සයුරු අහසේ
තෙරක් නොදකින
කුරුල්ලෝ
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
පක්ෂීන් අතර දේශ සීමා සංක්‍රමණය සඳහා යොදාගනු ලබන පක්ෂීහු විශේෂයක් වෙති. උකුසු
වර්ගයට අයත් මෙම පක්ෂීන්ගේ චර්යාවන් අධ්‍යයනය කොට නිෂ්පාදනය කරන ලද විවිධ ගුවන්
යානා හා නෞකා ආදිය පවා දැනට ලෝකයේ පවතී. මෙම පක්ෂීන් බුදු දහමෙහි තීරදර්ශී පක්ෂීන්
(තීරදස්සී සකුණා) ලෙස හඳුන්වා ඇත.
උකුස්සන්, ළිහිණියන්, කවුඩන් වැනි උකුසු කුලකයට අයත් මෙම පක්ෂීන්ට දෘශ්‍ය පරාසය,
පාරජම්බුල කිරණ, රළ පහරේ තීව්‍රතාව සහ සුළඟේ ස්වභාවය අවබෝධ කර ගැනීමේ හැකියාවක්
පවතී.
ඉපැරණි කාලයේ මුහුදු වෙළෙන්දෝ මෙබඳු පක්ෂියකු නැවෙහි රැගෙන ගියහ. මුහුදු වෙළෙන්දන්ට
මොවුන් වඩාත් අවශ්‍ය වූයේ සයුර මැඳ අතරමං වූ කල්හි වෙරළක් සොයා ගැනීම සඳහා ය. මෙම
පක්ෂීන් ළිහිණියන් නමින් ද, දිශා කවුඩන් නමින් ද බෞද්ධ පොත්පත්වල නම්කොට ඇත.
කෙසේ වෙතත් මුහුදු වෙළෙන්දෝ තමන් අතරමං වී ඇති බව දැනගත් කල්හි තමා රැගෙන ආ
ළිහිණියා මුදා හරිති. නිදහස ලත් ළිහිණියා තෙරක් සොයා හැම දිශාවකට ම පියාඹා ගොස්
වෙරළක් ඇතොත් ඒ දෙසට පියඹයි. වෙළෙන්දෝ ද ඒ අනුව යමින් වෙරළකට යති. වෙරළක් නැතොත්
හති වැටුණු ළිහිණියා ආපසු නැවට ම පැමිණේ.
ඇතැම් මිනිසුන් විසින් ගනු ලබන තීන්දු තීරණ නිසා සිදුවන්නේ ද මෙකී මුහුදු ළිහිණියාට
සිදු වූ දේ ය. දීඝ නිකායේ කේවඩ්ඪ සූත්‍රයේ මෙය තේරුම් ගැනීමට උපකාරී වන සිද්ධියක්
වාර්තා වේ.
ඒ අනුව බුදුරදුන් ජීවමාන සමයෙහි පෘථග්ජන ඍද්ධි බල සහිත එක්තරා භික්ෂූන් වහන්සේ නමක්
විසූ හ. දිනක් උන්වහන්සේට පඨවි, ආපෝ, තෙජෝ හා වායෝ යන සතර මහාභූත මුළුමණින් ම
නිරුද්ධ වන්නේ කොහිදී ද යන සිතිවිල්ල ඇතිවුණි. ඉන්පසු සමාධියට සමවැදුණු භික්ෂුව
දේවයානික ඍද්ධියකින් චාතුර්මහාරාජික දෙවිවරුන් වෙත එළඹ පඨවි, ආපෝ, තේජො, වායෝ යන
සතර මහාභූත කොහිදී නිරවශේෂ ලෙස නිරුද්ධ වේ දැයි ප්‍රශ්න කළේ ය. ඔවුහු අපි නො දනිමු.
අපට වඩා වර්ණයෙන් හා ඓශ්චර්යයෙන් උසස් සතර වරම් දෙවිවරුන්ගෙන් අසන ලෙස දැන්වූහ.
එය පිළිගත් භික්ෂුව ඔවුන් වෙත ගොස් තම ගැටලුව ඉදිරිපත් කළේය. ඔවුහු ද පෙර සේ ම අපි
එයට පිළිතුර නො දනිමු. ඔබ ගොස් තව්තිසා දෙවියන්ගේ අසන්නැයි යෝජනා කළහ. භික්ෂුව
තව්තිසා දෙවියන් වෙත ගොස් තම ප්‍රශ්නයට ධර්මානුකූල පිළිතුර දන්නේ දැයි විචාළේ ය.
ඔවුහු ද තමන් ඊට පිළිතුර නොදන්නා බවත් තමන්ට වඩා පැහැපත්කමින් හා යසසින්, සම්පතින්
වැඩි සක්දෙව් රජු වෙත ගොස් එ කරුණ විචාරණ ලෙස දැන්වූහ.
භික්ෂූන් වහන්සේ සක් දෙවිඳු වෙත ගියහ. එහෙත් එහිදී ද උන්වහන්සේට ලැබුණේ පෙර
පිළිතුරම ය. තමන් නො දන්නා විසඳුම යාම නම් දෙවියන්ගෙන් විචාරන ලෙස සක් දෙවිඳු
උපදෙස් දුනි.
කෙසේ වෙතත් ඒ කිසි තැනකින් පිළිතුරක් නො ලැබුණි. එහෙත් උන්වහන්සේ තම උත්සාහය අත් නො
හළහ. ඒ අනුව යාමය, සුයාමය, තුසිතය, සන්තුසිතය, නිර්මාණරතිය, සුනිර්මිතය, පරනිර්මිත
වසවර්තිය යන දිව්‍ය ලෝකයන්හි දෙවිවරුන් වෙත ගොස් ප්‍රශ්න කළහ. වසවර්තී දිව්‍ය රාජයා
උන්වහන්සේට ප්‍රකාශ කළේ අප කිසිවෙක් මෙයට පිළිතුර නො දන්නා බැවින් බ්‍රහ්ම ලෝකයට
ගොස් බ්‍රහ්මකායික දෙවිවරුන්ගෙන් විචාරණ ලෙසයි.
ඉන්පසු එම භික්ෂුව බ්‍රහ්ම ලෝකයට යා හැකි සමාධියකට සමවැදී බ්‍රහ්මකායික දෙවිවරුන්
වෙත ගොස් තමා සතර මහාභූත කවර තැනක දී නිරවශේෂ ව, නිරුද්ධ වේද යන ප්‍රශ්නයට විසඳුමක්
අපේක්ෂාවෙන් පැමිණි බවත්, කවරෙක් හෝ එය දන්නේ නම් පැහැදිලි කර දෙන ලෙසත් ඉල්ලා
සිටියේ ය. තමන්ට ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බව කී බ්‍රහ්මකායික දෙවියෝ මේ
පිළිබඳ නිශ්චිත පිළිතුර දන්නා තැනැත්තා බ්‍රහ්ම ලෝකයෙහි සිටින බවත්, ඔහු නම් මහා
බ්‍රහ්මයා බවත් කීහ. මහා බ්‍රහ්මයා යනු සියල්ල අබිබවා සිටින, කිසිවකු විසින් මැඬලිය
නොහැකි,
නිසැකව ම සියල්ල දන්නා, සර්වඥ, සියල්ල තමා වසඟයෙහි පවත්වන මහ බලගතු කෙනකු බවත්, ඔහු
ලෝකය මැවූ හා ලෝකයෙහි පහළ වූ සහ මතු පහළවන අයගේ පියා වන බවත්, එහෙයින් ම මෙයට
නිශ්චිත පිළිතුර ඔහුගෙන් විමසන ලෙසත් දැන්වූ හ.
ඔවුන්ගේ ප්‍රශස්ත හඳුන්වා දීමෙන් සතුටට පත් භික්ෂුව මහා බ්‍රහ්මයා වෙත එළඹ
බ්‍රහ්මකායික දෙවිවරුන් විසින් මහා බ්‍රහ්මයා පිළිබඳ කරන ලද හැඳීන්වීම ද සිහිපත්
කොට තමා ඒ පිළිබඳ ව කිසිවක් ප්‍රශ්න නොකරන බවත් පඨවි, ආපෝ, තේජො, වායෝ යන සතර
මහාභූත කොහිදී මුළුමණින් ම නිරුද්ධ වේද යන ප්‍රශ්නයට පිළිතුරක් දැනගැනීමේ
අපේක්ෂාවෙන් පැමිණි බවත් කී ය. මෙහිදී අපූරු සිදුවීමක් විය. පුරුෂෝත්තම විලාශයෙන්
පෙනී සිටින මෙකල ඇතැම් පුද්ගලයන් ක්‍රියාකරන ආකාරය සිහි ගන්වන එම සිදුවීම රසාලිප්ත
සාහිත්‍යමය ප්‍රබන්ධයක් වේ.
එනම් තමා පිළිබඳ බ්‍රහ්මකායික දෙවිවරුන් කී දේ සත්‍යයක් බව පිරිස් ඉදිරියේ තෙවරක්ම
කී මහාබ්‍රහ්මයා මඳ වේලාවකින් අසුනෙන් නැගිට්ටේ ය. ඉතා සුහදශීලී ලෙස භික්ෂුවගේ
බාහුවකින් අල්ලා මඳ දුරක් ගොස් තම අනුගාමික බ්‍රහ්මකායික දෙවිවරුන් තමා සියල්ල
දන්නා, සියල්ල තමා වසඟයෙහි පවත්වන, සර්වඥ මහ බලගතු කෙනෙකු ලෙස සලකන බවත් දැන්වීය.
මේ නිසා ඔවුන් ඉදිරියේ කිසිවක් ප්‍රකාශ නොකළ බව කී බ්‍රහ්මයා සත්‍ය වශයෙන් ම තමා ඊට
පිළිතුර නො දන්නා බව ප්‍රකාශ කළේ ය. මෙබඳු ප්‍රශ්නවලට පිළිතුර දන්නේ සර්වඥ වූ
තථාගතයන් වහන්සේ ම පමණක් බව කී මහා බ්‍රහ්මයා ඔබ උන්වහන්සේගෙන් නො අසා පැමිණීමෙන්
කරන ලද්දේ වරදක් බවත්, නැවත ගොස් උන්වහන්සේගෙන් ම මෙයට පිළිතුර දැන ගන්නා ලෙසත්
උපදෙස් දුන්නේ ය.
ඍද්ධිමත් වූ එම භික්ෂුව, හැකිලූ අතක් දිගු කළාක් මෙන් වහා බුදුරදුන් වෙත පැමිණ
ප්‍රශ්නය ඉදිරිපත් කළේ ය. ප්‍රශ්නයට පිළිතුර දීමට පෙර බුදුන් වහන්සේ එම භික්ෂුව
අමතා මෙසේ කීහ.
මහණ, මුහුදු ගමන් යන වෙළෙන්දෝ එතෙර දකිනා කුරුල්ලකු ගෙන නැවෙන් මුහුදු මැදට යති.
ඔවුහු පරතෙරක් නොදැක එතෙර දකිනා කුරුල්ලා මුදති. එවිට ඒ කුරුල්ලා පෙරදිගටත් යන්නේ ම
ය. බටහිර දෙසටත් යන්නේ ම ය. උතුරු දෙසටත් යන්නේ ම ය. දකුණු දෙසට ත් යන්නේ ම ය. උඩු
අතටත් යයි. අනුදිශාවලටත් යයි. ඉදින් හේ හාත්පස එතෙරක් දකියි නම් එසෙයින් ගියේ ම
වෙයි. ඉදින් හේ හාත්පස එතෙරක් නොදකින්නේ නම් නැවත හැරී නැවට ම පැමිණෙයි. ඔබ ද කළේ
එවැන්නකි. මෙසේ වදාළ බුදුන් වහන්සේ ඔහු එම ප්‍රශ්නය ඇසූ ආකාරය පවා වැරදි බවත් එය
විචාළ යුතු ආකාරයත් පෙන්වා දුන් හ.
නිර්වාණය වූ කලි ඇසින් දැකිය නොහැක්කකි. ඊට නිදර්ශනයක් දැක්විය නො හැකි ය. එහෙයින්
එයට අනිදර්ශනය යැයි කියනු ලැබේ. ඉපදීම, නැතිවීම යන අන්ත දෙක නැති බැවින් එය අනන්ත
හෙවත් අන්තයක් රහිත වූවක් වේ. පඨවි, ආපෝ, තේජො, වායෝ යන මෙකී මහාභූත නිවනට පැමිණ
නිරවශේෂ ව නිරුද්ධ වේ. වෙනත් විධියකින් කිවහොත් දිග, කෙටි, කුඩා, මහත්, ඉෂ්ට,
අනිෂ්ට නාම රූප සියල්ල නිවනේ දී මුළුමණින් ම අභාවයට යේ යැයි වදාළහ.
මෙම කතාව වැදගත් වන්නේ බුදු දහම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේ දී අප අතර ඇතැම් අය ද
මෙබඳු ක්‍රියාවන් කරන නිසාවෙනි. සැබැවින් ම බුදු දහම වූකලි පෙරදිග ලෝකයේ වර්ෂ දහස්
ගණනක් පරීක්ෂණ, නිරීක්ෂණ මඟින් තහවුරු වීමෙන් සොයා ගන්නා ලද අග්‍රගණ්‍ය ඥාන
සම්භාරයක ප්‍රතිඵලයකි. එය තාක්ෂණික මෙවලම් විසින් දියුණු බටහිර ලෝකය විසින් ද
පිළිගන්නා ලද දහමකි. දෙවියන් සහිත ලෝකයෙහි බුදුරජාණන් වහන්සේ සොයාගත් දහමට අභියෝග
කිරීමට කෙනෙකු හෝ එය අබිබවා යාමට සමත් කෙනෙකු හෝ විශ්වයේ නැත. ශ්‍රී ලංකාවේ අප
උපතින් ම මෙම ඥාන සම්භාරයට උරුමකම් ලද නමුත් ඇතැම්හු සත්‍යය සොයා මෙම දහම විවේචනය
කරන අවස්ථා ද, වෙනත් මිසදිටු දහම් වැළඳ ගන්නා අවස්ථා ද අප දැක ඇත.
එහෙත් අල්පශ්‍රැත ඔවුහු අවසානයේ සත්‍යය නොදැක ම දුකට පැමිණෙති. මරණ මංචකයේ සිට
බුදුන් වදාළ ධර්මයේ සත්‍යය ගැන සිහි කරති. මුහුදු වෙළෙන්දන් සමඟ ගොස් තෙර නොදැක
ආපසු පැමිණි ළිහිණියෝ මෙන් ආපසු සැබෑ සත්‍යය සොයා පැමිණෙති. සංසාර සාගරයේ වෙරළ යනු
නිර්වාණයයි. අප පරිහරණය කරන ශරීරයත්, ගනුදෙනු කරන භෞතික ද්‍රව්‍යයනුත් පඨවි, ආපෝ,
තෙජො, වායෝ යන මහාභූතයන්ගෙන් සැකසී ඇත. ඒවාට භූත යැයි කියන්නේ භුතයන් මෙන් වෙනස් වන
නිසා ය. කවදා හෝ මේවායේ සත්‍යය දැන ගැනීමට හැකි වන්නේත් ඒවායේ පැවැත්ම නැති කළ
හැක්කේත් නිවන පසක් කිරීමෙන් පමණකි. |