Print this Article


සුඛවිහාරි ජාතකය 10: සැපයට ප්‍රිය නම් තණ්හාව අත්හරින්න

සුඛවිහාරි ජාතකය 10:

සැපයට ප්‍රිය නම් තණ්හාව අත්හරින්න

එක් කාලයක තුන් ලොවට නැඟූ ප්‍රදීපයක් වැනි වූ සර්වඥයන් වහන්සේ අනුපිය නම් නුවර අනුපිය අඹ වනයෙහි වාසය කළා. එහි දී සුඛවිහාරී නම් භද්දිය ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතක කතාව දේශනා කොට වදාළා.

මේ භද්දිය ස්ථවිරයන් වහන්සේ යනු බුදු රජාණන් වහන්සේ ළඟ පැවිදි වූ ක්‍ෂ්ත්‍රිය රාජ කුමාරවරු සය දෙනා අතරින් කෙනෙකි.

ඔවුන් සය දෙනා අතර සිටි උපාලි ස්ථවිරයන් වහන්සේ සත් වැනි භික්‍ෂුව හැටියටයි පැවිදි වුණේ. ඔවුන් අතුරෙන් භද්දිය ස්ථවිරයන් වහන්සේ, කිම්බිල ස්ථවිරයන් වහන්සේ, භගු ස්ථවිරයන් වහන්සේ, සහ උපාලි ස්ථවිරයන් වහන්සේ රහත් වුණා. ආනන්ද ස්ථවිරයන් වහන්සේ සෝවාන් ඵලය ලැබූ අතර අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වස් ඉක්ම වූවා පමණයි. උන් වහන්සේලා අතර පැවිදි වූ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ ධ්‍යානලාභි තෙර නමක් වුණා.

අයුෂ්මත් වූ සුඛවිහාරික භද්දිය ස්ථවිරයන් වහන්සේ ගිහි කල රජව සිටි අතර තමන්ගේ ආරක්‍ෂාවට රාජ භටයන් පිරිවරාගෙනයි සිටයේ. හාත්පසම තමා වටකොට ආරක්‍ෂාව සලසාගෙන සිටිමුත් නිරන්තරයෙන් භය පැමිණුනා. සයනයට ගියවිටත් සුවසේ සයනය කොට නොහැකිව එහා මෙහා සක්මන් කරමින් සිටියා.

එහෙත් දැන් අර්හත් ඵලයට පැමිණ අරණ්‍යාදි තැන්වල වාසය කළත් උන් වහන්සේට සුවසේ වාසය කළා. ඒ සැපය භද්දිය ස්ථවිරයන් වහන්සේ නිතර “ ඉතා සැපය ඉතා සැපය” යි මුවින් ද ප්‍රකාශ කරමින් සතර ඉරියව්වෙහි ම සුව වින්ඳා.

ඒ ඇසුණු අනෙක් භික්‍ෂූන් වහන්සේලා “ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ අර්හත් බව ප්‍රකාශ කරනවා ” යි කියා සර්වඥයන් වහන්සේට දැන්වූවා. බුදු රජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා අමතා මෙසේ ප්‍රකාශ කොට වදාළා. “ මහණෙනි භද්දිය ස්ථවිරයන් වහන්සේ සැපසේ විසීමට ප්‍රිය වූයේ දැන් පමණක් නොව පෙරත් සැපය කැමති වූයේ යැ”යි වදාළා.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රජ කරන සමයේ අප මහා බෝධි සත්වයන් වහන්සේ ප්‍රසිද්ධ වූ බ්‍රාහ්මණ මහාසාර කුලයක ඉපදුණා . වැඩි වයසට පැමිණි බෝධි සත්ත්වයෝ වස්තු කාමය, ක්ළේශ කාමයෙහි ආදීනව දැක මහාබිනික්මන් කිරීමෙහි ආනිශංස දැන හිමාල වනයට ගොස් ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි ව අෂ්ට සමාපත්තිය උපදවා වාසය කළා. උන්වහන්සේ යටතේ පන්සියයක් පමණ තාපසයන් අතවැසි ව සිටියා. අප මහා බෝසතාණන් වහන්සේ වර්ෂා කාලයේ හිමාල වනයෙන් නික්ම අනෙක් තාපසයින් පිරිවරාගෙන ගම් නියම්ගම්වලට වැඩම කළා. මෙසේ වඩින අතරතුර බරණැස් නුවරට ද පැමිණ රජතුමාගේ ආරාධනා ඇතුව රාජෝද්‍යානයෙහි වැසි සාර මාසයෙහි ම වාසය කළා.

වැසි සාර මාසය අවසන් වූ කල්හි නැවත හිමාලයට පිටත්වීමට සිතා රජතුමාට දැන් වූවා. බෝධි සත්වයන් වහන්සේ බැහැ දැකීමට පැමිණි රජතුමා මෙසේ කීවා. “

ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේ වයෝවෘද්ධ වන සේක. හිමාල වනයට යාමෙන් වළකින්න. ඔබගේ අතවැසි තාපසයන් වහන්සේලා හිමාලයට යවා නුඹ වහන්සේ මෙතැන්හි ම වාසය කරන්න.” ඒ ආරාධනාව පිළිගත් බෝධිසත්වයන් වහන්සේ තම ප්‍රධාන අතවැසි තපස්වීන් වහන්සේට අනෙක් තාපසයන් වහන්සේලා භාර කොට

“ නුඹලා හිමාල වනයට ගොස් සුවසේ වාසය කරන්න. මම මෙතැන්හි ම වාසය කරමි” යැයි කීවා.

ඒ අනුව ප්‍රධාන තපස්වීන් වහන්සේ ඇතුඵ අනෙක් තාපසයන් වහන්සේලා හිමාල වනයට පිටත් වුණා. බෝධිසත්වයන් වහන්සේ රජතුමාගේ අනුග්‍රහය ඇතිව රාජ්‍ය උද්‍යානයෙහි ම නතර වුණා.

බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රධාන අතවැසි වූ තපස්වීන් වහන්සේ රාජ කුලයක තාපසයෙකි. මහත් රාජ්‍යක් හැරදමා පැවිදිව අෂ්ට සමාපත්තිලාභී ව සෙසු තාපසයන්ට ධ්‍යාන පුරුදු පුහුණුවීම සඳහා උදවු උපකාර කරමින් වාසය කළා.

කාලය ඉක්ම ගිය පසු එක් දවසක් තමන්ගේ ආචාරීන් වහන්සේ වූ බෝධිසත්වයන් වහන්සේ දකිනු කැමතිව අනෙක් තාපසවරුන් ආමන්ත්‍රණය කොට මෙසේ ප්‍රකාශ කළා.

“ නුඹලා උකටලී නොවී මෙතැන්හි ම වාසය කරන්න. මම ආචාර්යන් වහන්සේ මුණගැසී නමස්කාර කොට ආපසු පැමිණෙන්නම්”

කියා ආචාර්යන් වහන්සේ සමීපයට ගොස් නමස්කාර කොට පිළිසඳර කතා කරමින් පත්කඩයක් එළා අචාර්යන් වහන්සේගේ සමීපයෙහි ම වැඩ සිටියා. එම වෙලාවේ බරණැස් රජතුමා තපස්වීන් වහන්සේ දකිණු කැමැතිව උයනට පැමිණ නමස්කාර කොට එකත්පස ව සිටියා. අතවැසි තාපසයන් වහන්සේ රජතුමා පැමිණෙනු දැකත් නැඟී සිටියේ නැහැ. තමන් සිටි අයුරින් ම හිඳ “ ඉතා සැපය ඉතා සැපය ” යැයි කියා ප්‍රීති වාක්‍ය කීවා.

රජතුමා, “මේ තපස්වීන් වහන්සේ මා එනු දැකත් නැඟී සිටියේ නැතැ ” යි සිතා අසන්තෝෂ ව බෝධිසත්වයන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළා. මේ තාපසයන් වහන්සේ කැමති පරිද්දෙන් ආහාර අනුභව කළ සේක් ද? සැප සෙය්‍යාව පිළිබඳව ම ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරයි ” යනුවෙන් කීවා.

“ මහ රජ මේ තාපසයන් වහන්සේ පෙර ගිහි ව සිටියදී රාජ්‍ය ශ්‍රී අනුභව කරමිනුත්, ආයුධ ගත් අත් ඇති බොහෝ සේනාව විසින් ආරක්‍ෂා කරනු ලබන විටත් මෙබඳු සැපයක් නොලද්දේ දැන් තමන්ගේ ප්‍රව්‍රජා සැපය හා ධ්‍යාන සැපය අරභයා මෙම ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා ” යැයි වදාරා, රජතුමාට ධර්ම දේශනාවක් දේශනා කළා.

“ යම් පුද්ගලයෙක් සෙසු බොහා් පුද්ගලයෝ රක්‍ෂා නොකරත් ද, යමෙක් සෙසු බොහෝ සත්වයන් ආරක්‍ෂා නොකෙරේ ද, මහ රජ ඒ පුද්ගලයා වස්තු කාම, ක්ලේශ කාමයෙහි අපේක්‍ෂාවෙක් නැතිව හුදකලාව කාය විවේක, චිත්ත විවේක, සැපයෙන් යුක්ත ව සයනය කරයි. හුදෙක් සයනය කරන්නේ ම නොව මෙබඳු පුද්ගලයා සැප සේ ඇවිදියි. සැප සේ හිඳී යි.

සැපසේ වාසය කරයි. සිව් ඉරියවුවෙහි ම සැපසේ කල් හරියි.

මහ රජ තණ්හාව නැති පුද්ගලයා සැපසේ වාසය කරනවා” යැයි වදාරමින් එම දේශනාව අවසන් කළා.

රජ්ජුරුවෝ බෝධිසත්වයන්ගේ දේශනාව අසා සතුටු සිත් ඇතිව නමස්කාර කොට තම මාළිගාවට වැඩියා. අතවැසි තපස්වීන් වහන්සේ ද ආචාරීන් වහන්සේට වැඳ නමස්කාර කොට හිමාල වනයට වැඩියා. බෝධිසත්ත්වයන් වහන්සේ එතැන්හි ම වාසය කොට අයුෂ කෙළවර නො පිරිහුණු ධ්‍යානයෙන් යුක්තව කාලක්‍රියා කොට බ්‍රහ්ම ලෝකයෙහි උපන්නා.

ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ මෙසේ භික්‍ෂූන් වහන්සේලාට ධර්ම දේශනා කරමින් අතීත කතාව හා වර්තමාන කතාවෙහි සන්ධි ගළපා සුඛ විහාරි ජාතක කතාව නිමවා වදාළා.

“ එසමයෙහි අතවැසි තාපසයන් වහන්සේ නම් දැන් භද්දිය ස්ථවිරයන් වහන්සේ ය. ඔහුට ආචාරී වූ ශාස්තෘන් වහන්සේ වූයේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වූ මම්ම වේදැ” යි තමන් වහන්සේ දක්වා වදාළා.