Print this Article


ඉසිදාසි මහරහත් තෙරණින් වහන්සේගේ අතීත කතාව

ඉසිදාසි මහරහත් තෙරණින් වහන්සේගේ අතීත කතාව

සැමියාට ගරු සැලකිලි කළ ද, ඔහු මට ප්‍රිය කළේ නැහැ. සැමියා කෙරෙහි නිහතමානී ව, අලස නො වී, සිල්වත්ව මම කටයුතු කළ ද වැඩි දවසක් යෑමට පෙර ඔහුට මා එපා වුණා.

ගෞතම බුදු සසුනේ පැවිදි වූ ඉසිදාසි තෙරණිය නොබෝ කලකින් මහරහත් භික්ෂුණියක් බවට පත්වුණා.

උන්වහන්සේ දිනක් පැළලුප් නුවර පිඬුසිඟා වැඩ දානය අවසන් කොට ගංගාවක වැලි තලාවේ විවේක සුවයෙන් වැඩ සිටියා. තම සහායිකාව වූ බෝධි තෙරණිය ද ඉසිදාසි තෙරණි අසලම වැඩ සිටියා. ඒ වෙලාවේ රහත් භික්ෂුණියන් දෙදෙනා අතර වූ සංවාදය ඉසිදාසි රහත් තෙරණින් වහන්සේගේ කතා පුවතේ සැළ වෙනවා.

“ඉසිදාසි තෙරණියණි, ඔබ වහන්සේ තවම තරුණ යි. දුටු දුටුවන් පහදින රූප ශෝභාවෙන් පූර්ණ යි. කවර නම් හේතුවක් නිසා ඔබ මෙසේ පැවිදි වූයේ ද?’’

‘’බෝධි තෙරණියණි, මා පැවිදි වූයේ කිනම් හේතුවක් නිසා ද යන්න මම ඔබට කියමි. හොඳීන් අසනු මැන

මගේ පියා උදේනි නුවර සිටි සීල ගුණයෙන් සමන්විත වූ සිටුවරයෙක්. ඔහුගේ මනවඩන එක ම දියණිය මම යි. තරුණ වියේ දී මාගේ පියාගේ යහළුවෙක් වූ සාකේත පුරයේ සිටු කුලයක ධනවත් සිටුවරයකුට මා විවාහ කර දුන්නා.’’

‘’විවාහ වී ඒ සාකේත නුවරට ගිය දා පටන් මම උදෑසන සහ සවසට නැන්දාගේ සහ මාමගේ දෙපා නමදිනවා. සැමියාගේ සොයුරු, සොයුරියන් හා පිරිවර ජනයා නිවසට පැමිණෙනවා නම් මම හිඳ සිටිනා අසුනෙන් නැඟිටිනවා. ඔවුන්ට අසුන් පනවා දී ගෞරව කරනවා. ආහාර සකසා දී සුදුසු පරිදි සංග්‍රහ කරනවා.’’

‘’සුදුසු වේලාවේ දී මා සැමියා වෙත යනවා. සුවඳ විලවුන් තවරා සේවිකාවක් මෙන් ඔහු සරසනවා. ආහාර සකසනවා. භාජන පිරිසුදු කරනවා. එකම පුතුට සලකන මවක මෙන් මම සැමියාට සලකනවා.

මෙසේ සැමියාට ගරු සැලකිලි කළ ද, ඔහු මට ප්‍රිය කළේ නැහැ. සැමියා කෙරෙහි නිහතමානී ව, අලස නො වී, සිල්වත් ව මම කටයුතු කළ ද වැඩි දවසක් යෑමට පෙර ඔහුට මා එපා වුණා.’’

‘’ඉසිදාසි සමඟ තවදුරටත් මට විවාහ ජීවතය ගත කරන්න බැහැ. ඇය මව්පියන් වෙත ඇරලවන්න.’’ දිනක් සැමියා කියා සිටියා.

‘’දරුව, එසේ කියන්න එපා. ඉසිදාසි බුද්ධිමත්. පණ්ඩිත යි. අලස නැහැ. ඔබට හොඳීන් සලකන බිරිඳක්. ඇයි ඔබ ඇයට අකමැති?’’ ඔහුගේ මව්පියන් ඇසුවා.

‘’ඈ මට කිසිදු හිංසාවක් කරන්නේ නැහැ නමුත් ඇය සමඟ තවදුරටත් විසීමට මම කැමැති නැහැ.’’

ඔහුගේ වදන් ඇසුණු ඉසිදාසි තීරණයකට ආවා. කිසිදු ද්වේෂයක් නො කර ඇය තම මව්පියන් වෙත ගියා.

‘’පියාණෙනි, මගේ සැමියාට මම කිසිදු වරදක් කළේ නැහැ. හිංසාවක්, අමිහිරි වචනයක් කිව්වේ නැහැ. නමුත් ඔහුට මා අප්‍රිය බව කියන නිසා නැවත මම ආවා ‘’ ඉසිදාසි කියා සිටියා.

ටික කලෙකින් ඉසිදාසිගේ පියා නැවත ඇයට විවාහයක් කර දුන්නා. ඔහුගේ නිවසට ගිය ඉසිදාසි පෙර මෙන් සැමියාට ගෞරවයෙන්, සීල සම්පන්න ව, කිසිදු ද්වේෂයක් ඇති නො කරගෙන දාසියක මෙන් සියලු වැඩ කටයුතු කළා. නමුත් මාසයක් පමණ ගිය විට ඔහුට ද ඇය එපා වුණා. නැවත ඇයගේ නිවසට ආවා.

දිනක් ඉසිදාසිගේ පියා කවුළුවෙන් මහමඟ බලා සිටිද්දී දුටුවේ වැරහැලි ඇඳ, කැඩුණු භාජනයක් රැගෙන සිඟමනේ යන තරුණයෙක්. ඔහු වහා පහළට ගොස් සුවඳ පැණින් ඔහු නාවා සුන්දර වස්ත්‍ර වලින් සරසවා ආභරණ පළඳවා මෙසේ කිව්වා. “දරුව, අද සිට ඔබ සිඟමනේ යන්න එපා. මාගේ දියණිය විවාහ කරගෙන මේ සියලු දේපළ රැකබලාගෙන මැඳුරේ වසන්න’’ කියා. ඔහු ද එයට මහත් සේ කැමැති වුණා. ඉසිදාසි ඔහුට ද ගෞරව කළා. දාසියක මෙන් සැලකුවා. අඩුපාඩු සෙව්වේ නැහැ.

නමුදු මාසයක් පමණ ගතවෙද්දී ඔහුට ඇය අප්‍රිය වුණා. ‘’මැය සමඟ විසීම මට අප්‍රිය යි. ඒ නිසා මම නැවත සිඟා කා ජීවත් වෙනවා. මැය සමඟ සිටිනවාට වඩා සිඟමන් යැදීම සැපයි’’ කියා ඔහු සිටු මැදුරෙන් පිටව ගියා.

එදා ඉසිදාසි කුටියට ගිහින් මුළු රෑ පුරා හඬා වැටුණා. මෙ තරම් හොඳීන් සිටියත් මේ සෑම පුරුෂයෙක් ම තමාට අප්‍රිය වන්නේ ඇයි? කියා ඇය තනිවම කල්පනා කළා. මේ ජීවිතයේ ඇති තේරුම කුමක් ද? එක්කෝ සිය දිවි නසාගෙන මිය යා යුතු යි. නැත්නම් පැවිදි විය යුතුයි ඇය කල්පනා කළා

දිනක් විනයධර, බහුශ්‍රැත සිල්වත් ජිනදත්තා භික්ෂුණිය මේ සිටු මැඳුරට පිඬුසිඟා වැඩියා. එය දුටු ඉසිදාසි එතුමියගේ දෙපා වැඳ නිවසට කැඳවා දානය පූජා කළා.

‘’තෙරණින් වහන්ස, මමත් බුදු සසුනේ පැවිදි වීමට කැමැතියි. ඉසිදාසි ජිනදත්තා තෙරණියට කියා සිටියා.

එය ඇසූ ඉසිදාසිගේ පියා කියා සිටියේ දුවේ ඔබ මේ මැදුරේ සිට ම ධර්මයේ හැසිරෙන්න, දානය පූජා කරන්න පැවිදි වීමට ඇයි හිතන්නේ?’’

‘’පියාණෙනි, මම මේ ටික කාලය තුළ දී විඳපු දුක් කන්දරාව ඔබ හොඳීන් දුටුවා නේද? මම කෙ තරම් නම් ලජ්ජාවට පත් වුණා ද? කිසිදු ගැහැණු ළමයෙක් ඉවසන්නේ නැති දුක් ගොඩක් මම වින්ඳා. ඒ නිසා පියාණෙනි, මට පැවිදි වීමට අවසර දෙන්න. මම කැමතියි මේ සියලු දුක් දොම්නස් අවසන් කොට උතුම් නිවනින් නිවී සැනසෙන්න.’’ ඇය පියාගේ දෙපා නැමද ඉල්ලා සිටියා.

පියාගෙන් ලද අවසරයෙන් ඇය භික්ෂුණි ආරාමයකට ගොස් පැවිදි වුණා. දින හතක් ඇතුළත වීර්ය කොට රහත් ඵලයට පත්වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ආත්මභාව හතක් ආපස්සට බැලීමේ නුවණ ලබා ගත්තා . දිනක් ඇය තමා සසරේ ගත කළ ආකාරය දිවැසින් බැලුවා.

ඒරක නම් ගමේ අතිශය ධනවත් රන් කරුවකුගේ පුතෙකු ලෙස සුන්දර රූ සපුවක් ඇති තරුණයෙක් ලෙස ඒ ජීවිතයේ ගත කළා. නමුත් නරක ආශ්‍රය නිසා වැරැදිකාම සේවනයට ගිජුව පව් සිදුකර ගත්තා. ඒ ආත්මයෙන් චුතව බොහෝ කලක් නිරයේ පැසුණා. නිරයෙන් චුතව අනෙක් ආත්මභවයේ වැදිරියකගේ කුසෙහි වඳුරකු ලෙස පිළිසිඳ ගත්තා. ඒ වඳුරු පැටියා ඉපදී හත්වන දිනයේ දී මහා වඳුරා ඒ පැටවාගේ පුරුෂ බීජය කඩා ඉවත් කළා. ඒ නිසා බොහෝ දුක් වින්ඳා. ඒ ස්ථානය වණ වුණා. අතීතයේ කළ වැරැදි කාම සේවනයේ පවෙහි විපාකයි ඒ.

එයින් චුතව එක් ආරාණ්‍යයක සිටි අන්ධ වූ, කුදු වූ එළු දෙනකගේ කුසෙහි එළුවකු ලෙස පිළිසිඳ ගත්තා. ඒ ජීවිතයේ බර ඇ¼දීම පිණිස එළු හිමියා පුරුෂ බීජය තලා දැමුවා. අවුරුදු දොළොසක් එසේ ඒ එළුවා බර ඇද්දා. ඒ ස්ථානය වණ වී පණුවන් බෝ වී බලවත් ව අසනීප වුණා. එය ද පෙර ජීවිතයේ කළ වැරැදිකාම සේවනයේ විපාකය යි.

ඒ ජීවිතයෙන් චුත ව හරක් වෙළෙන්දකුට අයත් ගොවිපොළක දෙනෙකුගේ කුසෙහි ගවයකු ලෙස පිළිසිඳ ගත්තා. ඉපදී මාස දොළොසක් ගත වෙද්දී ඒ ගවයාට බර ඇ¼දීම පිණිස බීජෝද්ධරණය කළා. ඉන් පසු බොහෝ බර අඳීන්නට සිදුවුණා. අවසානයේ බලවත් ව රෝගී ව ගවයා මියගියා. එයද පරදාර සේවනයේ විපාක යි.

ඊළඟ ජීවිතයේ එක්තරා වීදියක දාසියකගේ නිවසේ උපත ලැබුවා. ඒ ජීවිතයේ ස්ත්‍රියක් ද, පුරුෂයෙක්ද වීමට නො හැකි වුණා. එයද වැරැදිකාම සේවනයේ විපාක යි.

ඒ ජීවිතයෙන් චුතව බොහෝ දුගී කරත්ත කරුවකුගේ නිවසේ දැරියක් ව උපන්නා. දුප්පත් නිසා කුසගින්න නිවෙන්න කිසි දිනෙක ආහාරයක් ලැබුණේ නැහැ. ණයට ගත් පිරිස් දිනපතා ම ණය ඉල්ලාගෙන ආවා. පියා ගත් ණය ගෙවාගන්න බැරි වූ නිසා දැරිය හඬා වැටෙද්දී ම කෙනෙක් ඇය බලහත්කාරයෙන් රැගෙන ගියා. එතකොට වයස දහසය යි. ඒ මිනිසාට පුතෙක් සිටියා ගිරිදාස කියලා. ඔහු ඇය ව ඔහුගේ නිවසට රැගෙන ගියා. ඔහුට සිටියා හොඳ සිල්වත්, ගුණවත්, ස්වාමි භක්තිය තිබෙන බිරියක්. ඇය ගැන ඊර්ෂ්‍යා හිතුණා. ඉතින් ඒ බිරිඳ කෙරෙහි ඔහු කිපෙන ආකාරයට කටයුතු කළා.

ඉතින් මම දාසියක් වගේ සැමියන්ට සියලු උපස්ථාන කරද්දීත් ඔවුන් මා අතහැර යන්නේ ඒ කර්ම විපාකය නිස යි. නමුත් ඉසිදාසි වන මම ඒ සියලු කර්ම මේ ජීවතයේ ගෙවා අවසන් කළා. නැවත මට ඉපදීමක්වත්, විඳවීමක්වත් නැහැ.