Print this Article


උතුම් නිවන් මඟ ස්පර්ශ කරන්නෝ

උතුම් නිවන් මඟ ස්පර්ශ කරන්නෝ

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි

මෙහි පළමු කොටස උඳුවප් පුර පසළොස්වක පෝදා (29 දා) පත්‍රයේ පළවිය.

චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස හේතුවන සමාධියක් අවශ්‍යය යැයි

කියන තැනකට සිත යොමු කිරීම අවශ්‍යයයි. එතැන දී එය හඳුන්වන්නේ සෝතාපන්න ස්වභාවයෙන් ආරම්භවන තැන ලෙසයි. එනම්, ආනන්තරික සමාධියයි. වෙනස් නොවන, කෙලෙසුන්ගෙන් පීඩා නොවන බලවත් වූ සමාධිය යන්න එහි අර්ථයයි.

මූලික පියවරේ දී කුසලාරම්මනයන් කෙරෙහි සිත, සිහිය පිහිටුවාගෙන චිත්ත සමථයෙන් යුතු සමාධියෙන් ආරම්භ කළ ගමන සම්‍යක් ප්‍රඥාව ඇති කර ගැනීමට අවස්ථාව සැලසුණා.

තදංග හෝ අර්පණා සමාධි වශයෙන් කාමාදී අරමුණු බලවත් ලෙස යටපත් වීම නිසා ප්‍රීති සුඛ ඒකාග්‍රතා වශයෙන් ආරම්භ වූ ගැඹුරු ධ්‍යාන අවස්ථාව ගැඹුරු සමාධියක් බවට පත් වුණේ විදර්ශනා මාර්ගයට හරවා ගැනීමෙනුයි.

එනම් සතර වෙනි ධ්‍යානයෙන් අනතුරුව ඇති කර ගන්නා වූ අවස්ථාවෙනුයි. විදර්ශනා උපේක්ඛා අවස්ථාවෙනුයි. ඒඅවස්ථාවෙන් සම්‍යක් ප්‍රඥා අවස්ථාව සලසා ගන්න නම්, අප්‍රමාණ සමාධිය, අප්‍රමාණ ප්‍රඥාවක් බවට පත්කර ගැනීම අවශ්‍යයයි.

ඒ අප්‍රමාණ ප්‍රඥාව සම්‍යක් ප්‍රඥාවෙන් දියුණු වන විට ඉතා සියුම් ලෙස ස්කන්ධ පංචකයේ යථා ස්වභාවය නුවණින් දැක ගන්නට උපකාර වෙනවා.

එසේ උපකාරය ලබමින් අතීත, වර්තමාන හෝ අනාගත වශයෙන් හෝ ස්කන්ධ පංචකයෙහි නිත්‍ය වූ ස්ථිර සැප වූ මම හෝ සත්වයෙක්, පුද්ගලයෙක් එහි නැති බව වැටහෙන්නට පටන් ගන්නවා.

මෙය අවබෝධ කර නොගැනීම නිසා භවය සකස්වෙන බවත්, අප්‍රමාණ දුක් විඳීන බවත් අවබෝධ වෙන්නට පටන් ගන්නවා. මේ දුකෙන් නිදහස් වෙන්න එකම මාර්ගය නම්

පටිනිස්සග්ගය බව, සමුච්ඡේදය බව වැටහෙන්නට පටන් ගන්නවා. පටිනිස්සග්ගය නම් අත්හැරීම නම් වූ සිතින් ස්කන්ධ පංචකය මම මගේ කර නො ගැනීමයි. ත්‍රිලක්ෂණයට යටත් කොට දැක ගැනීමයි. සමුච්ඡේද නම් රාගාදී කෙලෙසුන් මුළුමනින් ම ගලවා දැමීම නම් වූ අවස්ථාවයි.

අනුලෝම, ප්‍රතිලෝම නම්වූ අවස්ථාවන්හි දී කුමන ආකාරයකින් ස්කන්ධ පංචකය සිහියට නඟා ගත්තත්, ඒ කිසිදු අවස්ථාවක මම ය මාගේ ය කියන දෘෂ්ඨියෙන් සත්වයෙක් සකස් නොවෙන බව ආත්ම සංඥාවක් සකස් නොවෙන බව අවබෝධවෙන්නට පටන් ගන්නවා.

අප්‍රමාණ සමාධියෙන්, අප්‍රමාණ අරහත් ප්‍රඥාවට පැමිණීම සකස් වුණා. අරහත් භාවයට පත් වූ විට ආනන්තරික සමාධිය මතුවෙන්නට පටන් ගන්නවා.

එයට නිදසුනක් හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහත් උතුමෝ නිරෝධ සමාපත්තියට සම වැඳීම දැක්විය හැකියි. ඒ සමාධිය සකස් වුණේ සම්‍යක් ප්‍රඥාව නිස යි. මේ නිසා සමාධිය සම්‍යක් ප්‍රඥාවටත්, සම්‍යක් ප්‍රඥාව ආනන්තරික සමාධිය හැටියටත් පවත්වා ගැනීමට හේතු වෙනවා. මේ දහම් කතාව ඒ ඒ පුද්ගලයන් අනුව සියුම් ලෙස

ඒ ඒ අවස්ථාව අනුව වෙනස්විය යුතු වෙනවා.

එනම් ඒ ඒ පුද්ගලයාගේ චරිත ස්වභාවය අනුව මානසික ස්වභාවයේ වෙනස්වීම් ඇතිවීම නිසායි.

සම්‍යක් ප්‍රඥාව බලවත් ලෙස ඇති කරගෙන ම ආරම්මන දෙස බලන්නට රාග චරිතයට සිදුවෙනවා.

ඒ වගේ ම මූලික පියවරේ දී පටික්කූල සංඥාව හෝ අසුභ සංඥාව මනා ලෙස පුරුදු කොටගෙන සිත සිහිය පිහිටුවා ගැනීම අවශ්‍ය කරනවා. ශ්‍රද්ධා චරිත තියෙන කෙනෙකුට එක එල්ලේ ම ශ්‍රද්ධාව සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය මාර්ගය සකසා ගන්නට පුළුවන්.

එම නිසා ප්‍රඥාව ඇති කර ගැනීමට හෝ මානසික පරිසරයක් ඒ සිත තුළ සකස් ව තිබෙනවා. ශ්‍රද්ධා චරිත ඇති අයෙකුට බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිතෙන් සම්‍යක් ප්‍රඥාවෙන් මතුකොට දෙන චාග, පටිනිස්සග, මුත්ති , අනාලයෝ යන

නිරෝධ ආර්ය සත්‍යය වටහා ගැනීමේ අවස්ථාව එහි සැලසී තිබෙනවා.

මේ නිසා සමාධිය තුළත්, ප්‍රඥාව තුළත් ශ්‍රාවකයා විසින් අවධියෙන් සිටිය යුතුයි. එනම් මාගේ මේ සමාධිය නිරාමිස ප්‍රීතියෙන් මම දකින්නෙමි. එය කෙලෙසුන්ගෙන් බැහැර වූ සුවයකි. ඉදිරියටත් පවත්වමි.

මහා පුරුෂයන් විසින්, බුද්ධාදී උතුමන් විසින් සේවනය කරන ලද ය. මාගේ මේ සමාධිය චිත්ත ඒකාග්‍රතාවයෙන් යුතුවීම නිසා ස්කන්ධ පංචකයේ ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන තිලකුණු මනා කොට මට වැටහේ. මේ නිසා ස්කන්ධ පංචකයෙහි සතුටු වන්නට හෝ ඒ ගැන ප්‍රාර්ථනා කරන්නට හෝ ඒවායේ සිත ඔසවා තබන්නට හෝ සිත සකස් නොවෙයි.

ඒ වගේ ම මාගේ මේ සමාධියෙන් මම දුර්ලභව ලබාගත් උතුම් මනුෂ්‍ය ජිවිතයෙන් උතුම් ප්‍රයෝජනයක් ලබන්නෙක් වෙමි. ලැබුවෙක් වෙමි. සම්මුතිය තුළ සංස්කාර වස්තූන් නාමයන්ගෙන් යුතුව පරිහරණය කළත් පරමාර්ථ වශයෙන් එහි පවතින්නේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනත්ත ස්වභාවය නම් වූ ලක්ෂණ දැක ගන්නට මම හැකියාව ඇත්තෙක් වෙමි.

ඒ වගේ ම අවබෝධයෙන් යුතුව සමාධිය පවත්වන්නත්, සමාධියෙන් නැඟිට ඉරියව් පවත්වන්නත් මට හැකියාව පවතී. මේ සමාධිය තුළ සම්‍යක් ප්‍රඥාව රැඳී තිබෙන බව පැහැදිලියි. ඒ සම්‍යක් ප්‍රඥාව ඔස්සේ සම්මා සමාධියත්, සම්‍යක් ප්‍රඥාවත් ඔවුනොවුන් ඇසුරු කරගෙන නිවන ස්පර්ශ කරන බව මේ අදහස් පෙළෙන් අපට අවබෝධ කර ගත හැකියි.