පැහැදිලි කරනවා නම්,

වැදගත් ආකාරයට ජීවත් විය යුතුයි කියන කාරණාව නායක හාමුදුරුවන්ගෙන් ලබාගත් ප්‍රධානම ආභාසය බව මම මේ අවස්ථාවේදී බොහොම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. උන්වහන්සේ පැවිදි ජීවිතයේ ගෞරවය ආරක්ෂාකරගෙන ඉතාම ගෞරවයෙන් ජීවත් වුණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්.වැදගත් ආකාරයට ජීවත්වීමේ මූලික ලක්ෂණ වන්නේ තවත් අයෙකුට කරදරයක් නොවන ආකාරයට ජීවත් වීමයි. තමන් දරන වගකීම්, තමන් උසුලන පැවිදි ජීවිතය යන සියලු කාරණා ආරක්ෂා කරන ක්‍රමය වැදගත්කමයි. අනෙකාගේ සිත නොරිදෙන ආකාරයට කටයුතු කිරීම අවශ්‍යයි. සමාජය තමාගෙන් බලාපොරොත්තු වන කාරණා තුළින් අවම වශයෙන් 80% ක් හෝ ඉටු කිරීමට තමන් ගේ හැසිරීමෙන් කතාබහෙන් තමන් උත්සාහවත් විය යුතුයි. එම ස්වභාවය මම නායක හාමුදුරුවන් වහන්සේගෙන් ඉගෙනගත් සුවිශේෂී ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේ වටු කුරුල්ලා පිළිබඳව සඳහන් කළ උපමාව බුද්ධ දේශනාව තුළින් ඉගෙනගත් වැදගත් පණිවුඩයක්.

උදලු තලයෙන් ගත් පස් පිඩැල්ලත් පොළොවත් අතර තිබෙන සීමිත ඉඩ ප්‍රමාණයක තම පැටවා බිහිකරමින් ජීවත් කරන වටුකුරුලු අම්මා තම පැටවාට කෑම සොයා යාමට පෙර උගන්වන පාඩම වුණේ වෙනත් සතකු අතට පත්විය හැකි නිසා ඉවතට නොයන ලෙසයි. අම්මා කියූ එම අවවාදය පිළිනොගත් පැටවා සීමාව ඉක්මවා ගිය නිසා සතුරන් අතට පත්වූ පසුව අඬමින් දොඩමින් සමාව ගෙන ඉතාම අපහසුවෙන් බේරුණා. දෙවන දවස තුළ කුරුලු පැටවා එළියට පැමිණියත්, කුරුලු අම්මා උපදෙස් ලබාදුන් සීමාව ඉක්මවා ගියේ නැහැ. තම සීමාව තුළ සිටින නිසාම ගිජු ලිහිණියාට වටු කුරුලු පැටවා අල්ලා ගැනීමට බැරි වුණා.

ඒ අනුවසෑම පුද්ගලයකුගේ ම ජීවිතය තුළ කිසියම් සීමාවක් තිබෙනවා. එම සීමාව පැන්නීම තුළින් ම අනතුරකට මුහුණ දීමට සිදුවෙනවා. සීමාව තුළ සිටින තෙක් තමන් සුරක්ෂිතයි. තමාගේ ආරක්ෂාව නැතිවීමට හේතුව වන්නේ එම සීමාව පනින්න යාම තුළයි. වර්තමාන සමාජය බොහෝ අනතුරුවලට භාජනය වෙලා තිබෙන්නේ තමන්ගේ සීමාව හඳුනා නොගැනීමෙන් සීමාව ඉක්මවා කටයුතු කිරීමට යාමෙන් බව පැහැදිලිව දකින්න තිබෙන කරුණක්.

අනතුරු, තර්ජන, ගර්ජන සියල්ලම ඒ පසුබිම තුළ නිර්මාණය වෙනවා. පැවිදි ජීවිතය ගත කරන අපේ සීමාව හඳුනාගෙන කටයුතු කිරීම වැදගත්. පැවිදි ජීවිතයේ සීමාව ඉක්මවා යාමෙන් අනතුරක්, ශාසනික විනාශයක්, සතුරු ආකල්ප ගොඩනැඟීමක්, වැනි පසුබිමක් නිර්මාණය වෙනවා. තරුණ භික්ෂූන් වහන්සේලාට හඬ නැඟීමක් සිදුකළ යුතු නම්, එම සීමාව තුළ ඉදිමින් කටයුතු කිරීමෙන් තමන් සුරක්ෂිතයි. කොරෝනා වෛරස් රෝගය හා සම්බන්ධව පවතින ගැටලුවේ දී ස්වාමීන් වහන්සේලා නිහඬවීම යහපත් බව මම සිතනවා. ඒ විෂය හා සම්බන්ධ බලධාරීන් සිටිනවා. වෛද්‍යවරු, භූ විද්‍යාඥයන් වගේම වගකිව යුතු රජයක් තිබෙනවා. ඒ පිරිස ඒ සඳහා නිර්ණායක ලබාදිය යුතුයි. මේ ප්‍රශ්නය අපේ ප්‍රශ්නයක් කරගතහොත් එය ආගමික ප්‍රශ්නයක් බවට පත්වෙනවා. එනිසා අපේ සීමාව තුළ කටයුතු කරනවා නම්, අර්බුද ඇතිවන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා තමන්ගේ සීමාව හඳුනාගෙන තේරුම් අරගෙන කාරුණිකව කටයුතු කිරීම අවශ්‍යමයි.

1992 වර්ෂයේ සිට විහාරාධිපති වශයෙන් කැලණි විහාරයේ දියුණුවට විශාල මෙහෙවරක් ඉටුකිරීමට හැකිවුණා. ධාතුවන්දනාව, භාවනා වැඩසටහන් වැනි ආගමික කටයුතු සහ සංවර්ධනාත්මක කටයුතු සතුටු විය හැකි ආකාරයට සිදුකර තිබෙනවා. කැලණිය විහාරයට ණය නැති බව මගේ අදහසයි. ඒ වගේම ශාසනයටත් විශාල මෙහෙවරක් සිදුකර තිබෙනවා. ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පවත්වාගෙන ගිය පිරිවෙන සම්පූර්ණයෙන්ම නඩත්තු කළේත් විහාරස්ථානයට ලැබෙන මුදල් තුළින්මයි. ඒ සඳහා බාහිර අනුග්‍රහයක් නොලැබුණත් ඒ තුළින් විශාල සේවයක් ඉෂ්ට වුණා. පසුගිය වසර වන විට එය නවතාදැමීමට සිදුවුණා.

දරුවන්ගේ විවිහ මංගල්‍ය සඳහා මව්පියන්ට විශාල මුදලක් වැයකිරීමට සිදුවන ඇතැම් අවස්ථාවලදී ඔවුන් අසරණ වෙනවා. ඔවුන්ට සහනයක් ලබාදීමට විහාරස්ථානය තුළ එම චාරිත්‍ර පමණක් ඉටුකිරීමට අවකාශය ලබාදීමට කටයුතු කිරීම තුළ යහපත් ප්‍රතිචාර ලැබුණත් ඇතැමුන් එය විවේචනය කිරීමට පටන් ගැනීම නිසා එය ඉදිරියට කරගෙන යාමට උත්සාහ කළේ නැහැ. වැව් දෙකක් ඉදිකරදීමටත්, අසරණ පවුල් වෙනුවෙන් නිවාස ඉදිකිරීමටත්, අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයාදීමටත් කටයුතු කළා. නිහඬව බොහෝ දේ ඉටුකිරීමට හැකිවීම පිළිබඳව සතුටු විය හැකියි.

දේශීය හා විදේශීය වශයෙන් ධර්ම ප්‍රචාරක කටයුතුවල නියළී සිටින ඔබ වහන්සේ ධර්ම ශාස්ත්‍රීය ලිපි ලේඛන හා පොත්පත් රාශියක් රචනා කර තිබෙනවා. ඒ අතරින් “බුදුන් වදාළ බුද්ධ චරිතය” නම් වූ අපූරු රචනාව කිරීමට පසුබිම සකස් වුණේ කොහොම ද?

බුද්ධ චරිතයට අයත් බොහෝ කාරණා අපට හමුවන්නේ විනය පිටකය තුළ සඳහන් වන බුද්ධ චරිතය තුළයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳවම දේශනා කළ කරුණු ඇතුළත් වන ස්ථාන කිහිපයක් පාදක කරගෙන බුද්ධ චරිතය ලිවීම හොඳයි කියන අදහසක් ඇති වුණා. ඊට පෙර වතාවක් එවැනි උත්සාහයක් දරා තිබුණේ නැහැ. එහි සමකර්තෘත්වය දරන කීර්ති නාරම්පනාව මහතාත් බොහෝ කරුණු ඒකරාශී කරගත්තා. එම අපූරු රචනාව බිහිවුණේ ඒ ආකාරයටයි.

ඔබ වහන්සේ පුංචි හාමුදුරුවන් වහන්සේ නමක් වශයෙන් ගත කළ සාමණේර අවධිය පිළිබඳව සඳහන් කරනවා නම්,

නිවස තුළ කුඩා බුදු මැඳුරක් ඉදිකරගෙන පුංචි කාලයේ ඉඳන්ම දිනපතා උදේ සවස බුද්ධ වන්දනාව පුරුද්දක් වශයෙන් සිදුකළා. මව්පියන් බුදුන් වන්දනා කළේත් එම ස්ථානයේදීමයි. අපේ පවුලේ පිරිමි පස් දෙනෙක් සිටියත්, පැවිදි වීමට කැමැති වුණේ මම විතරයි. ඒ අනුව නායක ස්වාමීන් වහන්සේ ළඟ පැවිදි වෙලා ගංගාරාම ජිනරතන පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපන ලැබුවා. අධ්‍යාපනය ලබන අවධිය තුළ යම් යම් කරුණු මනස තුළ ධනාත්මකව රෝපණය කරගත්තා. අවුරුදු 18 වන විට ආචාර්ය උපාධිය කළ යුතුයි යන ධනාත්මක සිතිවිල්ල මනස තුළ තැන්පත් වුණා. ප්‍රංශ භාෂාව ඉගෙන ගැනීමේ ආශාව අනුව කටයුතු කිරීම නිසා ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලය තුළ ප්‍රංශ භාෂාව හැදෑරීමට අවස්ථාව උදා වුණා. කථිකාචාර්යවරයකු විය යුතුයි යන සිතිවිල්ලත් ධනාත්මක ව මනස තුළ රෝපණය වුණ දෙයක්. මම නොදැනුවත්ව වුණත් කුඩා අවධියේ සිටම මනසත් සමඟ හොඳීන් ගනුදෙනු කරල තිබීමේ විපාක හැටියට ජීවිතයේ ලැබුණු සියලු දේවල් සිතූ ආකාරයටම සාධනය කරගැනීමට අවකාශය සැලසුණා. ශාස්ත්‍රපති උපාධිය, ආචාර්ය උපාධිය දිල්ලි විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තා . ලංකාවට වැඩම කළාට පසුව කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කිරීමට අවස්ථාව උදා වුණා.