Print this Article


සසුන්කෙත සරුකරන රූමස්සල නා හිමි

සසුන්කෙත සරුකරන රූමස්සල නා හිමි

උපතින් අසූවියද පැවිදිවීමෙන් හැටපස් විය ද, උපසම්පදාවෙන් හැට විය ද, සපුරන රූමස්සල නා හිමි හෙවත් තල් අරඹේ සිරි සුදස්සි නා හිමිපාණන් වහන්සේගේ පැවිදි දිවිය ආරම්භ වන්නේ ආරණ්‍ය සේනාසනයෙනි.

උන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යාය ධර්මාචාර්ය හා ආශ්‍රයට ලැබුණු මහතෙරුන් වහන්සේලා සැබවින් ම ගුණගරුක ශීල සම්පන්න ධර්මචාරී දැන උගත් කල්‍යාණ මිත්‍රයෝ ය. ඒ උතුමන් අතර උපාධ්‍යාය වූ, මාතර කිරින්ද පුවක්ගහහඩිත්ත බටුවිට දෙල්දූව බෙලිඅත්ත සිරිසුනන්දාරාම පානදුර වල්පොල ශ්‍රී සද්ධර්මෝදය ආදී සේනාසන විහාරස්ථානවල ප්‍රධාන අනුශාසක වූ ධුතාංගධාරී කැකුණේවෙල ඉන්දගුප්ත මා හිමි, ආචාර්ය වූ කොග්ගල තලාතුඩුව සේනාසනාධිපති දොරපේ ඉන්දෝහාස මා හිමි, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමය සමුප්පාදක කඩවැද්දුවේ ජිනවංස මා හිමි, දංගෙදර පුෂ්පාරාමාධිපති අභිධම්මික මහෝපාධ්‍ය මලිගස්පේ රතනරංසි මා හිමි, අහංගම විජය ශ්‍රී මංගලාරාමාධිපති පණ්ඩිතාචාර්ය පොල්හේනේ සෝමවංස මා හිමි, තලාතුඩුව සේනාසන ආරම්භක කැපකරු බ්‍රහ්මචාරී දූවමලලගම ඤාණසිරි දසසිල් උපාසකතුමා ආදී පැවිදි ගිහි උතුමෝ වෙති.

දානසීල භාවනා පුණ්‍ය කටයුතුවල නිතර නියැලුනු සිය මව්තුමිය තුදුස් හැවිරිදි සිය දයාසේන දරුවා 1954 දී තලාතුඩුව සෙනසුනට බාරදුන් අතර, 1955 දී සසුන් ගත කෙරිණි.

බුදුමඟ ගිය තල්අරඹේ සිරි සුදස්සි මා හිමියෝ ගාල්ල විජයානන්ද පිරිවෙන අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙන මගින් ඉගෙනුම ලබා මුලින් ම ආචාර්ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස භාරත හිමියන්ගේ මඟ පෙන්වීමෙන් දඹදිව සාංචියේ ධර්මදූත පුහුණුවෙන් පසුව ධර්ම ප්‍රචාර කටයුතුවල නියැලුනහ. අනතුරුව 1966 දී ලක්දිවට වැඩමකොට මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුල්ව විද්‍යෝදය විශ්වවිද්‍යාලය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලවලින් ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති උපාධිලාභී වූහ. උණවටුන රූමස්සල කන්දේ සමුද්‍රගිරි අරණ ස්ව පැවිදි සහෝදර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මුල්කිරිගල පේමානන්ද හිමිපාණන්ගේ පැවරීමෙන් (1967) දී එහි නැවතී විවිධ දුෂ්කරතා මැද ආවාස බෝමළු ගොඩනඟා සකස් කිරීම ද 1974 දී රූමස්සල බොනවිස්ටා පාසල අසල රජයේ ඉඩමක ශ්‍රී සමුද්‍රගිරි දෙවන සෙනසුන අරඹා අපමණ ගැහැට මැද ආවාස බෝමළු ධර්මශාලා ගොඩනඟා දියුණු කිරීම ද, පසුව සිරි උපරතන පිරිවෙන අරඹා භික්ෂු අධ්‍යාපනය පෝෂණය කිරීමද විශාල ශිෂ්‍ය සමූහයාගේ ගුරුදේවයන් බවට පත්වීමද 1983 දී අම්පාර දිගාමඬුල්ල විද්‍යානන්ද පිරිවෙනේ සමාරම්භක හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමිපාණන්ගේ ධර්මදූත චාරිකාවලට සහභාගි වීම ද, එම විද්‍යානන්ද පිරිවෙනේ හින්දි භාෂා ආචාර්යවරයෙකු ලෙස පත් වී භික්ෂු අධ්‍යාපනයේ නියමුවෙකු වීමද, කතරගම පෙරගිරිගම බෞද්ධාශ්‍රමයක් (රූමස්සල පන්සල නමින්) ආරම්භ කිරීම ද අසූ වසරක පැවිදි ජීවිතයක උදාර සිහිවටනයෝ ය.