Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 17: ගැමුණු කුමරුගෙන් පිය රජුට කාන්තා අභරණ

දුටුගැමුණු මහ රජතුමා - 17:

ගැමුණු කුමරුගෙන් පිය රජුට කාන්තා අභරණ

රජමාලිගයට පැමිණි කාවන්තිස්ස රජතුමා තමා හමුවීමට කිසිවකුට අවසර නොදෙන ලෙස දන්වා තිබිණි. සියලු සම්මන්ත්‍රණ සාකච්ඡා නැවත දැනුම් දෙන තුරු කල් දමන බව සෙනෙවිවරුන්ට දැනුම් දෙන ලෙස අණ කර තිබිණි.

"යුද්ධයට දින නියම කරන තුරුයි දුටුගැමුණු කුමාරයා නොඉවසිල්ලෙන් බලා සිටියේ. නමුත් ඒ පිළිබඳව ස්ථිර තීරණයකට නොපැමිණි නිසා කුමාරයා කේන්තියෙන් පසුවන්නේ. මේ නිසා යුධ සේනාංක තුළ ද පොදු මහජනයා තුළ ද ඇතිවන උදාසීනත්වය හානිදායක බව පැවසිය යුතුයි”.

වේළුසුමන ගේ කතාව පිළිබඳ විහාරමහා දේවියගේ සිත තුළ ප්‍රසාදය ඇතිවිය. එහෙත් එය රජතුමාගේ සතුට පිණිස නොවූ බව මුහුණ දෙස බැලු විට පැහැදිලි විය. ඒ බව අවබෝධ කරගත් නන්දිමිත්‍ර සභාව ඇමතීය.

“යුද්ධය ආරම්භ කිරීම තව බොහෝ කාලයකට ප්‍රමාද කිරීමට රජතුමා කිසිසේත් කැමති නැහැ. නමුත් එළාර රජුගේ සේනා සංවිධානය, ඊට සමගාමිව අපේ සම්පත් ප්‍රමාණවත් ද යන්න හොඳීන් සිතා බැලිය යුතු බවයි.” රජතුමාගේ අදහස වුණේ. එතුමා පෙන්වා දුන් ආකාරයට යුද සංවිධානයේ පවතින යම් යම් අඩුපාඩු සාකච්ඡා කිරීම සඳහා ළඟදීම යුද සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා. එදින යුද්ධය ආරම්භ කරන දිනය ද දැනුම් දෙනවා.” කවුරුත් දෑස් දල්වා බලා සිටියේ ගැමුණු කුමාරයා දැන් දැන් සභා ගැබට පැමිණෙතියි කියාය. මව්බිසවේ ඉල්ලීමක් කිසිදා පැහැර නොහරින බව වේළුසුමන දැන සිටියේ ය. ගැමුණු කුමාරයා සොයා ගිය මහනෙල යෝධයා පැමිණියේ ය. නමුත් ගැමුණු කුමරු පැමිණියේ නැත.

“විහාර මහා දේවියනි, ගැමුණු කුමරු යුද පුහුණු කඳවුරේ සිටියේ නැහැ . ඒ නිසා පණිවිඩය දීමට නොහැකි විය. “ මහනෙල ගේ ප්‍රකාශය විය.

මහනෙල සෙනෙවියා දෙස මුළු සභාවම බලා සිටියේ ඔහු ගැමුණු කුමරු ගේ කිසියම් පණිවිඩයක් ගෙන ආවේදැයි දැන ගැනීමේ අදහසිනි. ඔහු පිටුපසින් සිටියේ යුද කඳවුරේ දූත සෙබලෙක්. සෙබලා රජතුමා ඉදිරියට පැමිණ තල්පතක් භාර දුන්නේ ය. ඉන්පසුව ඔහු යම්කිසි දෙයකින් පිරවූ මල්ලක් රජතුමා ඉදිරියේ ඵලකය මත තබා වැඳ සභාවෙන් පිටතට ගියේ ය. මුළු සභාවම නිශ්ශබ්දව පුදුමයෙන් බලා සිටියහ. විහාරමහා දේවියට සැකයක් ඇතිවිය. මහා සංඝරත්නය රජතුමා දෙස නෙත් යොමා බලා සිටියහ.

රජතුමා තල්පත කියවීය. රජතුමාගේ මුහුණෙහි වෙනස දුටු විහාරමහා දේවිය බියට පත් වුවා ය. කෝපයෙන් වෙව්ලමින් සභාව දෙස බැලු රජතුමා කෝපයෙන් පසුවන බව දීඝාභය , තිස්ස කුමාරවරුන්ට අවබෝධ විය. විහාරමහා දේවිය දෙස අප්‍රසාදයෙන් බැලු රජතුමා වහා අසුනෙන් නැගී සිටියේ ය. “වහා ගැමුණු අල්ලා සිරගත කරනු. ඔහුට පැන යාමට කිසිසේත් ඉඩ නොදෙනු”. කෝපයෙන් කෑගසා කී රජතුමා අතේ වූ තල්පත විසිකර සභා ගැබෙන් පිටව ගියේ ය.

මුළු සභාවම නිශ්ශබ්දව බලා සිටී. විහාරමහා දේවිය හුනස්නෙන් නැඟිට තල්පත අතට ගෙන කියවුවා ය. මහත් බියෙන් යුතුව තල්පත මාහිමිපාණන් අත තැබීය. එය කියවූ උන්වහන්සේ ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ අත තල්පත තබා මෙය සභාවට කියවිය යුතුද ? නැද්ද ? කියා උපදෙස් පැතීය. “කියවන්න , නැතිනම් සත්‍යය ඉක්මවා අසත්‍යය පැතිරෙන්නට පුළුවන් . ඒ නිසා කියවීමෙන් යහපතක්ම වේවි “

මාහිමිපාණන් තල්පත කියවුවේය. “මගේ පියා පිරිමියකු නම් මා මේ සටනට යන ගමන නවත්වන්නේ නැහැ. ගැහැනියක් නිසා නොවේද මා හට සටනට යාමට නොදෙන්නේ. ඒ නිසා අද පටන් මගේ පියා පිරිමි ආභරණ නොපළ¼දින්නේ ය. කාන්තා පළඳනා පළ¼දින්නේ ය. මාහිමිපාණන් තල්පත කියවූ ආකාරයෙන් කවුරුත් බියට පත්වුහ. අනතුරුව රෙදි මල්ල ගෙන පරික්ෂා කළේ ය. එහි වුයේ තල්පතෙහි සඳහන් කරන ලද කාන්තා පළඳනාය. සැවොම පුදුමයෙන් බලා සිටියහ. තිස්ස කුමරුත්, දිඝාභය කුමරුත් ඔවුනොවුන්ගේ මුහුණ දෙස බලා කෝපයෙන් සභා ගැබෙන් පිටව ගියෝ ය.

“කුමාරවරුනි, මඳක් නවතින්න. කෝපවීමට හෝ වේදනාවට පත්වීමට කරුණක් සිදුවී නැහැ. මේ සිදුවීම සුළු කොට සලකා මෙතැනින්ම අමතක කරන්න හැකි නම් එය වඩා යහපත්. “ යනුවෙන් පවසමින් ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ සභාවේ සියලු දෙනා මොහොතකට රඳවා ගත්හ.

මේ රට එක්සේසත් කිරීමේ, රට ජාතිය ආගම බේරාගැනීමේ සටන ආරම්භ කරන්නට ඕනේ. එහි පළමු පියවර ලෙස රජරට බේරා ගැනීමේ ගමන ආරම්භ කළ යුතුයි. එහි පෙරමුණ ගත යුත්තේ මහා සංඝරත්නයයි. මහරහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා පෙරමුණෙන් ගමන් කරමින් ජනතාවගේ සිත් ආගමික සටනට යොමු කරමු.” උන්වහන්සේගේ ගැඹුරු හඬ සැවොම අසා සිටියහ. මුළු සභා ගර්භයම නිශ්ශබ්ද විය.

කාවන්තිස්ස රජතුමා යුද්ධයේ බරපතළකම හොඳීන් තේරුම්ගෙන තිබුණා. කුඩා කාලයේ ගෝඨාභය පිය රජතුමාගේ යුද කටයුතු නිසා සිත තුළ යම් කළකිරීමක් හටගෙන තිබුණා. එහෙත් යුද්ධයට භයක් තිබුණේ නැහැ. ප්‍රමාදය සිදු වුණේ මේ කළකිරීම නිසයි.

“දැන් කම්පාවීමෙන් , වාද විවාද කරගැනීමෙන් පලක් නැහැ. මෙය ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතු අවස්ථාවක්. දුරදිග බලා තීරණ ගත යුතු අවස්ථාවක්. මේ ජාතික, ආගමික සටනින් ගැමුණු කුමාරයා ජයගන්නවා ඒකාන්තයි. අපේ උරුමය අපට ලබාදෙනවා. මේ රට එක්සේසත් කර එතුමා මේ රටේ මහරජු ලෙස අභිෂේක ලබාවි. එය ස්ථිරයි.”

“එහෙත් අද මතු වූ මෙම ගැටලු සහගත තත්ත්වය නිසා යුද්ධය තව බොහෝ කාලයක් ප්‍රමාද වේවි. මේ ප්‍රමාදය ජයග්‍රහණයට හරවා ගත යුතුයි. අවදානම් තත්ත්වයට මුහුණ දෙමින් ඒ සඳහා හොඳීන් සුදානම් වූ විට ජයග්‍රහණය නියතයි. “

“මේ අවස්ථාවේ දී මට පෙනෙන ඇත්ත තත්ත්වයයි මා ඔබට පැවසුවේ. පිය පුතු දෙදෙනා අතර භේද භින්න වීමක් සිදු නොවීමට කටයුතු සැලැස්වීම අප සැමගේ වගකීමයි. කුමාරයා ගැන අප මීට වඩා සැලකිලිමත් විය යුතුයි. ඔහු සිරගත කිරීමට ආරක්ෂක භටයන්ට හසුවන එකක් නැහැ. ගැමුණු කුමාරයා පිය රජතුමාට විරුද්ධත්වය පලකළ ආකාරය කිසිසේත් සුදුසු නැහැ. පියරජතුමාට ද්‍රෝහිවීම අනුමත කළ නොහැකියි. කාවන්තිස්ස රජතුමා ගේ දුරදර්ශි ඤාණය , යුධ සැලැසුම් අවතක්සේරු කළ නොහැකියි. නමුත් අපි කුමාරයාට දඬුවම් කිරීමට ඉඩ නොතැබිය යුතුයි. අපි කවුරුත් ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කිරීමට අවශ්‍යයි. කුමාරයා රැක ගනිමින් ඔහුට නිදහසේ ඉන්නට ඉඩහරින්නට ඕනේ. “ දීඝාභය කුමාරයාත්, තිස්ස කුමාරයාත් උදාවී ඇති තත්වය පිළිබඳ කනගාටුවට පත් නොවී ඉදිරි කටයුතු ගැන මනා සිහිකල්පනාවෙන් කටයුතු කළ යුතු බවත් පැවසුහ.

බොහෝ ශාන්ත ලෙස මේ කරුණු වදාළ ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ පසෙකින් සිටි මාහිමිපාණන් වහන්සේ සමඟ යන්නට සුදානම් වුහ. සියලු දෙනාම උන්වහන්සේලාට වැඳ නමස්කාර කළහ. විහාරමහා දේවිය වටා එක්රැස්වුණු සභාවේ සියලු දෙනාම උදාවී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළහ. මේ අතර රජමාලිගයට පැමිණි කාවන්තිස්ස රජතුමා තමා හමුවීමට කිසිවකුට අවසර නොදෙන ලෙස දන්වා තිබිණි. සියලු සම්මන්ත්‍රණ සාකච්ඡා නැවත දැනුම් දෙන තුරු කල් දමන බව සෙනෙවිවරුන්ට දැනුම් දෙන ලෙස අණ කර තිබිණි. රාජමාලිගය තුළ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ වේළුසුමන මහසෙනෙවි පැමිණ විහාරමහා දේවිය දැනුවත් කළේ ය. “දැන් කවුරුත් මෙතනින් පිටත්ව යන්න. මහරජතුමා ගේ කෝපය නිවෙනතුරු අපි ඉවසා සිටිමු. හමුදා සේනාංක සන්සුන්ව තබා ගන්න. යුද්ධයේ කිසිම ප්‍රමාදයක් නැහැ. අපේ ඉලක්ක සපුරා ගන්නට නම් සංවිධාන කටයුතු අප්‍රමාදව ඉටුකළ යුතු බව ප්‍රකාශ කරන්න. සෙනෙවිවරු, අලුත් තොරතුරු හෙට උදැසනම මට වාර්තා කරන්න. තිස්ස කුමාරයාත්, දීඝාභය කුමාරයාත්, විහාර මහා දෙවියත් පමණක් සිටියදී අනිකුත් සියලු දෙන සභා ශාලාවෙන් පිටව ගියහ.