Print this Article


අටවිසි බෝධි පුරාණය 18: ශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන්වැට ඉතිහාසය

ශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන්වැට ඉතිහාසය

සඟමිත් තෙරණින් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීම සඳහා දඹදිව තාම්බ්‍රලිප්ත නැව් තොටින් පිටත්ව, සිරිලක ජම්බුකෝලපට්ට හෙවත් දඹකොළ පටුනට ගොඩබැසීම සම්බන්ධ විශිෂ්ට විසිතුරු විවරණයක් මහා වංශයෙහි දහනව වන පරිච්ඡෙදයේ ඇතුළත් වේ.

එහි සඳහන් තොරතුරු හා මහාබෝධි වංසය වැනි ග්‍රන්ථ සමඟ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම පිළිබඳව කරුණු විමසීමේ දී දේවානම්පියතිස්ස රජතුමා ගේ මැදිහත්වීමෙන් රාජකීය උත්සව පැවැත් වූ බවත් පැහැදිලි කරුණක්.

බෝධින් වහන්සේ අනුරාධපුර මහමෙව්නා උයනට වැඩම කොට බෝධි රෝපණය කළ ආකාරය ද, ඉහත සඳහන් ග්‍රන්ථ තුළින් මනාව පැහැදිලි වේ. ඒ අනුව බලන විට මහා වංශයෙහි බෝධිය රෝපණය කළ ආකාරය , කාලවකවානුව, වේලාව, සඳහන් කර ඇත. එනම්,

ඔරෝහිත්වා මහා බෝධි
සුරියත්ථංගමේ තතෝ
රෝහිණියා පතිට්ඨාසි
මහියං කම්පි මේදිනී

මහා වංශයේ දහනව වන පරිච්ඡේදයේ හතළිස් හය වන ගාථාවට අනුව බෝධීන් වහන්සේ රෝපණය කර තිබෙන්නේ බුද්ධ වර්ෂ 236 උඳුවප් මස පුර තුදුස්වක වප් පොහෝ දින සවස් කාලයෙහි රෙහෙණ නැකත උදා වූ වේලාව අනුව බව සඳහන් වේ. බෝධිය රෝපණය කොට ඇත්තේ ද , සවස් කාලය තුළ බව ඉහත සඳහන් ගාථාවෙන් තවදුරටත් තහවුරු වේ.

ඉන්දියාවේ සිට ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව වැඩම වන ලද රන් කටාහය හෙවත් රන් පාත්‍රයෙහි ප්‍රමාණය, වැලිමිටියාවේ ධම්මරක්ඛිත නා හිමිපාණන් වහන්සේගේ කෘතියෙහි සඳහන් කරන ආකාරය මෙහි උපුටා දැක්වීම වැදගත් වේ. එනම්,

1. වට ප්‍රමාණය රියන් නවය යි.

2. උස රියන් පහ යි .

3. විෂ්කම්භය රියන් තුන යි.

4. මුව විට (ගෙඩිය) තරුණ ඇතකුගේ සොඬය පමණ වේ.

ආදී වශයෙන් එහි එම පාත්‍රය පිළිබඳ ප්‍රමාණය දක්වා ඇත. විශේෂයෙන් ම කටාහ යන වචනය පාලි ශබ්ද කෝෂවල තේරුම් දී ඇත්තේ විශාල භාජනය , තාච්චිය යන අදහසයි.

මේ ආකාරයට රෝපණය කරන ලද බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟම විවිධ ශිල්පීය දක්ෂතාවයන්ගෙන් යුත් පිරිස් පැමිණි බවත්, මහා බෝධිවංසය ආදී ග්‍රන්ථවල සඳහන් වේ. එම තනතුරුවලට අමතර ව දේවානම්පියතිස්ස රජතුමා ස්ත්‍රී පාර්ශවය වෙනුවෙන් තනතුරක් ද පිරිනමා ඇත. එනම්,

මහා බෝධියට රන් රිදී කළ ගෙන පැන් වත්කිරීම රාජ කන්‍යාවන් සිව් දෙනෙකුට පවරා දී ඔවුන්ට පෙරහර බිසෝ තනතුර නමින් තනතුරක් ද ප්‍රදානය කළ බවයි. ඒ අනුව බලන විට බෝධිය ආරක්ෂාව සම්බන්ධ ව විවිධ සැලසුම් කර තිබේ.


රන් වැට සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේදී

අනුරපුර මහමෙව්නාවේ පිහිටි උස් බිමක බෝධින් වහන්සේ රෝපණය කළ බවත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය යන ග්‍රන්ථයෙහි සඳහන් වේ, ඒ වටා බැමි හතරක් විය. උඩට නැඟීමට පිය ගැට පෙළක් විය. මහාචාර්ය වල්පොල රාහුල මා හිමිපාණන් වහන්සේගේ ලංකාවෙහි බුදුසමයෙහි ඉතිහාසය ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වේ. ''බෝ මළුවක සතර දිශාවෙහි තොරන සතරක් ද බෝධිය වටා වේදියක් හෙවත් උස් ගල් මළුවක් ද විය. වන්දනාකරුවන් බෝධිය වඳීන්නට දණ ගැසුවේ මේ ගල් මළුවෙහිය. බෝධිය ඊට වඩා කිට්ටුවෙන් බෝධිඝරය හෙවත් බෝ ගෙයක් විය. මේ ගෙය සාදන ලද්දේ සෑගෙය වාගේ උඩින් නොව, අතුවලට පහතින් ගස වටේය. ඇතැම්විට බෝ ගෙය තුළ බුදු පිළිමය විය. සෑගෙය මෙන්ම, මේ ගෙය ද බෝධිය පැදකුණු කළ ශ්‍රද්ධාවන්තයන්ට ආරක්ෂාව දීමේ අදහසින් තැනුවා විය හැකි ය. මහා විහාරයෙහි මහාබෝධිය හා අනෙක් තැන්වලත් බෝරුක් වටා බොහෝ රජවරු ශතවර්ෂ ගණනක් තිස්සේ ම බෝගෙවල් තැනූ බව සඳහන් වේ''.

ක්‍රිස්තු වර්ෂ මුල් සියවසේ දී බෝධිය වටා ප්‍රාකාරයක් ලෙස ගල් වැටක් තැන වූ බව ද සඳහන් වේ. පශ්චාත්කාලීන රජවරුන් විසින් බෝධියෙහි ආරක්ෂාව සඳහා බෝධිඝරයක් පවා ඉදිකළ බවත් මහාවංශය ආදී මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන්ව ඇත. බෝධිඝරය සම්බන්ධ ව වැලිමිටියාවේ කුසලධම්ම මාහිමියන්ගේ කෘතියෙහි ද තොරතුරු සඳහන් වේ.

බෝධිය හා බෝධාහර නිසා අපට ලැබුණු වාස්තු විද්‍යාත්මක අගයක් ඇති බෝධිඝරය භාරතයේ හෝ වෙනත් කිසිදු රටක දක්නට නැත . එහෙත් මිහිඳු මා හිමියන් මෙහිවැඩම කර අනුරපුර පූජාභූමිය සලකුණු කර ශ්‍රීහ වික්‍රන්ත සැලසුමේ වචනය යොදා ඇති බැවින් එකල භාරතයේ තිබූ බවත්, උන්වහන්සේ සඳහන් කරයි.

බෝධිඝරයක් යනු,බෝධීන් වහන්සේ වටා වහළක් සහිතව නිර්මාණය කරන ලද ගෙයක් වේ. එය බොධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා ගොඩනගන ලද්දකි. බෝධීන් වහන්සේගේ සුරක්ෂිතභාවය සඳහා විවිධ වකවානුවලදී විවිධ ආරක්ෂක වැටවල් ඉදිකර වු බවත් සඳහන් ය. නුතන ශාසන පුනරුදයේ අසහාය උත්තමයාණන් වහන්සේ අසරණසරණ පිණ්ඩපාතික වැලිවිට සරණංකර සංඝරාජයාණන් වහන්සේ ය. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නයක් වූ ඉලුපැන්ගමුවේ මා හිමියන් විසින් මෙයින් අවුරුදු 300 කට ආසන්න කාලයකට පමණ පෙර අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය වටා ඇති මහා ප්‍රාකාරය බදවන ලදැයි මහාචාර්ය කොටගම වාචිස්සර හිමියන් ස්වකීව "සරණංකර සංඝරාජ සමය" නම් පොතේ සඳහන් කර ඇත.

මේ ආදී වශයෙන් බෝධි ප්‍රාකාරය වර්ධනය වී හැට දශකය වන විට රන් වැටක් දක්වා නිර්මාණය කිරීමට උත්සාහ දැරූ බවත්, එම වකවානුව විමසන විට පැහැදිලි වන කරුණක්. එයට පෙර චීනචට්ටිවලින් සාදන ලද වැටක් තිබූ බවත් සඳහන්ව ඇත. විශේෂයෙන් ම වර්තමානයෙහි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා ඉඳිකර ඇති රන්වැටත්, ඇත් පවුරත් නිර්මාණය කර තිබෙන්නේ මහනුවර කීර්තී ශ්‍රී රාජසිංහපොත්ගුල් විහාරාධිපති යටිරාවන නාරද මා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.

අනුරාධපුර අටමස්ථානාධිපති රාජපූජිත ශ්‍රී සුමන රේවත නා හිමියන්ගේ අවසරය පරිදි 1960 වර්ෂයේ දී ඇත්පවුර සහිත රන්වැට ඉදිකරීම සඳහා මහත් උත්සාහයෙන් යටිරාවන නාරද හිමියන් ක්‍රියාකළ බව උන්වහන්සේ විසින් රචිත "රන්වැට ඉතිහාසය" නම්, ග්‍රන්ථයෙන් හෙළි වේ.

1966 පෙබරවාර් 17 වන දින පෙරවරු 8.45 ට යෙදුන සුබ මොහොතින් අග්‍රාන්ඩුකාර ශ්‍රීමත් විලියම්ගොපල්ලව මහතා විසින් රන්වැටට මුල්ගල් තබන ලදී. එම මුල්ගල සකස් කර තිබුණේ රන් ආලේප කළ රිදී මංජුසාවක ය. මෙම මුල්ගල් තබන උත්සව සභාවේ මූලාසනය සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරන්දර අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සී නාහිමියන් විසින් මුලසුන දරන ලදී. 1969 වර්ෂයේ පෙබරවාරි 26 වන දින කොහෙනේ මැලිබන් කර්මාන්ත ශාලාවේ දී පෙරවරු 10.04 ට යෙදුන සුබ මොහොතින් රන්වැටේ කණුවල රන්ආලේප කිරීම ආරම්භ කොට ඇත. එය සිදුකර ඇත්තේ තායිලන්තයෙන් පැමිණි රන් ආලේප කරන විශේෂඥ ඉංජිනේරු දෙදෙනෙක් වූ ඇම්. සී. බූ අමන්තාජි සහ පී. ප්‍රන්ටලක් යන මහත්වරුන් විසින් ය.

මෙහි ලොකු කණු 50 ක් හා කුඩා කණු 288 ක් වශයෙන් සියලු කණු 338ක් සවි කිරීමට සූදානම් කර තිබිණි. ලොකු කණුවක රන් ආලේප කිරීම සඳහා රුපියල් 1300 ක්ද කුඩා කණුවක රුපියල් 1000ක් වශයෙන් ද වැය වී ඇත. දස වසරක් පුරා මහත් වෙහෙසක් දරමින් රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක් පමණ වැයකොට රන්වැට නිම කරන ලදී. මෙතැන් පටන් දිවයිනේ විවිධ විහාරස්ථානවල බෝධීන් වහන්සේ වටා රන්වැට ඉදිකිරීම් ආරම්භ විය.