Print this Article


ලංකාවේ බෞද්ධ ස්තූප - 22: මණිනාගදීපයේ මැණික් පුටුව තැන්පත් කළ ස්තූපය

ලංකාවේ බෞද්ධ ස්තූප - 22:

මණිනාගදීපයේ මැණික් පුටුව තැන්පත් කළ ස්තූපය

භගිනි සුත මාතුලෙහි දින්නේ - මණි පල්ලංකවරෙ යහිං නිසින්නෝ
මුනි ධම්ම දේසයි මුනීනං - සිරසා තං පණමාමි නාගදීපං

යම් තැනෙක්හි මාතුල චූලෝදර - මහෝදර දෙදෙනා විසින් දෙන ලද උතුම් වූ මිණි පළඟෙහි වැඩ හිඳ සර්වඥයන් වහන්සේ විසින් භික්ෂූනට ධර්මය දේශනා කළ සේක් ද, ඒ මිණිපළඟ පිහිටුවා සාදවන ලද නාගදීප ස්තූප වහන්සේ වන්දනා කරමි.

දීපවංසය, මහාවංසය, සමන්තපාසාදිකා වැනි ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වන ආකාරයට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයෙහි බක් අව පසළොස්වක පෝදා දඹදිව ජේතවනාරාමයේ සිට නාගදීපයට වැඩම කළ බව සඳහන් වේ.

ඒ බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනින් පාරිශුද්ධත්වයට පත් වූ නාගදීප පූජා භූමිය ශී‍්‍ර ලංකාවේ උතුරු පළාතේ පිහිටි බෞද්ධයින්ගේ උතුම්ම සිද්ධස්ථානයකි. යාපනය නගරයෙන් කිලෝමීටර් 32ක් පමණ දුරින් පිහිටි නාගදීපය සම්පූර්ණයෙන් ම මුහුදෙන් වට වූ දූපතකි.

නාගදීප දූපතට බුදුරජාණන් වහන්සේ වැඩි අවධියේ දී එය හඳුන්වා දී ඇත්තේ ‘මණිනාගදීප‘ නමිනි. ‘මණිනාගදීපයට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ චූලෝදර මහෝදර නාග ගෝති‍්‍රක මාමා සහ බෑණා අතර මැණික් පුටුවක් අරභයා ඇති වූ යුද්ධය සංසිඳුවීමට ය. එදා ‘මණිනාගදීපය‘ හෙවත් ‘නාගදීපය‘ පාලනය කළේ මහෝදර නම් වූ නා රජු ය. ඔහුගේ එකම දියණිය සරණ පාවා දුන්නේ තම නැගණියගේ පුත් වඩුන්නාගල රජ කළ චූලෝදර නම් නා රජුට ය. මෙම සරණ මංගල්‍යයේ ද,ී මහෝදර නා රජු සතුව තිබූ පරම්පරාවෙන් පැවත ආ වටිනා වස්තුවක් වූ ‘මිණි පළඟක්‘, එනම් මැණික් පුටුවක් දායාදය වශයෙන් දියණියට පරිත්‍යාග කරන ලදී.

චූලෝදර නා රජු තම ස්වාමි දියණිය සමඟ සතුටින් කාලය ගත කරන අතරතුර දී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් තම බිරිඳ මරණයට පත්විය. මෙයින් චූලෝදර නා රජු මෙන්ම මහෝදර පිය නා රජු ද දැඩි සේ දුකට පත්විය. තම දියණිය සිහිපත්වීම සඳහා දායාදය වශයෙන් පරිත්‍යාග කරන ලද මැණික් පුටුව චූලෝදර බෑණා වෙත පණිවුඩයක් යවමින් නැවත ඉල්ලා සිටියේ ය. චූලෝදර නා රජු එම ඉල්ලීමට එකඟ නොවී ය. සරණ මංගල්‍යයේ දී දායාදය ලෙස ලැබුණත් තම මවගේ පාර්ශ්වයෙන් තමාට ද එහි අයිතියක් ඇතැයි ප්‍රකාශ කරමින් මහෝදර නා රජුගේ ඉල්ලීම බැහැර කළේ ය. මෙම කාරණය මුල් කරගෙන දෙදෙනා අතර ඇති වූ හිත් අමනාපය අවසානයේ දී යුද්ධයක් බවට පත්විය. මහෝදර නා රජුගේ හිතවතකු වූ කැලණියේ මණිඅක්ඛිත නා රජුට ද මෙම ආරවුල පිළිබඳව ආරංචිය ලැබීමෙන් පසු මනිඅක්ඛිත නා රජු ද සේනාව සමඟ නාගදීපයට ගොස් මහෝදර නා රජු හා එක්ව චූලෝදර නා රජුට එරෙහිව යුද වැදීමට සූදානම් විය.

බුදුරජාණන් වහන්සේ අලුයම ලොව බලා වදාරණ කල්හි ලංකාද්වීපයෙහි මණිනාග නම් දිවයිනෙහි සිදුවන මෙම යුද්ධය දිවැසින් දැක සිදුවන මහා විනාශය වළක්වාලනු පිණිස මහා කරුණාවෙන් නාගදීපයට වැඩම කළ සේක. එසේ වැඩම කරන බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකෙහි සිටි ‘සමිද්ධි සුමන‘ දෙවියා පෙර භවයක ලක්දිව ‘මණිනාගදීපයේ‘ විසූ කෙනෙකි. ඔහු යළිත් එම ප්‍රදේශයෙහි වාසය කරවුවහොත්, ඔහුටත්, නාගයන්ටත් යහපතක් සිදුවන බව බුදුරජාණන් වහන්සේට පෙනුණි. එම නිසා මණිනාගදීපයට යෑමට එන ලෙස බුදුරජාණන් වහන්සේ දේවතාවාට දැනුම් දුන්හ. ‘සමිද්ධි සුමන‘ නම් මේ වෘක්ෂ දේවතාවා එම කිරිපලු රුක ගලවාගෙන බුදුන් වහන්සේට සේසතක් සේ දරාගෙන පැමිණියේ ය.

මෙසේ නාගදීපයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ සිටිමින් මුළු ලංකාද්වීපය ම අන්ධකාරයෙන් වසා නැවත ආලෝකමත් කරමින් බුදුරැස් විහිදුවා පෙළහර පා චූලෝදර, මහෝදර හා මණිඅක්ඛිත නා රජුන් ඇතුළු නාගයින්ට සමඟි සම්පන්නවීමේ අගය පෙන්වා දෙමින් ධර්මය දේශනා කළ සේක.

එයින් සතුටට පත් නාගයෝ සමඟි වී ගැටුමට මුල් වූ මිණිපළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළහ. පූජා කරන ලද එම මැණික් පුටුවේ වැඩ උන් බුදුරජාණන් වහන්සේ, මැණික් පුටුව උන්වහන්සේ පරිභෝග කළ වස්තුවක් බවට පත් කර නාගයන් වෙත ම පවරා දී තමන් වහන්සේ සමඟ පැමිණි සමිද්ධි සුමන නම් දෙවියන් රැගෙන ආ කිරිපලු නුග රුක ද පූජා වස්තුවක් බවට පත්කොට බුදුරජාණන් වහන්සේ පෙරලා දෙව්රම් වෙහෙරට වැඩමකොට වදාළ සේක.

පාරිභෝගික වස්තුවක් බවට පත්වුණ මිණිපළඟ තැන්පත් කොට නා රජුන් විසින් ‘කිරිපලු සෑය‘ හෙවත් ‘රාජායතන ස්තූපය‘ තැනූහ. ඒ අසල රෝපණය කෙරුණ කිරිපලු රුක සමිද්ධි සුමන දෙවියාගේ වාසස්ථානය බවට පත්වුණි.

“මණිනාගදීපයේ“ රාජායතන ස්තූපය වැ¼දීමට වැඩම කළ භික්ෂූන් වහන්සේ සැටනමකට නාගා නමැති දාසියක් වෙහෙස මහන්සි වී උපයා ගත් ධනයෙන් දානය සූදානම් කළාය. ඇයගේ ශ්‍රද්ධාව ගැන සිතූ එම භික්ෂුන් වහන්සේලා වීර්යයෙන් යුතුව රහත් බව ලැබ එම දානය වැළඳූහ. ඒ පුවත අසා පැහැදුන රජතුමා නාගා දාසිය, දාස බවින් මුදා “මණිනාග“ දිවයින ඇයට තෑගි කළ බව සද්ධර්මලංකාරයේ නාගා වස්තුවෙහි සඳහන් වේ. “මණිනාගදීපයට“ නාගදීපය යන නම් ලැබුණේ ඉන්පසුව බව ද සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ දෙවන වර වැඩම කරන ලද නාගදීප පුණ්‍ය භූමිය ලංකාද්වීපයේ රජ කරන ලද දුටුගැමුණු, සද්ධාතිස්ස වැනි රජවරු තම තමන්ගේ පාලන සමයන් හි ආරක්ෂා කරමින් රැකබලා ගත් බව ද ඉතිහාසයේ සදහන් වේ.

පෘතුගීසි, ලන්දේසි හා ඉංගී‍්‍රසි පාලන සමයේ දී ලංකාවේ තිබූ බොහෝ වෙහෙර විහාර විනාශයට පත් කළහ. එම කාලසීමාවේ දී නාගදීප විහාරස්ථානය ද ඔවුන් ගේ බලපෑම් හේතුවෙන් විනාශයට පත් විය. කාලයාගේ ඇවෑමෙන් වර්ෂ 1931 දී අම්බලන්ගොඩ, රන්දොඹේ සෝමසිරි තිස්ස මහා තෙරුන් විසින් බොහෝ දුක්ගැහැට විඳ යාපනයට පැමිණ නාගදීපය සොයා ගෙන බෞද්ධයන්ට අහිමි ව තිබූ උතුම් පුණ්‍ය භූමිය වන්දනාමාන කටයුතු සඳහා නැවත එළි පෙහෙළි කර දුන්හ. නාගදීපය සොළොස්මහා සිද්ධස්ථායන්ගෙන් දෙවැනි පූජනීය ස්ථානයයි.