Print this Article


උදාර දිවියක පිය සටහන්: උත්තරීතර භික්ෂුත්වය ඔපවත් කරන පරාර්ථය

උත්තරීතර භික්ෂුත්වය ඔපවත් කරන පරාර්ථය

මෙවර උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ කඹුරුපිටිය ඉලංගන්ගොඩ පුරාණ රාජමහා විහාරය ඇතුලු විහාර ගණයේ විහාරාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී හා ජ්‍යෙෂ්ඨ අනුනායකධූරන්දර ශාස්ත්‍රපති පණ්ඩිත ඕමාරේ කස්සප අනුනායක හිමිපාණන් වහන්සේ ය .

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ 80 දශකයේ දී ජාතික ප්‍රශ්න වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කළ වියත් පඬිරුවනක් වශයෙන් ප්‍රකටයි. ඒ පිළිබඳ ව අතීතාවර්ජනයක යෙදෙනවා නම්,

1980 දශකය ඉතාම වැදගත් කාල වකවානුවක්. දකුණු පළාතේ සම්භාවනීය පිරිවෙනක් වූ කඹුරුපිටිය සපුගොඩ විද්‍යානිකේත පිරිවෙනේ උපගුරුවරයකු වශයෙන් කටයුතු කළා. 1984 වර්ෂයේ සිට පරිවේණාධිපති වශයෙන් සේවය ආරම්භ කිරීමත් සමඟ ස්වේච්ඡාවෙන් ම කිසියම් සමාජ මෙහෙවරකට ප්‍රවේශ වුණා.

එවකට සපුගොඩ ගම්මානය තුළ ජීවත් වුණ ජනතාවගේ නිවෙසක් පාසා වැඩම කරමින් ගැටලු මූලික වශයෙන් අධ්‍යයනය කළා. ප්‍රාදේශීය ලේකම් ඇතුලු නිලධාරීන් සමඟ මහත් වෙහෙසක් දරමින් නොදියුණු ගම්මාන දියුණු කිරීමේ මූල්‍යාධාර වැඩපිළිවෙළ යටතේ වැසිකිලි පහසුකම් නොමැති සෑම නිවසක් සඳහා ම වැසිකිලි පහසුකම් ලබාදීමටත් , පොදු ළිං තුනක් හා ළිං නොමැති නිවෙස් 69 ක් සඳහා ළිං ලබාදීමටත් කටයුතු කළා. 80 දශකය අග භාගය වන විට ගම තුළ "සණස සමිතිය" ව්‍යුහගත කරමින් එහි සභාපතිත්වය දරමින් ජනතාවගේ ජීවන තත්ත්වය, ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළා.

මරණයක දී අවමංගල්‍ය කටයුතු කරගැනීමට නොහැකි ව අසරණ වන මිනිසුන්ට මානසික ශක්තියක් වෙමින් "අවමංගල්‍යාධාර සේවා සැපයුම් සමිතිය" ගම තුළ ආරම්භ කරමින් ඒ හරහා "සහන මල් ශාලාව" නමින් මල් ශාලාවක් ස්ථාපිත කිරීමට කටයුතු කළා. විවිධ වර්ගයේ අධික මිලැති මිනී පෙට්ටි අතර එකම වර්ගයේ මිනී පෙට්ටියක් පමණක් මල්ශාලාව තුළ තබා ගැනීමටත් එය රුපියල් 2000ක අඩු මුදලකට ලබාදීමටත්, සාමාජිකයන් සඳහා මිනී පෙට්ටිය ඇතුලු ව අනෙකුත් සියලු සේවාවන් නොමිලේ ලබාදීමටත් කටයුතු කළා. වර්තමානයේ දීත් එම සමිතිය අඛණ්ඩ ව පවත්වාගෙන යනවා. කඹුරුපිටිය ග්‍රාමීය රෝහල සංවර්ධනය කිරීමට කටයුතු කළා පමණක් නොවෙයි,

එක් වෛද්‍යවරයකු පමණක් සිටි රෝහල මූලික රෝහලක් දක්වා වැඩිදියුණු කිරීමටත් වෙහෙසුණා. ඩලස් අලහප්පෙරුම මැතිතුමා සමඟ සාකච්ඡා කරමින් ප්‍රදේශයේ වැඩිහිටි නිවාස වැඩි දියුණු කළා. සූරියවැව ගොවි ගැටලු සඳහා උඩවලව ජලාශයේ වැව් ඉවුර සංවර්ධනය කරමින් මාස 2 ක් වැනි කෙටි කාලයක් තුළ ඒ සඳහා විසඳුම් ලබාදීමට නිලධාරීන් සමඟ මහත් වෙහෙසක් ගත්තා.

භික්ෂු ආකල්ප වර්ධනය කරගනිමින් , ජාතික ප්‍රශ්නවලට සාර්ථකව මුහුණදීම සඳහා නිවැරැදි නායකත්වයක් ගොඩනඟා ගැනීමට ගුරු හාමුදුරුවරුන්ගේ ආභාසය ලැබුණේ කුමන ආකාරයෙන් ද?

අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මහාචාර්ය ගතාරේ ශ්‍රී සුගතපාල නා හිමිපාණන් වහන්සේගේ උදාර පැවිදි දිවියේ ආභාසය මගේ භික්ෂු ජීවිතය ශක්තිමත් ව ගොඩනගා ගැනීමට ඉවහල් වුණා. උන්වහන්සේ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිත්වය දරමින් නිලධාරීන් සමඟ කටයුතු කරමින්, ස්වේච්ඡා සංවිධානයන්හි සහාය ලබාගනිමින් ඉතාමත් ම කඩිනමින් නිවැරැදි තීන්දු තිරණ ගනිමින් කටයුතු කළ ආකාරය මම කුඩා අවධියේ සිටම දැක්කා. දනට, බණට, පාංශුකූලයට වඩින ගමන් එයට වඩා එහා ගිය සමාජ කාර්යභාරයක් ඉෂ්ටකිරීමට කටයුතු කළ ආකාරය පැහැදිලි ව දකින්න තිබුණා.

ශාසනබලධාරී ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් බැඳී පවතින වගකීම් හා කාර්යභාරය කෙබඳු ද?

මම ප්‍රාදේශීය සංඝ සභාවක සහකාර ලේඛකාධිකාරී වශයෙන් කටයුතු කිරීම ආරම්භ කළේ පිරිවෙන තුළ කටයුතු කරන කාලයේදීමයි. පසුව සංඝ සභාවේ කැමැත්ත පරිදි ප්‍රාදේශීය ලේඛකාධිකාරී, විධායක සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී, ප්‍රධාන ලේඛකාධිකාරී හා අධිකරණ සංඝනායක ධුරයට පත් වූ පසු සංඝ සභාවේ තීරණයට අනුව රෝහණ පාර්ශ්වයේ අනු නායක පදවියට පත් කළා. මහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනායක ස්වාමීන් වහන්සේ වැනි වියත් පඬිරුවනකගේ ආභාසය අනුකරණය ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම වගකීම් දැරීමට සුදුසු පසුබිමක් නිර්මාණය වුණ බවත් මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි.

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ සසුන ආරම්භ වී පළමු අවුරුදු 20 තුළ ඕවාද ප්‍රාතිමෝක්ෂයත් වසර 20කට පසුව ආනා ප්‍රාතිමෝක්ෂයත් පැනවීමෙන් කිසියම් මඟ පෙන්වීමක් සිදු කළා. බුදුරජාණන් වහන්සේටත් එවැනි නීති රීති පැනවීමට සිදුවූවා නම්, මේ පවතින භික්ෂු සමාජයෙහි පිරිස වැඩි වන විට අර්බුද ඇතිවීම අනිවාර්යයි. සංඝාධිකරණයක අවශ්‍යතාවය අපි දකිනවා. භික්ෂු විනය ගොඩනැගීමට නම්, යම්කිසි ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. ඒ සඳහා මහාසංඝරත්නය පෙරමුණ ගැනීම අවශ්‍යයයි. මේ වන විටත් සංඝාධිකරණයක් කෙටුම්පත් කර තිබෙනවා.

සම්ප්‍රදාය ගරු කරන ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් නවීන දියුණුව ප්‍රතික්ෂේප නොකළත් පැරැණි භික්ෂු අධ්‍යාපනය ඉදිරියට යා යුතුයි. මම දැනට සියම් නිකාය යම් තැනකට ඒකරාශී කිරීමේ උත්සාහයක යෙදී සිටිනවා. ඒ ඒ පාර්ශ්වයන්ගේ අනන්‍යතාවයන් ආරක්ෂා කරගනිමින් එය ‘ස්‍යාම නිකාය’ යනුවෙන් නිකායක් එකතු කිරීමටත්, අමරපුර නිකායත්, රාමඤ්ඤ නිකායත් එකතුකරගනිමින් ශාසනික වශයෙන් එක් ශාසනයක් ගොඩනගා ගැනීමටත් කැප වෙනවා. මල්වතු අස්ගිරි මහා විහාරයන්හි මූලිකත්වය ඇති ව භික්ෂු සමඟිය ඇතිවීම අත්‍යවශ්‍යයි.

ලෝකය හරිම විවෘතයි. තරුණ භික්ෂූන් වහන්සේ තාක්ෂණික මෙවලම් භාවිතයට වැඩි නැඹුරුතාවයක් දක්වන බවට යම් කතා බහකට ලක්වෙලා තිබෙනවා. ඒ පිළිබඳ ව ඔබ වහන්සේ දරන ආකල්පය කුමක්ද?

ලෝකය යන ගමනත් සමඟ අපිත් ඉදිරියට යා යුතු යි . නූතන භික්ෂූන් වහන්සේ තාක්ෂණය සමඟ එකතු වීමට නොහැකි වුවහොත් සමාජයෙන් විතැන් වීමට ඉඩ තිබෙනවා. පැමිණ තිබෙන තාක්ෂණ යුගයත් සමඟ මුළු ලෝකය ම එකම ගම්මානයක් බවට පත්වෙලා. තිබෙන නිසා තාක්ෂණය නොදැන කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. නමුත් තාක්ෂණය පරිහරණය කිරීමේ ක්‍රමවේදය තුළ පවතින දුර්වලතාවයන් නිසා කිසියම් ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. පුද්ගල අධ්‍යාත්මය පිරිහීමත් එයට හේතුවක් . පුද්ගල අධ්‍යාත්මික සංවර්ධනය කවර දියුණුවක් හමුවේ හෝ නිවැරැදි ව ආරක්ෂා කරගත යුතුයි. භික්ෂුන් වහන්සේට ශාසනික වශයෙන් කිසියම් සංවිධිත වැඩ පිළිවෙළක් නොමැති වීම එයට හේතුවයි. තරුණ භික්ෂූන් වහන්සේලා සිවුරු හැරයාමට බලපාන සාධාරණ හේතුන් සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කිරිමෙන් එය යම්තාක් දුරට වළක්වා ගත හැකියි. වර්තමාන රජය යටතේ ඒ සඳහා කිසියම් වැඩ පිළිවෙළක් ගොඩනගාගෙන යාම සතුටට කරුණක්.

ඔබ වහන්සේගේ අධ්‍යාපනය හා ධර්ම ශාස්ත්‍රීය සේවය පිළිබඳ ව කෙටියෙන් පැහැදිලි කරනවා නම්,

1968 වර්ෂයේ පුණ්‍යවන්ත ශාසනික ජීවිතයට අතුළත් වෙලා 1974 වර්ෂයේ මල්වතු මහා විහාරයේ දී උතුම් වූ උපසම්පදා සීලයට පත්වීමේ භාග්‍යය උදා වුණා. රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මහාචාර්ය ගතාරේ ශ්‍රී සුගතපාල මාහිමි, මහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනායක මා හිමි, ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී ගැටමාන්නේ ශ්‍රී සෝභිත මාහිමි,විචිත්‍රධර්මකථික ප්‍රවිණාචාර්ය කුඩාගොඩ චන්දරතන නා හිමි යන හිමිපාණන් වහන්සේලා පැවිදිවීමේදීත් උපසම්පදාවේ දීත් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා වශයෙන් කටයුතු කළ බව ගෞරවයෙන් සිහිපත් කරනවා .

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධියත්, කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියේ දෙවන වසර දක්වා අධ්‍යාපනය ලබාගැනීමට කටයුතු කළා. මම නීතිය හදාරණු ලැබුවේ විවිධ සංකීර්ණ සමාජ හමුවේ අපගේ රඳාපැවැත්මට රටේ පවතින නීතිය පිළිබඳ නිවැරැදි අවබෝධයක් තිබිය යුතු නිසයි. භික්ෂුවගේ කාර්යභාරය වඩාත් නිරවුල් ව , නිවැරැදි ව සමාජගත කිරීමට එය රුකුලක් වෙනවා.

සමස්ත ලංකා පිරිවෙන් ගුරු සංගම් පිහිටුවමින් වෘතීය සමිතිය ව්‍යාපාර ශක්තිමත් කරමින් වෘතීය අයිතිවාසිකම් දිනාගැනීමට ක්‍රියා කළා. කඹුරුපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය හා මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය තුළ පුළුල් සේවයක් ඉටු කලා. අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්නා ගමන් ක්‍රියාකාරී ජීවිතයෙහි අඩුවක් තබාගත්තේ නැහැ. මේ වන විටත් රුක්රෝපණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා.