Print this Article


සිරිපා කරුණා සමයේ පුදසිරිත්මෙවරත් චාරිත්‍රානුකූලව ම ඉටුකරනවා

සිරිපා කරුණා සමයේ පුදසිරිත් මෙවරත් චාරිත්‍රානුකූලව ම ඉටුකරනවා

සුරරද සමන් සමගින් සුරඟන එ වර
පැහැනද මදාරා පරසතු මල් පතර
කැර පුද වඳීන රැඳී මුනි සිරි පා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර
සැළලිහිණි සන්දේශය

අතීතයේ සිට මෙරට වන්දනාකරුවන් ශ්‍රී පාද වන්දනාව සෙසු වන්දනාවන්ට වඩා වෙනස් ලෙසකින් සිදු කළ බව ඉතා පැහැදිලියි. වෙනත් වන්දනාවන්හි දී ස්ථාන කිහිපයක් යොදා ගත්තත් සිරිපා වන්දනාවේ දී එය පමණක්ම යොදා ගන්නේ එය දුෂ්කරම මෙන්ම විශාල ගෞරවයක් සහිතව වචන පවා ඉතාම සංවරව භාවිත කරමින් ගමන් කළ යුතු වන්දනාවක් වීම නිසයි.

සිරිපා වන්දනාව ඇරැඹෙන්නේ පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ උඳුවප් පොහෝ දිනට පෙර සිරිපා මළුවට වැඩම කිරීමෙන් පසුවයි. ඒ අනුව දෙසැම්බර් 27 වැනිදා පෙරහරින් සමනල කඳු මුදුන වෙත වැඩම කිරීමට කටයුතු යොදා තිබුණා. වෙනදා එම පෙරහර ස්ථාන රැසක නවත්වා ජනතාවගේ ගෞරව බුහුමන්වලට ලක් වුණත් මෙවර පෙරහර අතරමඟ කිසිදු ස්ථානයක නවත්වන්නේ නැහැ.

එහෙත් ජනතාවට පෙරහර නැරැඹීමටත් එයට වන්දනාමාන කිරීමටත් අවස්ථාව සලසා තිබෙන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුවයි. එමෙන්ම 28 වැනිදා පෙරහර සිරිපා මලුවට පැමිණෙන විට පෙරහර පිළිගැනීමට එහි ගොස් සිටි විශේෂ කණ්ඩායම ද මෙවර පූර්වයෙන් ගමන් කරන්නේ නැහැ. හැකි උපරිම ලෙසින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීමයි එයින් අදහස් වන්නේ.

උඳුවප් පුර පොහෝ දිනෙන් ආරම්භ වන වන්දනාව වෙනදා මෙන් නොව මෙවර විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පවත්වන්නට සිදු වෙනවා.

ඒ අනුව සිරිපා වන්දනාවට සහභාගි වන සියලු දෙනා පළමුව තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම්වරයාගේ වාර්තාවක් ලබ ගත යුතුමයි. එම සහතිකය නොමැතිව වන්දනා කරන්නට හැකියාවක් නැහැ. තමන් සමඟ ගමන් කරනු ලබන සෙසු අයගේ විස්තර ද සැපයෙනවා.

යම් හෙයකින් වසංගත රෝගයක් වැළ¼දී ඇති අයෙක් හෝ රෝගය වැළඳුණු අයකුගේ ආශ්‍රිතයෙක්, සමීපතමයෙක් හෝ නිරෝධායනයට ලක් කර තිබූ අයෙක් වුවහොත් ඒ අයට වන්දනාවට අවසර ලැබෙන්නේ නැහැ. ඔවුන්ට පසු කලෙක වන්දනා කරන්නට පුළුවන්. එය හුදෙක්ම සෞඛ්‍ය අංශ විසින් වන්දනාකරුවන්ගේ ආරක්ෂාව පිණිස ගත් තීරණයක් බව පෙන්වා දිය යුතුමයි.

එසේ නොමැතිව වන්දනාකරුවන් අපහසුතාවට පත් කිරීමට ගත් තීරණයක් නොවන බව වන්දනාකරුවන් අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්.

උඳුවප් පොහෝ දිනෙන් පසුව ප්‍රධාන මාර්ග 4න් හැටන් -නල්ලතන්නිය පාර, රත්නපුර පාර, දැරණියගල උඩමාලිබොඩ පාර, මරේ වත්ත පාර යන ඕනෑම මාර්ගයකින් පැමිණෙන්නට පුළුවන්. ඒ සඳහා මේ ප්‍රධාන මාර්ග 4ටම අවශ්‍ය පහසුකම් සපයා තිබෙනවා.

වන්දනාකරුවන්ට අවශ්‍ය කරන පහසුකම් මෙන්ම අනෙක් සියලු සෞඛ්‍ය කටයුතු සපයා දෙන්නට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ රත්නපුර දිසාපතිනි, මහනුවර දිසාපති, නුවරඑළිය දිසාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා සෞඛ්‍ය බලධාරීන් විසින් වන්දනාවන් සිදු කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සම්බන්ධ ව තීරණ ගෙන තිබෙනවා.

ඒ අනුව අනිවාර්යෙන්ම මුඛ ආවරණ පැළඳීම, අත් සේදීම ඇතුළු සියලු සෞඛ්‍ය කටයුතු කළ යුතු වෙනවා. එමෙන්ම වන්දනාකරුවන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් මෙන්ම සනීපාරක්ෂක පහසුකම්ද සපයා තිබෙනවා.

මේ වසංගත තත්ත්වයන් හමුවේ වන්දනාකරුවන් පැමිණීම හෝ නොපැමිණීම කළ යුතු යැයි පවසන්නට බැහැ. වන්දනාකරුවන් එනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ඒ වන්දනාකරුවන් විසින්මයි.

නමුත් සිරිපාද විහාරාධිපති වහන්සේ ලෙසින් කළ යුතුවන්නේ වර්ෂ 1752 සිට පවත්වාගෙන ආ පුදසිරිත් එලෙසින්ම පැවැත්වීම බව පෙන්වා දිය යුතුයි. ඒ පුද සිරිත් අනිවාර්යෙන්ම මැයි මාසයේ සිරිපා වන්දනා සමය අවසන් වන තුරු සිදු කරනවා.

මෙරට ඉපැරැණිම මෙන්ම දීර්ඝ වන්දනාවක් වන සිරිපා වන්දනාව බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී පාදස්ථානය පිහිට වූ ස්ථානයක් ලෙසින් මෙන්ම තවත් හේතූන් කිහිපයක් නිසා බෞද්ධයන්ට වැදගත් වනවා.

මාර්ගඵල ලැබූ සුමන සමන් දෙවියන්ගේ වැඩ සිටි ස්ථානයක් වීමත් මෙහිලා අපට වැදගත් වනවා. සෝවාන් ඵලයට පත් වූ අයෙක් වාර 7කට වඩා යළි උත්පත්තිය ලබන්නේ නැහැ. එමෙන්ම දෙවියන්ගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබීමත් මෙහිලා අපට වැදගත් කරුණක්.

උපුල්වන් දෙවියන්ගේ ආරක්ෂාවෙන් පවතින්නා වූ සිරිපා පින් බිම අපට වැදගත් වන තවත් අතීත පුරා වෘත්තයන් රැසක්ම තිබෙනවා.

කෙසේ හෝ කාලයක් තිස්සේම අන්තර්ජාලයේ ශ්‍රී පාදස්ථානය පෙන්වා දී තිබුණේ Adam’s Peak යනුවෙන්. නමුත් අපි කෙසේ හෝ උපරිම උත්සාහය දරා එය ගෞතම ශ්‍රී පාදස්ථානය යනුවෙන්ද අන්තර්ගත කළා. දැන් අපට සිංහල භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙනුත් ‘ගෞතම ශ්‍රී පාදස්ථානය‘ යනුවෙන් එය අන්තර්ජාලයෙන් හැඳීන්වීම කළ හැකියි.

අතීතයේ අපේ ගීතවල සඳහන් වූ ලෙසින් ‘ ගෞතම ශ්‍රී පාද වඳිමි සමනල කන්දේ ‘ යන්න යළි ස්ථාපිතව තිබෙනවා.

එය සිහි ගැන්වීම පිණිස පසුගිය වසරේ ජීවමාන රූපයකට සමානව ලක්ෂ 50ක වියදමින් රන් ආලේපිත බුදු පිළිමයක් උඩ මලුවේ තැන්පත් කළා. එය වටිනාම කාර්යයක් ලෙසින් හඳුන්වා දෙන්න පුළුවන්.

ශ්‍රී පාදස්ථානය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝක උරුමයක් ලෙසින් අප ආරක්ෂා කළ යුතු වෙනවා.

ශ්‍රී පාදයට අයත් විශාල භූමි වපසරියක් කාලාන්තරයක් තිස්සේම අයත්ව තිබුණේ වන ජීවී වන සම්පත් හා ඉඩම් සම්බන්ධ වෙනත් ආයතනවලටයි. නමුත් සමනොළ අඩවියට අයත් භූමි භාගය පසු ගිය වකවානුවේ ඒ වෙනුවෙන් වෙන් කර නම් කරනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී පාදස්ථානයේ විශේෂ සංවර්ධන කටයුතු මෙන්ම වන්දනාකරුවන්ට පහසු වන ආකාරයේ කටයුතු කිහිපයක්ම පසුගිය කාලයේ සිදු කළා.

විශේෂයෙන්ම හැටන් මාර්ගයේ ගමන් කිරීමේදී වන්දනාකරුවන් දැඩි අපහසුතාවකට පත්වන අවස්ථා තිබුණා. ඒ පඩි අතර පරතරය වැඩිවීම නිසා. නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඒ සියල්ල පහසුවෙන් ගමන් කළ හැකි ලෙසින් ස්ථාපිත කළා. එමෙන්ම මහගිරිදඹේ අත්වැට පහළ දක්වාම දිගු කළා

මෙවර වන්දනාකරුවන් විසින් අනිවාර්යෙන්ම අත් සේදීම පිණිස ලබා දී ඇති ස්ථානවලදී ඒ කටයුතු සිදු කළ යුතු වෙනවා. එමෙන්ම පරිසරයට හානිවන කිසිදු කාර්යයක් නොකළ යුතුයි. විශේෂයෙන්ම තමන්ගේ මුඛ ආවරණ තැන් තැන්වල නොදැමීමටත් ඒවා බැහැර කළ යුතු ස්ථානවල පමණක් බැහැර කිරීමටත් කටයුතු කළ යුතුයි. පොලිතින් හෝ ‘සිලිසිලි බෑග්‘ ගෙන යාමට අවසර නොදෙන බවත් යළි මතක් කළ යුතු වෙනවා.

මේ වසරේ මාර්තු මාසයේ සිට කොරෝනා වසංගතය පැතිරුණු නිසා ඇතැම් අය අවාරේ සිරිපා කරුණා කර තමන්ගේ භාරහාර ඉටු කළා. එහෙත් මෙවර අවාරේ සිරිපා වන්දනාවට ඉඩ ලබා නොදෙන බව පැවසිය යුතුයි. ඒ සෞඛ්‍යාරක්ෂිත හේතූන් මතයි.