පරාදීසය
මහාචාර්ය
ඉත්තදෙමළියේ
ඉන්දසර හිමි
මිනිසුන් දෙදෙනෙක් කාන්තාරයක අතරමං ව, බලාපොරොත්තු රහිතව ඇවිදිමින් සිටියහ.
පිපාසිතව, විඩා ගතියෙන් විශාල වැලි කඳු තරණය කළහ. අවසානයේ ඔවුන්ට හමු වූයේ දැවැන්ත
කළුගල් තාප්පයක් පමණි.
තාප්පයේ අනෙක් පැත්තේ දිය දහරා වැගිරෙන හඬ ඔවුන්ට ඇසුණි. කුරුල්ලන්ගේ කිචි බිචි
නාදය ශ‍්‍රවණය කරන්නට හැකි විණි. ඔවුහු අලුත් මල්වල සුවඳ ආඝ‍්‍රහණය කළහ. තාප්පය
අද්දර පැසුණු පලතුරුවලින් බරවූ අතු රිකිලි, පිරුණු ගස් ඔවුන්ගේ හිස මට්ටමට මඳක්
උඩින් ඇති සැටි නිරීක්‍ෂණය කළහ.
දෙදෙනාගෙන් එක් අයකු සිනාසෙමින්, බොහෝ අමාරුවෙන් තාප්පයට නැඟ වත්තට ඇතුළු ව නොපෙනී
ගියේ ය.
අනෙකා සිනාසෙමින් ආපසු කාන්තාරය දෙසට ගමන් කළේ ඔහු වැනිම අතරමං වූ අනෙක් සංචාරකයින්
දැකීමේ බලාපොරොත්තුවෙනි.
ආදර්ශය :
ඔබට පුළුවන් හැම අවස්ථාවක ම තවත් කෙනකුගේ සුවය, සැපත, සැනසිල්ල, සතුට වෙනුවෙන් ඔබගේ
දෑත දිගුකරන්න |