තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ
පෑලියගොඩ
විද්‍යාලංකාර
පිරුවෙන්හි ආචාර්ය
කැලණිය විශ්ව විද්‍යාලයේ
සිංහල අංශයේ අංශාධිපති,
ආචාර්ය
මල්වානේ චන්දරතන හිමි
ජීවිතය පාසලකි. සරස්වතිය සියලු මානවයින්ගේ චිත්ත සන්තානයෙහි අඩු වැඩි වශයෙන් වැඩ
වසන හෙයින් එය සරසවියකි. සියලු ශිල්ප කලාවන්ට තෝතැන්නක් වන හෙයින් ජීවිතය
තක්ෂිලාවකි.
අව්‍යාජ වූ ද, නිරවද්‍ය වූ ද දැනුමත්, ප්‍රඥාවත් ලබා ගත හැක්කේ ජීවිත සරසවියෙනි.
දඹදෙණි යුගයේ වැඩ විසූ සද්ධර්ම රත්නාවලී කර්තෘ ධර්මසේන මාහිමියෝ ජීවන සරසවියෙන්
සම්භාවනීය වූ උපාධි ලබා ගත් ප්‍රශස්ත ගණයේ පඬිවරයෙකි.
උන්වහන්සේ තුළ පැවති මානව දයාවත්, ජීවිත පරිඥානයත් මැනවින් ප්‍රකට වන ග්‍රන්ථය
සද්ධර්ම රත්නාවලියයි. එයින් වහනය වන්නේ පුස්කොළයේ සුවඳ නොව ගැමි ජීවන සුවඳයි. ගැමි
ජන ජීවිතයේ හද ගැස්මේ ප්‍රතිරාවය සෑම කතාවක් පුරාම පාහේ දිව යයි. වරෙක ග්‍රන්ථය
ඇසීමෙන් හා පරිශීලනය කිරීමේ දී ශ්‍රාවකයෝ මෙන් ම පාඨකයෝ ද චිත්ත භාවනාවකට සමවදිති.
සෑම කතාවක ම එකිනෙකට නොදෙවෙනි වන සමාජ යථාර්ථයක් ගර්භකොට ඇත්තේ ය.
සද්ධර්මරත්නාවලිය ඇසුරු කළ සෑම සහෘදයකුගේ මතකයේ රැදී තිබෙන කතාවක් වන්නේ පටාචාරා
වහන්දෑගේ කතා වස්තුවයි. සැවැත්නුවර සතළිස් කෙළක් වස්තුව ඇති සිටුවරයකුගේ දියණි
කෙනෙක් වූ පටාචාරාට තම ගෙදර සිටි වැඩකාර තරුණයා සමග යුග දිවියට පැමිණීමට කැමැති ව
සඳළුතලයෙන් මහ පාරට බසින්නේ තමා මුලින්ම එම තරුණයා ට දුන් පොරොන්දුවට ගෞරව
දක්වමිනි.
පටාචාරා දරුවන් දෙදෙනකුට සදාදරණීය මවක් වූවා ය. දෙවෙනි දරුවා බිහිවීමට ප්‍රථම තම
මව්පියන් ළඟට යාමට පිටත් වුව ද අතරමඟදී දරු ප්‍රසූතිය සිදුවිය. ඒ මහා ගන වනාන්තරයක්
මැද සිදුවීමකි.
ඈත බටහිර අහසින් මළහිරු බැස යමින් අන්ධකාරය ලෝකය වෙලා ගනිමින් තිබෙන මොහොතකි. මේ
සියල්ලත් සමඟ මහා වරුසාවක් ඇදහැලිණි.
“මෙ සේ එක් ව යන කලට නො කල් නො වේලා කොට ලා මහ වැස්සෙක් නැඟී ය. ඒ වේලාවට ගසන
විදුලියෙන් හා මේඝ නාදයෙන් හා වස්නා වැස්සෙන් ආකාශ ය අතුරු සිදුරු නැති විය. ඒ
වේලාවට ම පිට පිට හෙළා විදුලිය ගසන්නා සේ විළි ත් පහරන්ට වන. ආස ගුගුරන්නා සේ හඬ
ගසන්ට ත් වන. වස්නා වැසි බෝවා සේ ම ප්‍රසව දුකු ත් බෝ විය.”
සුළං හමා යන, අකුණු ගසන, විදුලි කොටන මේ මහා වනාන්තරය මැද අසරණ වී සිටින පටාචාරාවගේ
ස්වාමියා සර්පයෙකු විසින් දෂ්ට කරන ලදු ව මියගොස් ඇත. වග වලසුන්ගෙන් පිරුණු හෙයින්
බිහිසුණු බවත්, රැහැයියන්ගේ හඬින් ගෙන එන මහා මළ පාළුවත් නිසා මෙම ගනඳුරු මැදියමේ
ඇති මූසල බව
පටාචාරාගේ ගතත් සිතත් වෙලා ගෙන ඇත. මෙතරම් අසරණ වූ මවක් සිංහල සාහිත්‍යයේ අප නොදූටූ
විරූ ය. නොඇසූ විරූ ය. ඒ සියලුම අසරණතාවයත්, බිය ජනක භාවයත් අභිභවා, පරදවා
පටාචාරාවන්ගෙන් මතු වී පෙනෙන මාතෘත්වයේ අති උත්තම ලක්ෂණය ධර්මසේන හිමියෝ මැනවින්
ප්‍රකට කරයි. තම ස්වාමියා එදින රාත්‍රියේ මේ පුංචි කුටුම්භයට නොතෙමී ඉන්න පැලක්
සදන්නට වනය තුළ සරයි.
“උයි ත් දණ්ඩක් පතක් කපා ගන්ට නිසි යකඩක් හැරගෙන දඬු පත් බලා ඇවිදිනෝ තුඹසක් පිට
සිටි කැලයක් දැක දණ්ඩක් පතක් කපන්ට වන්හ. කපන සොල්මනට තුඹසින් නයෙක් අවුත් ලා දඬු
කපන තැනැත්ත වූ කාපී ය. එ වේලෙහි ම මරාලු ගසෙක වැද ගත් ගින්නක් මෙන් දෂ්ට මුඛයේ
පටන් විෂ ය නැඟී ලා ලේ ගුණ ය නැවත ලා, ගත නිල් ව ගොසින් මිය වැටී ගියේ ය.”
ඉනි කැපීමට ගිය ස්වාමියා සර්පයකු දෂ්ට කිරීමෙන් මරණයට පත්වේ. මේ නිසා ඔවුන්ට නොතෙමී
ඉන්නට පැලක් සෑදීමට අවකාශයක් නොලැබුණි. එසේ වුවත් මෙදින රාත්‍රියේ තම දරු පැටවුන්
දෙදෙනාට නොතෙමී ඉන්නට පටාචාරා ව පැලක් නිර්මාණය කළා ය.
“ දරුවෝ දෙන්න සුළං ශීත ඉවසා ගත නො හි හඬති. සිටු දුවණියෝ ද දරුවන් දෙන්නා බඩතුරෙහි
ලා ගෙන දෙ දණ ත් දෙ වැළ මිට ත් බිම ඔබා ලා නැඹුරු ව ගෙන සිට තුන් යම් රාත්‍රිය ගෙවා
පීහ.”
මේ එදින රාත්‍රියේ පටාචාරා ව ඒ ගනඳුරු මැදියම, අරුණලු දකින තුරු රැය පහන් කළ
ආකාරයයි. දෙදණත්, දෙවැලමිටත් බිම හොවාගෙන යන ප්‍රකාශයෙන් ඇය එදින රාත්‍රියේ දරුවන්
ආරක්ෂා කළ ආකාරය කිකිළියක තම අත්තටුවලින් වසාගෙන තම පැටවුන් රකින අයුරු අප කාගෙත්
සිතෙහි චිත්ත රූප මැවෙන්නකි. මෙය කියවන ඕනෑ ම පාඨකයකුගේ දෙනෙත කඳුළෙන් පිරී යනු ඇත.
දරුවන් පිළිබඳ ව මව තුළ ඇති දාරක සෙනෙහස පටාචාරාවගේ ගතත් සිතත් වෙළාගෙන ඇත. පටාචාර
ව දාරක සෙනෙහසින් සුන්දර වූ මනසත් ඇති උත්තම ගණයේ මවක් බව ඔප්පු කිරීමට ඉහත සාධකයට
වඩා තවත් සාධක කුමට ද?
සද්ධර්ම රත්නාවලියෙහි අපට හමු වූ පටාචාරා ව නැවතත් නුවර කලාවියේ වැවක් අද්දර පිහිටි
හේනක් අභියස පුංචි පැලක දී හමුවෙයි. අධිනීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්නයන් විසින් රචනා
කරන ලද ‘දවසක් පැල නැති හේනේ අකාල මහ වැසි වැස්සා’ යන ගීතයට පාදක වී ඇත්තේ මෙම
පටාචාරා කතාවස්තුව යැයි හැඟේ. එහි කොටසක් මෙසේ ය.
“දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුණා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ”
ස්වාමියා අහිමි ව තම දරුවත් සමඟ මේ පුංචි පැලේ ජීවත් වෙන ඇය දුක් දොම්නස නමැති අකාල
වර්ෂාවකින් ඇති තරම් දුක් වින්ද අම්මා කෙනෙකි.
එසේ වුව ද ඒ දුක් දොම්නස නැමැති වැසිවලින් තම දරුවා නොතෙමා, තුරුලේ හංගාගෙන ආරක්ෂා
කිරීම එදා පටාචාරා තම දරුවන් දෙදෙනා ආරක්ෂා කළ අයුරු අපට සිහි ගන්වයි.
පටාචාරා කතා වස්තුවෙනුත්, දවසක් පැල නැති හේනේ ගීතයෙනුත් සැබෑම වූ ද, අව්‍යාජ වූ ද
මානවහිතවාදී වූ ද ලොව සියල්ලන්ගේ ම පූජණීයත්වයට පත් වූ මාතෘත්වයෙහි සුන්දර බව
මැනවින් පිළිබිඹු වේ. කොතරම් භෞතික සැප සම්පත් තිබුණ ද සියල්ලට ම වඩා මවකට වටින්නේ
සිය දරුවායි. ඉහත සඳහන් කතාවලින් අපට සැඟවුණ තවත් අරුතක් කෙරෙහි කතුවරුන් අපගේ
අවධානය යොමු කරවයි. ඒ නම් දරුවන්ට ද, සියලු තනතුරු නිලතල, බලතලවලට වඩා ලොව වටින්නේ
මව්පියන් බව අවබෝධ කරවීමයි. |