සතුටෙහිදී පොරොන්දු දීමෙන්
දුකෙහිදී තීරණ ගැනීමෙන් ජීවිතයම වරදින්න පුළුවන්
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
වේගයෙන් එන සිතුවිලි ආවේගයන් ය. තාරුණ්‍යයේ බොහෝ ගැටලුවලට මුල සිතුවිලි පාලනය
නොවීමයි. ආවේග මත තමන් පිළිබඳ හදිසි තීරණ ගැනීම මෙන්ම, අන්‍යයන් උදෙසා ඉක්මන්
තීරණවලට එළඹිය හැකි ය.
බොහෝ සිදුවීම්වල මූලය ආවේගයයි. සියදිවි හානිකර ගැනීමේ සිට පුද්ගල දේපළ විනාශය ආවේග
මත සිදුවේ. කේන්තිය, වෛරය, දුක ආදී බොහෝ හැඟීම් පාලනය නොවීම මත තමන්ට මෙන්ම අනෙකාට
ද හානි සිදුවේ.
ඉඳුරන්ට වහල්වීම
වේගයෙන් එන වාහනයක් වේගය පාලනය කරගත නොහැකි විට තවත් වාහනයක හෝ ස්ථානයක ගැටේ. එසේ
නැතිනම් එකවර තිරිංග තද කිරීම මත වාහනය පෙරළීමට පත්වේ. පුද්ගල ආවේග හඳුනාගත යුත්තේ
මේ පදනමිනි.
ආවේග වර්ග දෙකකි. එනම් ධනාත්මක හා සෘණාත්මක වශයෙනි. ධනාත්මක ආවේග පාලනය කළ යුතු ම
ය. ආවේග පාලනය නොකිරීම සහ ඉඳුරන්ට වහල් වීම තරුණකමට නිගාවකි. ලොව ජයගත් සෑම
තරුණයෙක්, තරුණියක් ම හැඟීම් පාලනය කළ පිරිස් ය. සියලු සත්ත්වයන්ට හැඟීම් පවතී. ඉන්
මිනිසා, විශේෂ වන්නේ හැඟීම් පාලනය කිරීමට සමත් එකම සත්ව කොටස බැවිනි.
“මනස්ස උස්සන්නත්ථා මනුස්සා”
උසස් වූ මනසකින් යුක්ත බැවින් මිනිසා නම් වේ.
තිරිසන්ගත සත්වයා ජාන ඉව මත කටයුතු කරන අතර, මිනිසා මනස මූලික ව කටයුතු කරයි.
පෙනුමෙන් මිනිස්කම් ප්‍රදර්ශනය වුව ද සියල්ලෝම මනුෂ්‍යයෝ නොවෙති. පෙනුම මිනිස් වුව
ද ඇතැම් මිනිසුන් මෘගයන් හා සමාන ය. එසේ වන්නේ ආවේග පාලනය නොකිරීම නිසාවෙනි.
ආවේගය එකක් වුව ද එයට ප්‍රතිචාර දැක්වීම විවිධ ය. කෙනෙකු ප්‍රචණ්ඩ ව උත්තර දෙන
ඇතැම් ආවේග අවස්ථාවකට තවත් කෙනකු නිර්මාණාත්මක පිළිතුරු ලබා දෙයි. ඇතැම් ගීත, කවි,
කලා කෘති, නාට්‍ය, චිත්‍රපටි නිර්මාණය වූයේ මෙහි ප්‍රතිඵලයක් හැටියට ය.
තනිකම සාමාන්‍යයි
‘දුක’, ලාංකේය තරුණයන්ට නිරන්තර ව ඇතිවන තත්ත්වයකි. අහිමි වීම, තරහ වීම, අරමුණු සඵල
නොවීම සම්බන්ධතා නතර වීම, පි‍්‍රයයන්ගෙන් වෙන් වීම, වැනි හේතු නිසා දුක හටගනී. බොහෝ
තරුණ තරුණියන් එහිදී අධ්‍යාපනය නතරකර, රැකියා අහිමි කරගනිමින්, තමාගේ එදිනෙදා
ජීවිතය අසාර්ථක කර ගනී. එසේම නොකා නොබී හැඬිමට, වැළපීමට කටයුතු කරයි. බුද්ධිමත් ව
කල්පනා කළ යුතු වන්නේ මේ භවයේ දී පමණක් නොව අප සසරේ දී ම තනි වූ මිනිසුන් ලෙස ය.
යමකට සිතින් ලබාදුන් වටිනාකමක් හැරුණාම එහි ගත යුතු යමක් ඇත්තේ නැත.
තවද ඉදලක එක ඉරටයක් දෙකක් කැඩුණ විට මුළු ඉදලම අනවශ්‍ය යැයි ඉවත්කරන සිරිතක් අප තුළ
ඇත්තේ නැත. එවන් පසුබිමක බලාපොරොත්තු එකක් දෙකක් නැති වූ විට සමස්තය ම එපා යැයි
අනවශ්‍ය ලෙස කළකිරී දුකට පත්වීම නුසුදුසු ය.
දුකක් ඇති වූ විට තමන් විසින් තමන්ට දඬුවම් කර ගැනීම තාරුණ්‍යයට නොගැළපේ. යෞවන
යෞවනියන් ලෙස ඉතා අවධාරණයෙන් සිහි තබාගත යුතු කාරණා 03 කි. එනම් තරහින් සිටිනවිට
පිළිතුරු දීම, සතුටින් සිටින විට පොරොන්දු දීම හා දුකින් සිටින විට තීරණ ගැනීමයි.
මේ කරුණු තුනෙන්ම වැළකිය යුතු ය. විශේෂයෙන් දුකින් සිටින විට තීරණ ගැනීමේ දී එය
දෙලොව ම අඳුරුවීමට හේතුවිය හැකි ය.
අසීමිත තක්සේරුව
කේන්තිය පාලනය විය යුතු ආවේගයකි. බොහෝ තරුණ තරුණියන් තම ශරීර ශක්තිය පිළිබඳ අසීමිත
තක්සේරුවක් ඇති කරගෙන අනියමාර්ථයේ පවා කේන්ති ගනී. මේ තුළ අධ්‍යාපනය රැකියාව පමණක්
නොව අනවශ්‍ය සෞඛ්‍ය ප්‍රශ්න නිර්මාණය වේ. කේන්ති ගිය පසු ඇස් දෙක වැසී කට විවෘත වේ.
ඒ මත සභ්‍යත්වය, ශිෂ්ටබව පවා වියැකී යයි. ඇතැමුන්ට කේන්ති නොගෙන සිටින්න යැයි
උපදෙස් ලබාදුන් විට තම කේන්තිය සාධාරණීකරණය කිරීමට ඔවුන් කටයුතු කළ ආකාරය සමාජයේ දී
පැහැදිලි ය.
ඔවුන්ට අනුව ‘මට කේන්ති යනවා නොව අසාධාරණය මට පිළිකුල් සහගතය’ වැනි උත්තර ලබාදේ.
විය යුත්තේ තමා නිවැරැදි යැයි සිතීම නොව කේන්තිය පාලනය කර ගැනීම ය.
ඇතැමෙක් තම පෞරුෂය පෙන්වන මෝඩ උපක්‍රමයක් ලෙස කේන්ති ගැනීම හඳුනා ගත හැකි ය.
කේන්තිය මත දේපළ මෙන්ම පුද්ගල හානි සිදුවීම සාමාන්‍ය ස්වභාවයකි. කේන්තිය පාලනය කළ
නොහැකි වූ විට තමන් තමන්ටද බොහෝ හානි සිදුකරගනී. කොලොන් ගහේ අත්තක් කඩා වැටීම මත
කේන්තිගත් වලසා එයින් පළි ගැනීමට ගස කැපීමට පෙළඹීම මත වලසාට තම ජීවිතය අහිමිවිය.
මෙවැනි අතීත සිදුවීම් ගෙන බැලූ වද කේන්තිය තුළ අලාභ මිස ලාභ ඇත්තේ නැත.
ආවේගශීලී ද?
මිනිස් මනස දූෂණය කරන වෛරය තවත් බරපතළ ආවේගයකි. කොහොම කෙසේ කීවත් වෛරයෙන් වෛරය
සන්සිඳීමක් නැත. අප සසර නැති කළ යුත්තේ වෛරක් කාරයන් නොව වෛර ස්වභාවයයි. ඇතැම්විට
වැඩිහිටියන් එවන් තත්ත්වයකින් පෙළුණ ද තරුණ ප්‍රජාව ලෙස එය තේරුම් ගත යුතු වේ.
උපකාරක පන්ති, රැකියා ස්ථාන තුළ දී බොහෝවිට ජීවිත පවා අහිමි වන්නේ මෙම ආවේග මත ය.
තමන්ගේකම්, අනුන්ගෙකම් තාවකාලික ය. ඒ මත දීර්ඝකාලීන වෛරයන් පවත්වා ගෙන යාම දැන
උගත්කම්වලට පවා සිදුකරන අසාධාරණයකි.
අප කිසිවකු ගෙනයන දෙයක් ඇත්තේ නැත. ජීවිත ඒ තරම් ම අවිනිශ්චිත ය. වෙනස්වන ලෝකයේ
තාක්ෂණය ගැන මහත් දැනුමක් ඇති තරුණ පරපුර ඉහත කාරණය තේරුම් ගන්නේ නම්, එයම තම ජීවිත
ආලෝකමත් කර ගැනීමට හේතු වේ.
ආවේග පාලනය කිරීම පිළිබඳ බොහෝ ඉගැන්වීම් බුදු දහමේ ඇති අතර ඒ අතර විතක්ක සණ්ඨාන
සූත්‍රය ප්‍රධාන වේ. මේ සූත්‍රය තුළ එය දීර්ඝ වශයෙන් විස්තර වේ. ලෝභ, ද්වේෂ, මෝහ
සහිත අදහස් ඇති වූ විට ඊට ප්‍රතිවිරුද්ධ එනම් අලෝභ, අදෝෂ, අමෝහ සිතුවිල්ලක් සකසාගත
යුතු ය. එසේ වූ විට පෙර දැක් වූ අකුසල චේතනා පහ වී යයි. එය සූත්‍රය තුළ ඉතා
ප්‍රායෝගික ව විස්තර කරයි.
එනම් දක්ෂ වඩුවෙක් කුඩා ඇණයකින් ලොකු ඇණයක් ගලවා දමන්නේ යම් සේ ද ඒ අයුරින් ලාමක
අකුසල පිටකරනු ලබයි.
සර්ප කුණ
යම් විටෙක නරක, ලාමක අකුසල පහළ වන්නේ ද, එහි ආදීනව හෙවත් නරක ප්‍රතිඵලය ගැන සිතිය
යුතු ය. අලංකාරයට කැමති යම් තරුණයකු හෝ තරුණියක සර්ප කුනක් බලු කුණක්, මිනී කුණක්
බෙල්ලේ එල්ලා ගැනීමට අකමැති වන්නේ ද, එපරිද්දෙනි. අලංකරණය යනු බාහිර ස්වභාවය පමණක්
නොවේ. හොඳ ඇඳුම් පැළඳුම් අඳින තරුණ තරුණියන් බබළන්නේ අභ්‍යන්තර පිරිසුදු භාවයට පත්
වුවහොත් පමණි. සර්ප කුණට, බලු කුණට අකමැති නම් ළාමක අකුසල් වලට ද අකමැති විය යුතු
ය. ඇතිවන අකුසල කල්පනා මෙනෙහි නොකිරීමට සිත සකසාගත යුතු ය. එසේම එම කල්පනාවන්ගේ මූල
හේතුව හඳුනාගත යුතු ය. එය සූත්‍රයේ දක්වන්නේ සතර ඉරියව් පවත්වන පුද්ගලයා තමන්ගේ
ක්‍රියාවන් සම්බන්ධ ව මනාව මෙනෙහි කරන්නා සේ මුල හේතුව හඳුනා ගත යුතු බවයි. එසේ
හඳුනාගත් පසු සිතින් සිත නිග්‍රහකොට මැඩ පැවැත්විය යුතු ය.
පෞරුෂය
ළාමක අකුසල් එසේ මැඩ පැවැත්වීම නැවත සූත්‍රය මෙසේ දක්වයි.
යම් ශක්තිමත් පුරුෂයකු දුර්වල කෙනකු හිසෙන් හෝ ගෙලෙන් හෝ අල්ලා නිග්‍රහ කරන ආකාරයට
ළාමක සිතුවිලි මැඩ පැවැත්විය යුතු ය. ආවේගයන්ගේ මූල හේතුව ඉහත දැක්වූ අකුසල් මූලයන්
ය. එය මනාව තේරුම්ගෙන සිතේ වහලෙකු නොවී ආවේග පාලනය කළ යුතු ය. හොඳ පෞරුෂයක් ඇත්තකු
ලෙස සමාජගත විය හැක්කේ එවැනි තරුණ පරපුරකට පමණි. |