යථාර්ථය නොදැකීම අවැඩට හේතු වෙන හැටි
අස්ගිරි මහාවිහාරයෙහි උපාධ්‍යාය,
කාරක සංඝසභික
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
විපල්ලාස වූ මනසකින් යුක්ත ව ක්‍රියා කිරීම. මොකක් ද මේ විපල්ලාස කියලා කියන්නෙ?
විපර්යාසය යන්න යි. එනම්, තිබෙන තත්වය නො දැක වෙනස් තත්වයක් ආරෝපණය කරගෙන යමක් දෙස
බැලීමට හුරු පුරුදු විම යි.
යථාර්ථය නො දැකිම කියා කීවොත් වඩාත් නිවැරදි වෙනවා. ජාති, ආගම්, කුල, දේශපාලන පක්ෂ
වශයෙන් මේ විපල්ලාසය අප කාට ත් ඇති වෙන්නට පුළුවන්. මේ විපල්ලාසය වඩාත් පැහැදිලි ව
අපේ රටේ දකින්නට හැකි අවස්ථාවක් තමා විවිධ මට්ටමේ ඡන්ද ව්‍යාපාර කාලයන්. ඒ කාලයට මේ
යථාර්ථය නො දැක බොහෝ දෙනෙක් ක්‍රියා කරන්නේ විපල්ලාස වූ මනසකින් කියා කීවොත් වඩාත්
නිවැරදි යි කියල යි සිතෙන්නේ.
මෙයට හේතු වන්නේ අපට ලබා දෙන පොරොන්දු, ඒ වෙලාවට මිහිරක් දැනෙන කථා, දේශන වැනි
සාමාන්‍ය කරුණු පාදක කර ගෙන යි.
මේ විපර්යාසය ක්‍රියාත්මක වන පැතිකඩ කීපයක් බුදුරජාණන් වහන්සේ ”විපල්ලාස” නම්
සූත්‍රයෙන් දේශනා කර තිබෙනවා.
මෙහි දී බුදුරජාණන් වහන්සේ මෙම විපල්ලාස හෙවත් විපර්යාසය මාධ්‍ය තුනක් ඔස්සේ ගමන්
කර බව පෙන්වා දී තිබෙනවා. එයින් එකක් වන්නේ "සඤ්ඤා විපල්ලාසය" යි. දෙවැන්න
”චිත්තවිපල්ලාසය” යි. තුන්වැන්න ”දිට්ඨි විපල්ලාසය” යි.
කුමන කරුණු පදනම් කරගෙන ද මේ විපල්ලාසය හෙවත් විපර්යාසය ඇති වන්නේ මෙය හතර
ආකාරයකින් සිදු වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එහි දී එක කරුණක් තමා සඤ්ඤාව
තුළින් ඇති වන්නා වූ වෙනස හෙවත් විපර්යාසය. මොකක් ද මේ සඤ්ඤාව කියලා කියන්නේ? ඒ
ප්‍රශ්නය දැන් මතු වෙනවා. සඤ්ඤාව කියලා කියන්නේ අරමුණුයි. අප දිවා රාත්‍රී දෙකේ දීම
අවදි ව සිටින හැම විටක ම කරන එක දෙයක් තමා අරමුණු ගැනීම. මේ අරමුණු ගන්නට අප යොදා
ගන්නා මාධ්‍යය වන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය හා මන කියන මේ ඉන්ද්‍රිය හය යි.
ඉතින් මේ ඉන්ද්‍රියයන් මඟින් ලබා ගන්නා අරමුණු හා එකට බැඳෙන දෙයක් තමා යම් වස්තුවක
හෝ පුද්ගලයකුගේ, සතකුගේ හැඩය, වර්ණ, ශබ්දය, පාට වැනි විශේෂතා. ඉතින් මේ විදිහට අපි
අරමුණු ගන්නවා. මේ තරුණයෙක්, තරුණියක්, පොතක්, රුපියල් දාහක්, ආදි වශයෙන්. ඉතින් ඒ
වෙන් කර හැඳින ගන්නේ ඒ ඒ දේ ට ආවෙණික වූ යම් ගුණයක් ලක්ෂණයක් අනුව යි.
සිතෙන් යම් අරමුණක් ගන්නවා නම්, ඒ සමඟ ම අරමුණු කර ගන්නා දේ පිළිබඳ ලක්ෂණයන් ද හිතට
නො වරදවා ම දැනෙනවා. එසේ නොමැතිව අරමුණ හෙවත් සඤ්ඤාවක් ගැනීමක් සිදු වන්නේ නැහැ.
හැබැයි මේ අරමුණ හෙවත් සඤ්ඤාව හැමදා ම එකම ආකාරයෙන් බලපවත්වන්නේ නැහැ. ඒ සඤ්ඤාව
කලින් කල වෙනස් වේ.
නිදසුනක් වශයෙන් ගත්තොත් අද අප දැන හඳූනා ගන්න අපේ ආදරය දිනා ගත් අයකු දකින විටක දි
ඒ අය දකින හැම මොහොතක ම ඇති වන්නේ ප්‍රිය මනාප අරමුණක් ගත්තා කියන හැඳීනිම යි. එහෙම
වුණත් ඒ අය සමඟ ම තවත් විටෙක විරුද්ධවාදී අදහසක් ඇති වුණා නම් ඒ අය දකින හැම විට ම
වෛර සහගත අරමුණක් තමයි තමන්ට දැනෙන්නේ.
ඉතින් දැන් මේ අරමුණ දෙයාකාරයකින් පෙනෙනවා. එකම පුද්ගලයා ආදරණීය අයෙකු විදියට ඇහෙන්
දකින විට සොම්නස් අරමුණක් වෙනවා වගේම ඒ පුද්ගලයා ම ඔහු විරුද්ධ වාදියෙකු ලෙස දකින
විට දොම්නස් අරමුණු ගත් බවක් දැනෙනවා. මේ විපර්යාසය සිදු වුණේ තෘෂ්ණාව, එහෙම
නැත්නම් ද්වේෂය නිස යි.
ඊ ළඟට දිට්ඨි විපල්ලාසය අරගෙන බලමු. දිට්ඨිය යන මේ වචනයේ මූලික අදහස නම් දැක්ම යි.
පෙනීම යි. තවත් විදියකින් කීවොත් පෙනීමේ ස්වභාවය යි. මෙය ධර්මානුකූල ව විස්තර කරන
කොට සම්මා දිට්ඨි හා මිච්ඡා දිට්ඨි වශයෙන් දෙයාකාර වෙනවා. දිට්ඨිය විපල්ලාසයක්
වන්නේ එය අකුසල වශයෙන් වැරදි ලෙස දැකිමයි. මෙය තමා පුහුදුන් අය තුළ නිරන්තරයෙන්
සිදු වන්නේ.
කාලයක් තුළ දිගින් දිගට ම අප යමක් නිවැරැදි දේ යැයි දැක්මක් ඇති කර ගෙන ක්‍රියා
කරනවා. සැබවින් ම ඒ බොහෝ දේ අපට හුරුවීම තුළ හරි දැක්ම හෙවත් සම්මා දිට්ඨිය ලෙස
තේරුම් ගන්නවා. එය නිවැරැදි ව දකින අය හිතෙනවා මිච්ඡා දිට්ඨියෙන් ක්‍රියා කරනවා
කියලා.
දැන් දැන් විවිධ බුදුවරු පහළ වෙළා, ආර්යයන් වහන්සේලා පහළ වෙලා කියලා හිතන ඒ අය
වෙනුවෙන් මහත් සේ රොද බැ¼දී ක්‍රියා කරන අය සමාජයේ අපි දකිනවා. ඉතින් ඒ උදවියට
හිතෙන්නේ සැබෑ ධර්මානුචාරී ව ක්‍රියා කරන අය මිච්ඡාදිිට්ඨියෙන් ක්‍රියා කරන අය
විදිහට යි. මෙයට කියන්නේ දිට්ඨි විපල්ලාසය කියල යි.
චිත්තවිපල්ලාස කියන්නේ කුමක් ද? එක්වර ම කියන්නට පුළුවන් සිතේ ඇති වන විපර්යාසය
කියලා. මේ සිත ක්‍රියාත්මක වනවිට මූලික වශයෙන් ම කොටස් වශයෙන් දෙකකට බෙදෙනවා. කුසල්
සිත හා අකුසල සිත කියලා. ඉතින් සිත ක්‍රියාත්මක වන හැම මොහොතක ම එයට සිතිවිල්ලක්
සම්බන්ධ වෙනවා. එසේ නැති ව සිතක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ සිතිවිලි අකුසල වන
අවස්ථා වගේ ම කුසල වන අවස්ථා තිබෙනවා.
සිත දවන, තවන, විසුරුවන ස්වභාව ඇත්තේ නම් ඒක අකුසල හෙවත් දොම්නස් සහගත යි. පාපකාරි
සිතිවිල්ලක්. සිත පිනවන. සන්සුන් කරන ස්වභාව ඇත්තේ නම් එය කුසල සිතිවිල්ලක් කියා
අපි කියනවා. එවිට සිත සෞම්‍ය ගතියකින් දැනෙනවා. දැන් ගත්තොත් ද්වේෂය කියන මේ
සිතිවිල්ල සිතට ආවොත් මොකද? වන්නේ. මුහුණු රතුවෙනවා. කැඩපතක් ළඟට ගිහින් බැලුවොත්
තමන්ට පේනවා තමන්ගේ මුහුණේ තිබෙන රළු පෙනුම. තවත් අවස්ථාවක යම් තරුණයෙක් කිසියම්
තරුණියක් සම්බන්ධයෙන් රාගී සිතක් ඇති කර ගත්තොත් ඊට පස්සේ තමනගේ සිතට එය බලවත්
මනසිකාරයක් බවට පත් වෙලා දිවා රාත්‍රී නිරන්තරයෙන් සිහියට එනවා. ඒ අවස්ථාවේ දී මේ
චිත්ත සන්තානයේ දැවිමක්. තැවිමක් රළුබවක් ඇති වෙනවා. ඒ සිතේ ඇති වන නො සන්සුන් ගතිය
යි.
මේ අවස්ථාවේ දී ද්වේෂ සහගත සිතිවිලි ත් එනවා. ඒ තරුණිය දිහා තවත් අයෙක් බැලුවොත් ඒ
බලන පුද්ගලයා කැත වුවත් හිතේ ඇති වන්නේ ද්වේෂයක්. ඉතින් මේ හැම දෙයකින් ම සිත
දූෂ්‍ය බවට පත් වෙනවා. එතකොට හිත රළු වෙනවා. එය මුළු ශරීරයෙන් ම ත් ප්‍රකට වෙනවා.
ඒ වගේ ම තමා සිතේ සන්සුන් බවක්, තැන්පත් බවක්, ප්‍රසන්න බවක් ඇති වෙන කොට. නිදසුනක්
වශයෙන් යම් කෙනෙක් හිත පහන් කරගෙන පින් සිතිවිල්ලක් ඇති කර ගෙන දානයක් දෙනවා. දුගී
මගී උදවියට පිළිසරණක් වෙනවා. එතකොට ත් ඔහුගේ සිතේ දැවෙන තැවෙන ගතියක් නොවේ ඇති
වන්නේ. සන්සුන් ගතියක්. තැන්පත් ගතියක්. තවදුරත් මේ කරුණ විකාශය කරලා බලමු.
දුන් දානය හරි කෙනෙකුට පහන් සිතින් කළ පරිත්‍යාගයක්. මුල දී නිර්ලෝභී ව සිතලා ඒ
පරිත්‍යාගය කළාට පසුව ඒ කළ පරිත්‍යාගය ගැන ලෝභ සිතක් ඇති වෙනවා. ඉතින් මොක ද වන්නේ.
ඒ ත් දැවෙන හා තැවෙන ගතියක්. සිතේ ආයුෂය සිතාගන්නට බැරි තරම් අඩු යි. ඇසි පිය ගසන
කාලනෙුත් කෝටියෙන් පංගුවක් වැනි ප්‍රමාණ කාලයක් බව යි කිය වෙන්නේ.
එසේ නම් සිතේ මේ අස්ථිර බව ත් එයින් ම වඩාත් ප්‍රකට වෛනවා. මේ කියන සිත ඒ පමණට ම
විපර්යාස වෙනවා. වෙනසකට පත් වෙනවා. ඒ තත්වය පුදුම විය යුතු කරුණක් නො වන්නේ සිත
එපමණට ම අඩු ආයුෂයෙන් ද යුක්ත වන නිසා, වෙනස් වන නිසා ය.
මේ තත්වයට අදාළ එක හේතවක් තමා අප විසින් අනිත්‍යය කියා සිතිය යුතු, තේරුම් ගත යුතු
තත්වයන් නිත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් සිතා ක්‍රියා කිරීම. දෙවැන්න වන්නේ දුක් සහිත
යැයි තේරුම් ගත යුතු දේ සැපයකැයි සිතා ක්‍රියා කිරීම. තෙවැන්න වන්නේ අනාත්ම යැයි
සිතා ක්‍රියා කළ යුතු දේ ආත්මය යි, සදාකාලික ය යි සිතා ක්‍රියා කිරිම හා සිව්වැන්න
වන්නේ අසුභ යැයි සිතා ක්‍රියා කළ යුතු දේ පිළිබඳ සුභ යැයි කියා ක්‍රියා කිරීමයි.
මේ විදියට බලන කොට පේනවා හැම විට ම ඇත්තට පිටු පාලා තියෙන දේ විකෘති කරලා අප
සිතන්නට පුරුදු වී තිබෙන්නේ, රාග ද්වේෂ මෝහ යන අකුසල සිත් වලට වහල් වීම නිසා බව. මේ
නිසා යමක් දෙස බැලිය යුතු, විමසිය යුතු තත්වය වෙනස් කොට, ඒ ඒ අයගේ සිතේ පවතින
රාගාදි කෙලෙස් සිතිවිලිවලට වහල් වෙලා, සිත විපල්ලාස බවට පත් කර, හැම විට ම නිත්‍ය,
සුඛ, ආත්ම හා සුභ වශයෙන් දැකීම, සිතීම හා ඒ අනුව ක්‍රියා කිරීම නිසා අප
ඉන්ද්‍රියයන් මගින් ගන්නා අරමුණු, සිතිවිලි හා දැක්ම යථාර්ථයෙන් තොර බවට පත් වෙලා.
ඒ පිළිබඳ මවා ගත් තත්වයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. මෙය හැම විට ම ලෞකික හා ලොකෝත්තර
ව දෙයාකාරයෙන් ම අහිත පිණිස, අවැඩ පිණිස පවතිනවා. |