Print this Article


අපවත්වී වදාළ අඹේවෙල පඤ්ඤාසාර මහ නාහිමි

අපවත්වී වදාළ අඹේවෙල පඤ්ඤාසාර මහ නාහිමි

නූතන සම්බුදු සසුන එකලු කිරීමට අමිල වූ මෙහෙවරක් සිදු කොට වදාළ පිළියන්දල සුවාරපොල බුද්ධාලෝක මහාවිහාරය, කැප්පෙටිපොළ පාලුගම ශ්‍රී සුභද්‍රාරාමය, කැප්පෙටිපොල තැන්නේ ශ්‍රී සෝමානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය යන විහාරත්‍රයාධිපති, සියම් මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහානායක, අග්ගමහා සද්ධම්මජෝතිකාධජ, ශ්‍රී සද්ධර්ම භාරතීශ්වරාචාර්ය, මහෝපාධ්‍යාය සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල සෝමානන්ද අතිපූජ්‍ය අඹේවෙල පඤ්ඤාසාර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පසුගිය දා (06) අපවත් වී වදාළ සේක.

ත්‍රිසිංහලයේ වීරෝදාර සෙන්පතීන්ට නිජබිමක් වූ ඌවේ උඩුකිඳ උඩ පළාතේ අඹේවෙල හෙවනකුඹුර ග්‍රාමවරයේ අරාවේ මහගෙදර විසූ කාංගන මුදියන්සේලාගේ විදානේ සහ හේරත් මුදියන්සේලාගේ රන්මැණිකේ යන දම්පතීන්ගේ සයවන පුතණුවන් ලෙස 1926 වර්ෂයේ මැයි මස දෙවන දින සිරිබද්දන නමින් ජන්මලාභය ලැබූහ. කලබුළුලන්ද රජමහා විහාරයේ තම වැඩිමහල් සහෝදරයෙකු ද පැවිදි බව ලැබූ නිසාවෙන් ලද ශාසනික ආභාසයෙන් වර්ෂ 1937 ඔක්තෝබර් මස පහළොස්වන දින උඩුකිඳ වැල්ලවාය දෙපළාතේ ප්‍රධාන සංඝනායක බොරගොල්ලේ ශ්‍රී සෝමානන්ද මහ නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු වශයෙන් පැවිදිබිමට පත් වූහ.

ස්වකීය ආචාර්ය වූ බොරගොල්ලේ ශ්‍රී සෝමානන්ද මහ නාහිමියන් වහන්සේගේ මූලිකත්වයෙන් වර්ෂ 1939දී ඌව ස්‍යාමවංශික නිකාය පිහිටුවීමේ අවස්ථාව සියැසින් දුටු මහ නාහිමිපාණෝ තත් සංඝ සභාවේ ප්‍රථම මහානායක වූ ස්වකීය ආචාර්යයන් වහන්සේ උපාධ්‍යාය කොට අඹේගොඩ සුමන, කිණිගම පඤ්ඤාසේකර හිමිවරුන් කර්මවාගාචාර්යය කොට වර්ෂ1946 දී පාලුගම ශ්‍රී සුභද්‍රාරාමයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

දිවිතොටවෙල බුද්ධප්පිය හිමියන් සෙවණේ බදුල්ල විද්‍යොත්තංස පිරිවෙනෙන් මූලික ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කොට ඉනික්බිතිව ලක්දිව සුපතල කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනට ඇතුළත්ව බද්දේගම පියරතන නාහිමියන් ප්‍රමුඛ ව්‍යක්ත ආචාර්ය මණ්ඩලය සෙවණෙහි වර්ග පටිපාටියෙන් අධ්‍යයන කටයුතු සිදු කොට වර්ෂ 1959දී විද්‍යොදය පිරිවෙන විශ්ව විද්‍යාලයක් බවට පත් වූ අවස්ථාවෙහි ඊට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගනිමින් එම සරසවියෙහි ඌව පළාතෙන් බිහි වූ ප්‍රථම ශාස්ත්‍රවේදී උපාධිධරයා බවට පත් වූහ. විද්‍යොදය පිරිවෙනට අසූ වස් සපිරුණ අවස්ථාවෙහි විශේෂ පරීක්ෂණයක් සිදු කොට පිරිනැමූ විද්‍යානිධි උපාධියෙන් ද පුද ලැබූහ.

කොළඹ පධානඝර විහාරස්ථ ධර්මදූත අභ්‍යාස ආයතනයට ඇතුළත්ව පරවාහැර වජිරඤාණ මාහිමියන් සෙවණෙහි ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳ පුහුණුව ලැබූ අතර 1952 වර්ෂයේ සිට ගුවන්විදුලි ධර්මදේශනා සඳහා ද දායකත්වය ලබා දුන්හ. අධ්‍යාපන කටයුතු නිමවා 1961 වර්ෂයේ දී පොළොන්නරුව ඇළහැර බකමූණ මහා විද්‍යාලයෙහි ප්‍රථම උපාධිධාරී ගුරුවරයා ලෙසින් රජයේ ගුරු සේවයට එක්ව ඉන් පසුව මාම්පේ සෝභිත පිරිවෙන, මාම්පේ සෝභිත විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කොට විශ්‍රාම ලැබූහ.

පාලුගම ජිනරතන මාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ පාලුගම සුභද්‍රාරාමයෙහි විහාරාධිපතීත්වයට පත් වූ නාහිමිපාණෝ ඉන් පසු තමන් වහන්සේගේ මූලිකත්වයෙන් කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සහ පිළියන්දල සුවාරපොල බුද්ධාලෝක විහාරය නිර්මාණය කරවූහ.

1969 මාර්තු මස 23 වන දින ඌව ස්‍යාමවංශික මහා නිකායේ කාරක සංඝසභික පදවියට ශ්‍රී සද්ධර්මභාරතීශ්වරාචාර්ය ගෞරව නාමය සහිතව පත් වූ මහ නාහිමිපාණෝ ඉන්පසු අනුක්‍රමයෙන් එහි අධිකරණ සංඝ නායක පදවියට පත්ව 1992 වර්ෂයේ දී අනුනායක පදවියට පත් වූහ. වර්ෂ 2009 දී පාලුගම සුමනසාර මහ නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ මහානායක පදවියෙන් සම්මානිත වූහ. මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ලෝක ශාසනික මෙහෙවර අගයමින් බුරුම රජය විසින් 2014 වර්ෂයේදී අග්ගමහා සද්ධම්මජෝතිකාධජ ගෞරව නාමය පිරිනැමී ය.

තමන් වහන්සේ සතු ඡ්‍යොතිෂ්‍යය පිළිබඳ දැනුම උපයෝගී කොට ගනිමින් බොදු දනන්ගේ එදිනෙදා දිවියට පැමිණෙන උවදුරු දුරලීම පිණිස මහා මෙහෙවරක් සිදු කළහ.

කැස්බෑව ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පදවිය ඇතුළු තනතුරු රාශියක් ද මහනාහිමියන් විසින් හොබවන ලදි.

විල්ඔය පඤ්ඤාතිලක හිමි, තුම්බෝවිල ධම්මරතන හිමි, කැන්දවින්නේ පඤ්ඤාසීල හිමි, අඹේවෙල මහානාම හිමි, විල්ඔය අමිතසාර හිමි, අම්පාරේ පඤ්ඤාදස්සි හිමි, කැප්පෙටිපොල සාරානන්ද හිමි, කැප්පෙටිපොල මේධානන්ද හිමි ඇතුළු පැවිදි ශිෂ්‍යපුත්‍රයන් වහන්සේලා ඇතුළු ගිහි ශිෂ්‍ය පිරිසක් ද මහනාහිමියන්ගේ ශිෂ්‍ය පිරිස අතර වෙති.

ස්වකීය ශිෂ්‍ය පුත්‍රාදීන්ගේ දක්ෂතා පිළිබඳ නිරතුරු සතුටු වූ මහ නාහිමිපාණන් වහන්සේ පසුගිය ජනවාරි මස හතරවැනි දින බුරුම රට නිදහස් දිනය දා අප වෙත මහා සද්ධම්මජෝතිකාධජ ගෞරව නාමය පිරිනමන ලද පුවත දැන ඉමහත් සතුටට පත් වූහ. ඉන් පසු පස්වන දා නියමිත පරිදි මාසික වෛද්‍ය ප්‍රතිකාර පිණිස අප සමඟ ම රෝහල වෙත වැඩම කොට යළිත් විහාරස්ථානයට වැඩම කරවා පැමිණ සිටි දායක කාරකාදීන්ගේ අවශ්‍යතා ද ඉටු කරවා දී රාත්‍රියෙහි සයනාසන ගත වූහ. පසු දින පෙරවරුවේ පඤ්ඤාසීල ශිෂ්‍ය හිමියන් උදෑසන උපස්ථාන කටයුතු පිණිස මහනාහිමියන් හමුවට යාමේදී සයනාසනයේ දී ම මහනාහිමියන් කීර්තිශේෂභාවෝපගත වී ඇති බැව් හඳුනා ගත්හ.

අපවත් වී වදාළ අප ගුරු දේවෝත්තම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව පතමු