Print this Article


ධර්මයෙහි ම රැකවරණය ලබමු

ධර්මයෙහි ම රැකවරණය ලබමු

ධර්මය නම් දරා සිටීම යන්න යි. එනම් සත්ත්වයා සතර අපායටත්, සංසාර දුක්ඛයටත් වැටෙන්නට ඉඩ නො දී ආරක්ෂා කිරීම යි. එය ධර්මයෙන් හැර වෙන කිසිදු බලවේගයකින් කළ නො හැක්කකි.

ධර්මය අවබෝධ කොටගෙන ලෝකයාට දේශනා කළේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ ධර්මයට පළමු තැන දෙනු වස් ධර්මය ගුරු තනතුරෙහි තබා ගත්තේ ද ධර්මයේ ඇති වටිනාකම දත් බැවිනි. එසේනම් එවැනි උතුම් ශ්‍රී සද්ධර්මයක් අසන්නට, ස්පර්ශ කරන්නට හැකිනම් එය මොන තරම් භාග්‍යක් ද?

ධර්මය ඇසීමේ අනුසස්

ධර්මය ස්පර්ශ කිරීමේ වටිනාකම බෝසත් චරිතය තුළින් ම අපට වටහා ගැනීමට බොහෝ සාධක හමු වේ. ධර්මය ඇසීමෙන් අනුසස් පහක් දිට්ඨධම්මවේදනීය වශයෙන් ලබා ගැනීමට පුළුවන. එනම්,

අස්සුතං සුනාති (නො ඇසු දේ අසන්නට ලැබීම) සුතං පරියෝදපේති (ඇසූ දේ නිවැරැදි කරගත හැකි වීම)කංඛා විතරති (ධර්මය තුළ පවත්නා සැක නැතිවීම) දිට්ඨිං උජුං කරෝති (දැකීම නිවැරැදි වීම) චිත්තමස්ස පසීදති (සිත පැහැදීම)යනුවෙනි.

බුදුරජාණන් වහන්සේ දැකීමට අවශ්‍ය නම් පළමු ව ධර්මය දැකීම කළ යුතු ය. “යො ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් ධර්මය දකී ද හෙතෙම බුදුරදුන් දකි යි. දස පුණ්‍යක්‍රියා තුළ ධර්මය දේශනා කිරීමත්, ධර්මය ශ්‍රවණය කිරීමත් 8,9 අංක වලට යෙදී ඇත. ඒ අනුව ධර්මය තුළ ඇති වටිනාකම මනාව පිළිබිඹු වේ. ලෝකයේ පවතින දුර්ලභ කරුණු අතර ධර්මය ඇසීම ද දුර්ලභ කරුණක් බව ධම්ම පදයේ බුද්ධ වග්ගය තුළින් පැහැදිලි වේ. “කිච්ජං සද්ධම්ම සවණං” බණ ඇසීම දුර්ලභ ය. “සුඛා සද්ධම්ම දේශනා” සද්ධර්මය දේශනා කිරීම සැපතකි. දුර්ලභ ව ලැබූ මිනිසත් බව ප්‍රයෝජනයට ගෙන ධර්මය ඇසීම කළ යුතු ය. “කාලෙන ධම්ම සවණං” ධර්මය ශ්‍රවණය කිරීම මංගල කරුණක් ලෙස මංගල සූත්‍රය තුළින් දේශනා කළේ එම හේතුවෙනි. එම සූත්‍රයේ ම “කාලේන ධම්ම සාකච්ඡා” සුදුසු කල ධර්මය ශ්‍රවණය කිරීම ද මංගල කරුණක් ලෙස දේශනා කොට ඇත.

අගය හඳුනාගැනීම

ධර්මයේ ඇති වටිනාකම, අගය හා අනුසස් සෑම තැනක ම ඉතා මැනවින් විග්‍රහ වී ඇත. මිනිසත්කම හැර ධර්මයෙන් ප්‍රයෝජන ගැනීමට සුදුසු ආත්ම භාවයක් තවත් නොමැත. බුදුරදුන් දෙසූ ධර්මය තුළින් එදා සමාජයේ විවිධ පිරිස් ප්‍රයෝජනය ගත් අයුරු විවිධ සූත්‍ර තුළින් අනාවරණය වේ.

ඒ අතර ආලවක සූත්‍රය ද ඉතා වැදගත් වේ. ආලවක නම් ගෝත්‍රික මිනිසා බුද්ධිමත් ව ධර්මයෙන් සරණ ගිය තැනැත්තෙකි. ඔහු බුදුරදුන්ගෙන් මනාකොට පුරුදු කරන ලද හෙවත් රැස් කරන ලද කවරනම් ධර්මයක් සැප වේද යනුවෙන් ප්‍රශ්න කළ කල්හි බුදු රදුන් උත්තර දෙනු ලබන්නේ “ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති” යනුවෙනි. එනම් පුරුදු කරන ලද කුසල ධර්මය තෙම සැප ඵලවයි යනුවෙනි.

බොහෝ දෙනෙක් බණ ඇසීමට මැලිවෙති. ඊට වඩා කැමැත්තෙන් සිංදුවක් වැඩකට නැති දෙයක් ඇසීමට හෝ බැලීමට කැමති වෙති. ඒ අනුවණකම හා ධර්මයෙහි ඇති වටිනාකම නොදන්න බැවිනි. ධම්ම පදයේ සහස්ස වග්ගය තුළින් දක්වා ඇත්තේ එවැනි අයට සුදුසු උපදෙසකි. ඒ

අනර්ථය සිද්ධ කරන වචන දහසක් වුවත් උතුම් නොවේ. ඇසීමෙන් කෙලෙස් සංසිඳෙන, අර්ථවත් එකම වචනය පවා උතුම් වේ යනුවෙනි .

ඒ අනුව ධර්මය තුළ ඇති එක වචනයක්, එක පදයක්, එක ගාථාවක් ඇසුව ද එතුළින් වුවද ජීවිතය සකස් කර ගැනීමට පුළුවන.

අෂ්ට දුෂ්ඨක්ෂණවලට හසු වීමේ දී ධර්මය අසන්නට තබා හිතන්නටවත් නොහැක. එවැනි යුග වුව ද මේ සංසාර චක්‍රය තුළ සැරිසරන සත්ත්වයාට හසුවීමට පුළුවන. නමුදු අද මේ ගෙවෙන්නේ බුදු කෙනෙක් පහළ වූ, බුද්ධ ශාසනය පවතින, ධර්මය අසන්නට හැකි කාලයක යි. එයින් ප්‍රයෝජන ගැනීම තම තම නැණ පමණින් කළ යුතුව ඇත.

ධර්මය ප්‍රඥාවන්තයින්ටයි

ධර්මය ප්‍රඥාවන්තයින්ට මිස අනුවණයන්ට නොවේ. අද මෙ තරම් ධර්මය අසන්නට තිබියදී සමහරු ධර්මය අසනවාට වඩා තමන්ගේ ගෙදර දොරේ වැඩක් කර ගන්න එක හොඳයැයි සිතා එයින් බැහැර වෙති. නැතිතම් එම උතුම් අවස්ථාවෙන් මඟ හරිති.

එවැනි අය හරියට බොහෝ සුවඳ විහිදුවන නෙළුම් මල් වනය නිල මැස්සන්ට රුචි නො වන්නාක් වැන්නවුන් හා සමාන ය. ඔවුන් බුදුසරණ හැර අන් සරණකින් මොක් සැප පතන්නවුන් ය. අප මහා බෝසතාණෝ බුද්ධත්වය උදෙසා පෙරුම්දම් පුරන සමය තුළ එක් ආත්ම භාවයක ඉපදී ධර්මය සොයාගෙන යන අතර තුරදී ධර්මය දත් රකුසෙකු හමු වී ඔහුගෙන් ධර්මය ඇසීමට නම් ජීවිතය දිය යුතු ය. ඔහුගේ කුසගින්න පිරවිය යුතු ය. ජීවිතය පවා පූජා කොට බණ පදයක් ඇසූ ආකාරය ජාතක පොත් වහන්සේ තුළ 540 වන ධම්ම සොණ්ඩක (දහම් සොඬ) ජාතක කතාව තුළින් අනාවරණය වේ.

යටගිය දවස බරණැස් නුවර බඹදත් නම් රජුට දහම්සොඬ නම් කුමාරයෙක් විය. පිය රජුගේ ඇවෑමෙන් රාජ්‍යශ්‍රියට පත් දහම්සොඬ රජතුමා දිනක් සිරියහනෙහි හිඳ සිතනුයේ

“ධර්මයෙන් තොර රාජ්‍ය පාලනයෙන් වැඩක් නැත. ඒ නිසා ධම්ම ශ්‍රවණය කරන්නෙමි”යි සනිටුහන් කොට පසුදින ධර්‍මය දන්නා කෙනෙක් ඇත්දැ”යි විමසා සිටියේ ය. එක ගාථාවක් හෝ දන්නා කෙනෙක් රජුගේ විජිතයෙහි නොවූ හ. අවසානයේ දී එතුමා “ධර්‍මය නො දැන ජීවත්වීමෙන් වැඩක් නැතැ”යි සිතා වනගත විය. එකල්හි ශක්‍ර දේවේන්ද්‍රයෝ රජුගේ අදහස මුදුන්පත් කරනු සඳහා මහා රකුසු වෙසක් මවාගෙන රජු ඉදිරියට පැමිණ තමන් ධර්‍මය දන්නා බවත්, එහෙත් සාගින්නෙන් පෙළෙන් බැවින් බණ කීමට කලින් යමක් අනුභව කළ යුතු බවත් පැවසූහ. එකල රජතුමා තමා සතු කිසිවක් නැති බව පවසා ඒ වෙනුවෙන් තමාගේ ජීවිතය පූජා කිරීමට හැකි බව පැවසී ය.

ජීවිත පූජාව

ඒ සඳහා ධර්‍ම ලාභයත් , මාංස ලාභයත් එකවිට සිදුවන අයුරු තුන් ගව් පමණ පර්වතයක සිට රකුසාගේ කටට පැනීමටත්, ඒ වැටෙන මොහොතෙහි ධර්‍මය ප්‍රකාශ කරන ලෙසටත් කතිකා කොට රජතුමා පර්වත මුදුනෙහි සිට රකුසාගේ කටට පැන්නේ ය. රකුසා ඒ මොහොතෙහි අනිච්චා වත සංඛාරා යන ගාථාව ප්‍රකාශ කෙළේ ය. ඒ අතර ම රකුසු වෙස අත්හළ ශක්‍රයා දහම්සොඬ රජු දෝතින් වඩාගෙන දෙව් ලොවට රැගෙන ගොස් දිව සැපත් දක්වා නැවත සිය රාජ්‍යයෙහි පිහිටුවා දෙව් ලොව ගියේ ය.

ධර්මයට කැමති තැනැත්තා දියුණුවට පත් වෙයි. “ධම්ම කාමෝ භවං හෝති” ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙන්නේ වෙයි. “ධම්ම දෙස්සී පරාභවෝ” යනුවෙන් පරාභව සූත්‍රය තුළින් දක්වා ඇත්තේ එලෙසිනි. අප නිරතුරුව ම ධර්මයත් සමඟ ජීවත් විය යුතු ය. ධර්මය ඇසිය යුතු ය. එය සිතේ ධාරණය කරගත යුතු ය. එය ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධකොට ගෙන වර්ධනය කළ යුතු ය. “සුනාථ, ධාරේථ චරාථ ධම්මේ” යනුවෙන් දේශනා කළේ එම කාරණය යි. එයට හේතුව අප කුමන අයුරින් ජීවත් වුවද ධර්මයෙන් සිදු කරන කාර්ය වෙන කිසිදු දෙයකින් හෝ කිසිදු කෙනෙකුගෙන් සිදු නොවීම යි. මව්පිය, දූ දරු, ස්වාමි, භාර්යා ආදී සම්බන්ධතා තිබුණ ද ඒවා ද තාවකාලික ය.

ඒ ඒ සම්බන්ධතාවලට වුව ද ධර්මයෙන් කළ යුතු දේ කිරීමට අපහසු ය.

මේ ආදී කරුණු විමසා බැලීමේ දී ධර්මය තුළ ඇති වටිනාකම තහවුරු වේ. ධර්මය තුළ හැසිරෙන්නන්ට අමුතු ආරක්ෂාවක් අවශ්‍ය නැත. ධර්මය විසින් ම එම ආරක්ෂාව ලැබේ. ඒනිසා අප නිරතුරුව ම ධර්මයට ළංවිය යුතු ය. සියලු දේට වඩා ධර්මය පිහිටකොට ගත යුතු ය. අප එදිනෙදා භෞතික සම්පත් හරහා විඳින සැප සම්පත් තාවකාලික ය. ඒවා සියල්ල ක්‍ෂණයකින් විනාශ වනු ඇත. මිය යෑමේදී ඒවාගෙන් ප්‍රයෝජනයක්ද නැත. නමුදු ධර්මය සමඟ ජීවත් වන්නන්ට මෙලොව වශයෙන් සංදෘෂ්ඨික වශයෙන් ප්‍රතිඵල ලැබෙන අතර ම, පාරලෞකික වශයෙන් ද සතර අපාදී දුක්වලට වැටෙන්නට ඉඩනොදී ධර්මය විසින් දරා සිටිනු ඇත. එපමණක් නොව අනන්ත අප්‍රමාණ දුක් දරමින් සැරිසරන සංසාර ගමන ද නිමාකොට උතුම් අමා නිවන් සුව ලබා ගැනීමට ද ධර්මය ම මහෝපකාරී වනු ඇත.