Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 28 කොටස: වාර්තාගත අවුරුදු උත්සවයක් නාගදීපයේ පැවැත්වෙයි

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 28 කොටස:

වාර්තාගත අවුරුදු උත්සවයක් නාගදීපයේ පැවැත්වෙයි

‘‘භික්ෂූන් වහන්සේ හැටියට අපිට කැප අකැප දේ් තියෙනවා, ඒත් සමහර වෙලාවට උතුරේ ජීවත් වෙන අපිට සාමය, සංහිඳීයාව වෙනුවෙන් බොහෝ දේවල් කරන්න වෙනවා.

බොහෝ කැපකිරීම් කරන්න වෙනවා ‘‘ පදුමකිත්ති හිමියන්ගේ කැරම් ජයග්‍රහණය ගැන නාහිමියන් එසේ පැවසුවේ නාගදීපයේ ජනතාව එම ජයග්‍රහණය ගැන උදම් අනනු දැකීමෙනි.

නාගදීප විහාරස්ථානයට උදෑසන හා දවල් දානය පිළිගැන්වූ රාමචන්ද්‍රන් මුදලාලිගේ අභාවය ගැන ධම්මකිත්ති නා හිමියන් ද, පදුමකිත්ති හිමියන් ද දැඩි සේ කම්පා විය. අවසන් මොහොතේ පවා ඔහු නාගදීප විහාරස්ථානයට දැක්වූ ගෞරවය අතිමහත් ය.

රාමචන්ද්‍රන් මුදලාලි මිය ගියද ඔහුගේ භාර්යාව හා දියණිවරු නාගදීප විහාරස්ථානයට උදෑසන සහ දවල් දානය පූජා කළහ. රාමචන්ද්‍රන් මුදලාලි වෙනුවෙන් නාගදීප විහාරස්ථානයේද ආගමික වතාවත් සිදු කරන ලදී.

මෙලෙසින් කාලය ගෙවී ගියේය. සාම ගිවිසුම නිසා කොටි සංවිධානය තම යුද ශක්තිය සවිමත් කර ගන්නා බව නා හිමියන්ටත්, පදුමකිත්ති හිමියන්ටත් ඉතා පැහැදිලිව දක්නට ලැබුණි. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශද දැන සිටියහ. ඒ ගැන කතා කළ ද අසන්නට හෝ පිළියම් යොදන්නට අයෙක් සිටියේ නැත.

කෙසේ වෙතත් උතුරේ ජනතාව යුද බියෙන් තොරව දිවි ගෙවූහ. කොටි සංවිධානය විසින් උතුරේ පාලනය තමන්ට අවශ්‍ය ලෙසින් ගෙන යන ලදී. සාම ගිවිසුමට පෙර රහසිගත ව පවත්වාගෙන ගිය කොටි සංවිධානයේ ඊළාම් බැංකු එළිපිටම පවත්වාගෙන යන්නට විය. එම බැංකුවල මුදල් තැන්පත් කළ යුතු බවට කොටි සංවිධානය උතුරේ ජනතාවට නියෝග කර තිබුණි. එමෙන්ම සෑම වැසියෙක්ම බදු මුදලක් ගෙවිය යුතු බවට ද නියෝගයක් පනවා තිබුණි. ඒ සියලු කටයුතු ගැන සොයා බලන්නට කොටි සංවිධානයේ වෙනම ඔත්තුකරුවන් සහ නිලධාරීන් ද පත්කර තිබුණි.

උතුරේ කටයුතු එසේ සිදු කෙරෙද්දී නාගදීපයේ ජනතාව විහාරස්ථානයත් සමඟ සාමයෙන් සමඟිව කටයුතු කළහ. ඔවුන් විහාරස්ථානයේ කටයුතුවලට ද සහභාගි වූයේ කිසිදු ආගම් භේදයකින් තොරව ය.

1989 වසරේ අප්‍රේල් මාසයේ නාගදීපයේ පවත්වන ලද අවුරුදු උත්සවය සැලකිය යුතු කාලයකට අමතක නොවන්නකි. එය එතරම් ජයටම සිදු කරන ලදී. එහිදී නාගදීප වැසියෝ පදුමකිත්ති හිමියන්ට ද තරගවලට සහභාගි වන්නට ආරාධනා කළහ.

භික්ෂූන් වහන්සේ එවැනි තරග කිරීම් සඳහා සහභාගිවීම සුදුසු නොවන බව නා හිමියෝ පැවසූහ. පදුමකිත්ති හිමියෝ ද එය පිළිගත්හ.

එහෙත් නාගදීප වැසියන් උත්සාහය අත්හැරියේ නැත.

‘‘අනේ සාමි, අපි පූසාරිටත් කතා කළා. එයත් එනවා. අනෙක් තරගවලට නෙමෙයි. දාම් අදින්න, කැරම් ගහන්න වගේ තරගවලට එන්නකො, ඒක අපිට ලොකු හයියක්‘ අවසානයේ පදුමකිත්ති හිමියන්ට එම ඉල්ලීමට පිටුපෑමට නොහැකි විය. අවුරුදු උත්සවයට නාගදීපයේ සියලු වැසියෝ සහභාගි වූහ. එදා මෙදා තුර නාගදීපයේ සියලු දෙනා එක්ව පවත්වන ලද අවුරුදු උත්සවය එයයි.


අලුත් අවුරුදු උත්සවයේ කැරම් ජයග්‍රහණය වෙනුවෙන් පදුමකිත්ති හිමියන්ට තිළිණ පිරි නැමූ අවස්ථාව

රබන් පදවලින් අලංකාර වූ අවුරුදු උත්සවය දකුණේ උත්සවයක් මෙන් උත්කර්ෂවත් ලෙසින් පවත්වන ලදී. පදුමකිත්ති හිමියෝ කැරම් ක්‍රීඩාවට සහභාගි වූයේ කැරම් කප්පිත්තන් කිහිප දෙනෙකු සමඟිනි. අවසානයේ පදුමකිත්ති හිමියෝ කැරම් තරගයෙන් ජයග්‍රහණය කළහ. ඒ වෙනුවෙන් විශේෂ තිළිණයක් ද උන් වහන්සේට හිමි විය. නාගදීප වැසියෝ සාධුකාර දෙමින් එම තිළිණය පූජා කළහ.

‘‘භික්ෂූන් වහන්සේ හැටියට අපිට කැප අකැප තියෙනවා, ඒත් සමහර වෙලාවට උතුරේ ජීවත් වෙන අපිට සාමය, සංහිඳීයාව වෙනුවෙන් බොහෝ කරන්න වෙනවා.

බොහෝ කැපකිරීම් කරන්න වෙනවා ‘‘ පදුමකිත්ති හිමියන්ගේ කැරම් ජයග්‍රහණය ගැන නාහිමියන් එසේ පැවසුවේ නාගදීපයේ ජනතාව එම ජයග්‍රහණය ගැන උදම් අනනු දැකීමෙනි.

සාම ගිවිසුම අත්සන් කර වසර එකහමාරක් පමණ ගත වන විට කොටි සංවිධානය හොඳීන් බංකර තනා ගෙන සිටියහ. නැවත යුද්ධයක් ඇති වුවහොත් හොඳ ශක්තිමත් ලෙසින් සටන් කළහැකි මට්ටමට ඔවුහු ළඟා වූහ. යුද හමුදා කඳවුරු අසල මෙන්ම, ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කළ හැකි ලෙසින් එම කඳවුරු ශක්තිමත් කළහ. භාවිතයෙන් ඉවත ලන දුම්රිය රේල්පීලි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ගෙන යාමට පෙර රැගෙන ගොස් ඒවා බංකර් තැනීමට යොදා ගන්නා කම්බි වෙනුවට භාවිත කළහ. එතරම් ඝණකමට ඔවුහු බංකර් තැනුවේ සාමාන්‍ය කාල තුවක්කු උණ්ඩවලට පවා හානි කළ නොහැකි ලෙසිනි.

මෙලෙසින් අවුරුදු එකහමාරක පමණ කාලය තුළ කොටි සංවිධානයේ ඉහළ පෙළේ නායකයන් අතර රජය සමඟ දේශපාලන අර්බුද තිබුණ ද ඒ බව දකුණේ ජනතාවට නොපෙනුණා විය හැකි ය. එහෙත් ඒ උණුසුම් බව උතුරට නම් හොඳීන්ම දැනෙන්නට විය.

ඒ 1989 වසරේ ජූනි මාසයේ ය.

නැඟෙනහිර පළාතේ කල්මුණේ දී සපත්තු මහන්නකු හා ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් ඇති වූ ගැටුමක් මුල් කරගෙන කොටි සංවිධානය යළිත් යුද ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය.

ඔවුහු නැඟෙනහිර පළාතේ පොලිස් ස්ථානවලට පැන එහි සිටි පොලිස් නිලධාරීන් පණ පිටින් අල්ලාගෙන ගොස් දස වධ දුන්හ. ඇතැම් නිලධාරීන්ගේ අවසන් හුස්ම යන තෙක් බලහත්කාරයෙන් ලේ ගත්හ. තවත් පිරිසක් කිසිදු අනුකම්පාවක් නොමැතිව ඝාතනය කර කළපුවට දැමූහ. එසේ ඝාතනය කළ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 600කට අධික ය.

මඩකළපුවේ කිරන් කොටි කඳවුර වට කරගෙන දින 9ක් තිස්සේ ප්‍රහාර එල්ල කළහ.

එසේම යාපනය කොටුවේ තිබූ හමුදා කඳවුර වටකර දින 45ක් තිස්සේ ප්‍රහාර එල්ල කළහ. ඒ ඇතුළේ හමුදා නිලධාරීන්ට ආහාර පවා නොමැතිව සිටින අවස්ථාවක දී ය.

යුද්ධය දරුණු ලෙසින් ඇවිලී ගියේ ය. දකුණේ ජනතාව උතුරට පැමිණීම නැවතත් වැළකී ගියේ ය. කොටි සංවිධානය විසින් පෙර සිටම තම සැලසුම් සූදානම් කර ගෙන සිටි ඉලක්ක අනුව කටයුතු කළ නිසා ඔවුන්ට තම ඉලක්ක සපුරා ගැනීම ඉතා පහසු විය. හමුදාවට පෙර සූදානම් වන්නට කාලයක් නොතිබූ හෙයින් සෑම ප්‍රහාරයක දී ම සැලකිය යුතු පිරිසක් මිය යන ලදී. ත්‍රස්ත කල්ලි තම සියලු බල පරාක්‍රමයන් යොදා හමුදාව උතුරින් එළවා දැමීමට උත්සාහ කරන ලදී.

ත්‍රස්තවාදීන්ගේ බිම් බෝම්බ හමුවේ ඒ මතින් ගමන් ගන්නා වාහනවල කෑල්ලක්වත් සොයා ගන්නනට නොහැකිවන ආකාරයට සුණු විසුණු වී ගිය අවස්ථාද විය.

එසේ මිය යන හමුදා සාමාජිකයන්ගේ අවසන් කටයුතු හමුදා කඳවුරුවල ආගමික කටයුතු සිදු කරන ලදී. ඒ සඳහා පාංශුකූලය ලබා දෙන්නට ධම්මකිත්ති නා හිමියන් හා පදුමකිත්ති හිමියන් වැඩම කරවන ලදි. උතුරේ හමුදා කඳවුරුවල සිදු කරනු ලබන සියලුම ආගමික වතාවත් පිණිස වැඩම කරන ලද්දේ නා හිමියන් හා පදුමකිත්ති හිමියන් පමණි.