Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 30 කොටස: ඉන්දියන් සාම හමුදාව නාගදීපයට

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 30 කොටස:

ඉන්දියන් සාම හමුදාව නාගදීපයට

පදුමකිත්ති හිමියන්ට දුටුගැමුණු රජු දවස සිහි විය. ථෙරපුත්තාභය යුද වැදී රට රැක ගත් අයුරු හා පැවිදි දිවියට පත්වීම ගැන සිහි විය. තමන් වහන්සේ ද මේ කරන්නේ බුදු දහම රැක ගැන්ම වෙනුවෙන් කරනා ආත්ම පරිත්‍යාගයක් බව උන් වහන්සේට සිහි විය.

ත්‍රස්තවාදී ක්‍රියා නිසා නාගදීපයට එල්ල වූ තර්ජන නිසා ඇතැම් දිනවල පදුමකිත්ති හිමියන් රෑ එළිවෙන තුරු ආගිය කතා සිහි කරමින් හමුදාවේ බංකර තුළම තේ කෝපි වළඳමින් ගත කළ දිවිය මෙරට වෙනත් කිසිදු භික්ෂූන් වහන්සේ නමක් විසින් අත්දැක නැතුවාට සැක නැත.

ඇතැම් අවස්ථාවල සෙබළුන්ගේ තුවක්කුවලට පතුරම් පුරවන්නේ පදුමකිත්ති හිමියන් විසිනි. ඒ අවි ආයුධ රට බේරා ගන්නට මිස කිසිවකුගේ දිවි තොර කරන්නට නොවන බව උන් වහන්සේ දන්නා නිසා ය.

තනිව විහාරස්ථානයේ සැතපෙන දිනවල උන් වහන්සේ ජීවිතය ගැන මෙනෙහි කළහ. ‘කවදා හෝ මම නැති වූ දාට නාගදීපයක් බෞද්ධ ජනතාවට අහිමි වනු ඇත. එසේ හෙයින් දිවි දෙවැනි කොට නාගදීපය රැක ගනිමි‘.

එකල සෑම දිනකම මෙන් රාත්‍රියට මෝටාර් ප්‍රහාර එල්ල විය. කිසිදු පොතක් පතක් බලන්නට පදුමකිත්ති හිමියන්ට වේලාවක් නොවීය. බණ දහම් ඉගෙන ගන්නට හැකියාවක් නොවීය. පදුමකිත්ති හිමියන්ගේ සම වයසේ භික්ෂූන් වහන්සේ පිරිවෙන් වැඩම කරති. දහම් කරුණු උගනිති. පොත පත බලති. පදුමකිත්ති හිමියන්ට තිබූ එකම කාර්යය වූයේ නාගදීප පුදබිම රැක ගැන්ම පමණි.

මේ අතර නාවික කඳවුරේ ප්‍රධාන අණ දෙන නිලධාරියා හමුවූ පදුමකිත්ති හිමියෝ වෙඩි තැබීමට තමන් පුහුණු කරන ලෙස ඉල්ලීමක් කළහ. ඔහු එම ඉල්ලීම ඉටු කෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ අවසරය පරිදිය. එසේ කටයුතු කරන්නට පදුමකිත්ති හිමියන් සිතුවේ නාගදීපය ආරක්ෂා කර ගැනීමට මිස වෙනත් අරමුණකින් නොවේ. එසේම ධම්මකිත්ති නා හිමියන්ට පවා නොදැනෙන සේ ය.

ඉතා සාර්ථකව වෙඩි තබන්නට පුරුදු වූ පදුමකිත්ති හිමියන්ට දුර ඇති බෝතලයකට පවා ඉලක්කයට වෙඩි තබන්නට හැකි විය. නාවික හමුදාව සතුව තිබූ සියලුම අවිවලින් වෙඩි තබන්නට උන් වහන්සේ පුරුදු වූහ. ඒ පුහුණුව කෙතරම් ද යත් අවසානයේ ඕනෑම ගිනි අවියක් ගලවා යළි සකස් කරන්නට තරම් උන් වහන්සේට දැනුමක් ලැබුණි. ආධුනික සෙබළුන් තම ගිනි අවිවල දෝෂ ඇති වූ විට පදුමකිත්ති හිමියන්ට ලබා දී ඒවා යථා තත්ත්වයට පත් කර ගන්නා තත්ත්වයක් ඇති විය.

ඒවා යථා තත්ත්වයට පත් කරන විට පදුමකිත්ති හිමියන්ට දුටුගැමුණු රජු දවස සිහි විය. ථෙරපුත්තාභය යුද වැදී රට රැක ගත් අයුරු හා පැවිදි දිවියට පත්වීම ගැන සිහි විය. තමන් වහන්සේ ද මේ කරන්නේ බුදු දහම රැක ගැන්ම වෙනුවෙන් කරනා ආත්ම පරිත්‍යාගයක් බව උන් වහන්සේට සිහි විය.

එකල නාගදීපයට පුවත්පත් පවා ලැබුණේ සති කිහිපයකට පසුව ය. ගුවන් විදුලි යන්ත්‍රයක් පවා තිබුණේ එක් කම්මල්කරුවෙක් ළඟ පමණි. එය ද ක්‍රියාත්මක කෙළේ බයිසිකලයේ ඩයිනමෝව හරහාය. පස්වරු 6.00 ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ඇතැම් දිනවල පමණක් ඇසීමට කටයුතු කරන ලදී. ඒ බයිසිකලයේ ඩයිනමෝවෙන් ගුවන්විදුලි යන්ත්‍රයට වයර් සවි කරමිනි. බයිසිකලය පසුපස රෝදය ඉහළට එසවෙන සේ සිටුවා තබා තම පුතාට පැඩලය කරකවන්නට ඔහු නියම කරයි. ඉතා අකමැත්තෙන් දරුවා එය කරන්නට පටන් ගනී. ඩයිනමෝවෙන් එන විදුලි ධාරාවෙන් ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියා කරන අතර, නිදා වැටෙන දරුවාගේ අතින් පැඩලයේ වේගය අඩුවන විට ගුවන්විදුලි යන්ත්‍රය ‘චොර චොර‘ ශබ්ද නඟන්නට පටන් ගනී. කම්මල්කරු කෑ ගසන විට දරුවා යළිත් පැඩලය කැරකැවීමට පටන් ගනී. ඇතැම් දිනවල කම්කල්කරු ටොක්කක් ඇන්න විටදී හිස අතගාමින් දරුවා පැඩලය කරකවයි.

ඒ අතරේ 1991 වසරේ නොවැම්බ්ර් මාසයේ නාගදීප දූපතට පුන්ගුඩුතිව් සිටි හමුදා නිලධාරියෙක් වන ලුතිනන් අංජන වික්‍රමසේකර නාගදීපයට පැමිණියේය. ඔහු සමඟ මේ ලිපිය ලියන තාරක වික්‍රමසේකර වන මම ද ගියෙමි. ලුතිනන් අංජන වික්‍රමසේකර යනු මාගේ වැඩිමල් බාල සොහොයුරාය. එදින පදුමකිත්ති හිමියන් හා නාගදීපයේ නා හිමියන් හා කතා කර අප ආපසු පැමිණියේ වෙසක් පින්කමට යළිත් නාගදීපයට පැමිණ කුමන හෝ පින්කමක් කරන අටියෙනි.

එහෙත් එය සාර්ථක නොවුණේ එම වසරේ මාර්තු මාසයේ ලුතිනන් අංජන වික්‍රමසේකර අලිමංකඩ දී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සහායට සිටි සෙබළුන් දෙදෙනෙක් සමඟ රට වෙනුවෙන් දිවි පිදූ නිසා ය. එම වසරේ ම අගෝස්තු මාසයේ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් කිහිප දෙනක් කයිට්ස් දූපතේ අරාලි තුඩුවේදී බිම් බෝම්බයකට අසුව මිය ගිය පුවත පවා පදුමකිත්ති හිමියන්ට දැන ගන්නට ලැබුණේ එදින පස්වරු ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙනි.

නාවික හමුදාවෙන් ද විහාරස්ථානයට දානය ලබා දුන් අතර, බොහෝවිට උදෑසන සහ දහවල් දානය ලෙස පරිප්පු හොද්දත් සමඟ බත් වළඳන්නට හිමිවරුන්ට සිදු විය.

ඒ අතර උතුරේ ජනතාව ආහාර නොමැතිකමින් දුක් විඳිනා බවට තමිල්නාඩු මහ ඇමැති එම්.ජී. රාමචන්ද්‍රන් විසින් ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට දැන්වීමෙන් පසුව ඉන්දියාවේ සිට නෞකා මඟින් උතුරට ආහාර ගෙන ඒමට ඉන්දියාව සූදානම් වීම මත දෙරට අතර දේශපාලන අර්බුදයක් ඇති වීම තදින්ම දැනුණේ නාගදීපයට ය. ඒ නාගදීපය දූපතක් ලෙස වෙන්ව තිබීම නිසා ය. ඉන්දියාවේ සිට නෞකාවන් ශ්‍රී ලංකා දේශ සීමාවට පැමිණියහොත් එම නෞකාවන්ට වෙඩි තබන්නට නාවික හමුදාවට අණ ලැබී තිබුණි. ඒ බව සැලවීම නිසා කච්චතිවු දූපත අසලටම පැමිණි නෞකා ආපසු හරවා ගිය බව පසුව දැනගන්නට ලැබීමෙන් සියලු දෙනා සැනසුම් සුසුම් හෙළන ලදී.

එහෙත් පසු දින ඉන්දීය ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් සීමාව උල්ලංඝණය කරමින් උතුරට ගුවනින් ආහාර පාර්සල් හෙළන ලදී. ඒ සම්බන්ධ ව ශ්‍රී ලංකා රජයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර චීනය හා පාකිස්ථානය විසින් ඒ සම්බන්ධ ව ඉන්දියාවට දොස් පවරන ලදී.