ඒ මව් රකිනු මැන පුතුනේ
![](z_p27-E-maw.jpg)
කැලැයෙහි හැදෙන හැම තුරුලිය
සඳුන් නොවේ
වනයේ වෙසෙන හැම අලි රැළ
ඇතුන් නොවේ
පොළොවෙහි තිබෙන හැම
කළුගල් මැණික් නොවේ
මේ ලොවැ වසන හැම ලියකම
මවක් නොවේ
සඳුන් වටී චන්දන සොයනා වුන්ට
ඇතුන් වටී ගජමුතු සොයනා වුන්ට
මැණික් වටී අන්දයෝ නොවනා වුන්ට
මවක් වටී මව් ගුණ දැනෙනා වුන්ට
දරුවන් නැති ළඳ තුළත් අම්මා
කෙනෙක් ඇත
ඒ මව් නොලද දරුවන් ගැන
තැවෙනු ඇත
දරුවන් ඇති මවුන් විඳිනා
දුක සතත
හමුවේ සමයි දෙදෙනා දරු
දුක විඳින
දරුවන් වැදූ පමණින් ලොවැ
මවක් නොවේ
නොවැදූ පුතුන් හදනා ලද
මවක් මැ වේ
එවන් මව්වරු ද බුදු බව
ලබති භවේ
ඒ මව් රකිනු මැන පුතුනේ
ඔබ ද නිවේ
තලල්ලේ චන්දකිත්ති හිමි |