Print this Article


සලාක ගන්නවුන් අතරින් අග්‍ර වූ කුණ්ඩධාන මහ රහතන් වහන්සේ

සලාක ගන්නවුන් අතරින් අග්‍ර වූ කුණ්ඩධාන මහ රහතන් වහන්සේ

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ අතර බැබළෙන කුණ්ඩධාන මහ රහතන් වහන්සේ සැමට පළමුව සලාක ගන්නා වූ භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර ය.

මේ මහා රහතන් වහන්සේ කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් වහන්සේගෙන් බණ අසමින් සිටියේ එක්තරා කුල පුත්‍රයෙක් ලෙස යි. එහිදී පදුමුත්තර බුදුන් වහන්සේගෙන්, කිසියම් භික්ෂූන් වහන්සේ නමක් පළමුව ම සලාක ගන්නා වූ භික්ෂූන් අතුරෙන් අග්‍රස්ථානය පිහිටුවනු ලැබීම මොහුගේ සිත ඇදී ගිය දසුනකි. මෙයින් ඉමහත් සතුටට පත් වූ මොහු , තමාට ද අනාගත බුදුවරයකුගෙන් එබඳු පදවියක් ලැබීමට කළ පින්කම උදාර ය. බුදු පාමොක් මහ සඟනට සත් දිනක් මුළුල්ලේ ම මහ දන් දී, අවසන් දිනයේ දී තමාගේ පැතුම පදුමුත්තර බුදුන් වහන්සේට දන්වා සිටියේ මහත් ඕනෑකමකිනි. බුදුන් වහන්සේ සර්වඥතා ඥානයෙන් අනාගතය දෙස බලා , ‘කුලපුත්‍රය, මෙයින් කල්ප ලක්ෂයකින් පසුව ලොවේ පහළ වන ගෞතම බුද්ධ ශාසනයේ දී ඔබගේ පැතුම ඉටුවන බවට නියත විවරණ ලබා දුන් අයුරු අගනේ ය.

ඉන්පසුව බොහෝ පින් දහම් කළ මේ කුල පුත්‍රයා සසර මඟ සැරිසරා උපත ලැබුවේ කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ එක්තරා භූමාටු දෙවියෙක් ලෙස ය. මොහු එක්තරා දිනක දුටු දසුන වන්නේ වනය මැදින් වැටී ඇති මාවත දිගේ එක්තරා භික්ෂූන් වහන්සේ දෙනමක් වැඩම කරන අයුරු යි. ඉතාමත් සිල්වත්ව, යහපත් ව සිටි මේ භික්ෂූන් වහන්සේ දෙනමගේ කලණ මිතු දම එක් මව් කුස උපන් සහෝදරයන් මෙනි. එකල මිනිස් ආයුෂ අවුරුදු විසි දාහක් බැවින්, භික්ෂූන් වහන්සේ පොහොය කරන්නේ වසර පහකට හෝ අටකට වතාවක් පමණි. ඒ අනුව මේ පින්වන්ත භික්ෂූන් වහන්සේ දෙනම සංඝයා වැඩ සිටින ඈත සෙනසුනක් බලා පිටත් වූයේ පොහොය කිරීම පිණිස යි.

මෙලෙස වැඩම කරන දෙනමගේ යහපත් මිතුදම දුටු දේවතාවාට ඇතිවූයේ පාපී සිතිවිල්ලකි. ඒ දෙදෙනාම බිඳවා තරහ කරුවන් කිරීමට ය. ඒ සඳහා දේවතාවා යෙදූ උපායේ විපාකය දැන සිටියේ නැහැ. කිසියම් අවශ්‍යතාවයකට වනය මැදට වැඩම කළ එක් භික්ෂූන් වහන්සේ නමක් මද වේලාවකින් නැවත වැඩම කරද්දී දේවතාවා කාන්තා රුවක් මවාගෙන භික්ෂූන් වහන්සේ පිටුපසින් පැමිණියේ ඇඳුම් සකස් කරගනිමිනි. වනයේ සිට වැඩම කළ භික්ෂූන් වහන්සේ මේ කිසිවක් දැන සිටියේ නැහැ. නමුත් සෙසු පිරිසට මෙය දකින්නට සැලැස්වීමෙන් ඔවුන්ට භික්ෂූන් වහන්සේ කෙරෙහි ඇතිවූයේ ඉමහත් කළකිරීමකි. මේ භික්ෂූන් වහන්සේගේ යහළු අනෙක් භික්ෂුව ද මේ දසුනින් අප්‍රසාදය පළ කරමින් එකිනෙකා චෝදනා කර ගනිමින් භේද බින්න වූයේ දේවතාවාගේ පාපී සිතිවිල්ල ජය ගනිමිනි.

එහෙත් දේවතාවා තමන් අතින් වූ වරදට පසුව භික්ෂූන් වහන්සේලාගෙන් සමාව ගත්ත ද , තමා සිදු කළ පාපයේ විපාකයෙන් අපාගත වූවා. සසරේ අවසන් ආත්ම භාවයේ දී ද විඳී නින්දා අපහාස අපමණ යි. ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ “ධානමාණ” නමින් සැවැත් නුවර බ්‍රාහ්මණ කුලයක උපත ලැබූ මොහු ති‍්‍රවේදයෙන් පරතෙරට පැමිණ, පැවිදි වූයේ මහලු වියට පත්ව ය.

මේ භික්ෂූන් වහන්සේ එදා දේවතාවෙක් ලෙසින් කළ පාපයේ විපාකයට අවීචියේ අපමණ දුක් වින්ඳත් එය සසරේ අවසන් ආත්ම භාවයේ ද විපාක දීමට සමත් වූයේ උපසම්පදාවූ දා සිට යි. ඒ තමන් වහන්සේට නොපෙනෙමින්,තමන් පිටුපසින් රූමත් කාන්තා රුවක් ගමන් කරන්නේ අන් අයට පෙනෙන ලෙස යි. ඇඳුම් පැළඳුම් ද, ලිහිල් වූ කොණ්ඩය ද සකස් කරගනිමින් කාන්තා රුවක් භික්ෂූන් වහන්සේ පිටුපසින් පැමිණෙන නිසා මේ භික්ෂූන් වහන්සේ බොහෝ පිරිස ඇමතුවේ‘කුණ්ඩධාන’ නාමයෙනි.

මෙලෙස කුණ්ඩධාන භික්ෂූන් වහන්සේගේ අතීත සසර මඟ කළ පාපයේ විපාකය පළ දුන්නේ ධර්මයේ සඳහන් සේ ‘ගෙල බැඳී කරත්තය සේ’ ය. එය ‘තමන් පසු පස ලුහු බඳීන සෙවණැල්ල මෙනි.’ මේ නිසා විහාරයේ වැඩ සිටින කුඩා සාමණේරවරු ද, තරුණ භික්ෂූන්වහන්සේලාගෙන් ද , කුණ්ඩධාන භික්ෂූන් වහන්සේට පරිභව කළේ ‘කොණ්ඩයා’ යනුවෙනි. මේ දසුනින් ඇතැම් භික්ෂූන් වහන්සේ පැවසුවේ කුණ්ඩධාන තෙරුන් වහන්සේ , නිබඳවම කාන්තාවක් සමඟ හැසිරෙන, දුස්සීල භික්ෂූන් වහන්සේ නමක් බවත්, එය භික්ෂු ශාසනයට ඉමහත් කැළලක් බවත් ය. මේ නිසා කුණ්ඩධාන තෙරුන් වහන්සේ ද කෝප ගෙන අනෙකුත් භික්ෂූන් වහන්සේලාට දොස් නැඟුවේ ‘මා පසුපසින් කාන්තාවන් නොපැමිණෙන බවත්, ඔබ වහන්සේ පසුපසින් කාන්තාවන් පැමිණෙන බවත්’ පවසමිනි.

මේ සිදුවීම් පෙළ බොහෝ පිරිස ,අනේපිඬු සිටාණන්ට සහ විශාඛා උපාසිකාවට දැන්වුව ද ඔවුන් පැවසුවේ එය බුදුන් වහන්සේට දන්වන ලෙසත්, භික්ෂූන් වහන්සේලාට විධාන දෙන්නට තමන් සුදුසු නොවන බව ත් ය. පසුව මෙය කොසොල් රජුට දන්වා සිටීමෙන් එය බුද්ධිමත්ව පරීක්ෂා කළ රජතුමාට තේරුම් ගියේ මෙය කිසියම් පුද්ගලයෙකුගේ අදෘශ්‍යමාන බලවේගයක් බව යි. ඒ නිසා කොසොල් රජතුමා කුණ්ඩධාන තෙරුන් වහන්සේට ඇතිවන අපවාද මඟ හැරීමට රජ ගෙදරින් දානය සූදානම් කිරීමට ඉදිරිපත් වූ අයුරු විශිෂ්ට යි.

මේ අනුව සිව්වණක් පිරිසට අයත්වන, උපාසක උපාසිකාවන් අතර බැබළෙන අනේපිඬු සිටාණන්, විශාඛා උපාසිකාව සහ කොසොල් රජතුමාගේ බුද්ධිමත් භාවය ද, නිහතමානීකම ද, කෙනෙක් යමක් පැවසූ සැනින් එය එසැනින් ම පිළි නොගෙන කරුණු නිවැරැදි පරීක්ෂාවෙන් දැන ගැනීම ද , ඉවසිලිමත්බව, ශ්‍රද්ධාවන්තකම ආදී ගුණාංග ද මනාව පසක් වේ. මෙවැනි උපාසක උපාසිකාවන් සම්බුදු සසුනට ලැබීම ඉමහත් භාග්‍යයකි.

මෙලෙස රජ ගෙදරින් දන් දෙන රජතුමාට ද බොහෝ පිරිස පරිභව කළේ ‘භික්ෂූන් වහන්සේ මෙන් ම රජතුමා ද එක සේ දුසිල්වත් බව’ පවසමිනි. ඇතැම් භික්ෂූන් වහන්සේ, බුදුන් වහන්සේ හමුවී වදාළේ කුණ්ඩධාන භික්ෂූන් වහන්සේගේ කි‍්‍රයාකලාපය අයහපත් බව යි. එහිදී බුදුන් වහන්සේ , කුණ්ඩදාන තෙරුන් වහන්සේ අමතමින් වදාළේ, ‘මේ අය ඔබ වහන්සේ පසු පසින් එන කාන්තාව දැකීමෙන් මෙසේ නිග්‍රහ කරන බවත්, එය ඉහත ආත්මයක දේවතාවෙක් ලෙසින් කළ පාප කර්මයේ විපාකය’ බවත් ය. නමුත් ඔබ වහන්සේ අන් අයට චෝදනා නඟන්නේ ඒ අය පසුපසින් කාන්තාවන් එන බව දුටු නිසා ද යනුවෙන් බුදුන් වහන්සේ කුණ්ඩධාන තෙරුන් වහන්සේගෙන් විමසූ විට, තෙරුන් වහන්සේ වදාළේ, නැත ස්වාමීනි, යනුවෙනි. එහි දී බුදුන් වහන්සේ කුණ්ඩධාන තෙරුන් වහන්සේට වදාළේ, කෝප නොගෙන, මේ සිදුවීම අරබයා අනෙකුත් භික්ෂූන් වහන්සේට බොරුවට දෝෂාරෝපණය නොකර, සිත සන්සුන් කර ගන්නා ලෙස යි. මෙලෙස සම්බුදු ඔවදන පිළිගෙන කිසිවකට නොසැළුණු කුණ්ඩධාන තෙරුන් වහන්සේ තමන් පසු පසින් පැමිණි කාන්තා රුව අතුරුදන් කිරීමට භාග්‍යයවත් වූයේ බවුන් වඩා, රහත් වීමෙන් පසුව යි.

දිනක් මහා සුභද්‍ර සිටු දේවිය උග්ගහනුවර මිසදුටු කුලයකට සරණ පාවා දීමේ උළෙලක පැවැති මහා දානයට බුදු පාමොක් මහ සඟනට ඇරැයුම් කළේ අසිරිමත් ලෙස යි. ඒ සමන් මල් වියනක් ගුවන් තලාවෙන් යවමිනි. එය පිළිගත් බුදුන් වහන්සේ දන් පිණිස වැඩම කළේ පන්සියයක් රහතන් වහන්සේ සමඟිනි. මේ අවස්ථාවට සහභාගි වූ කුණ්ඩධාන තෙරුන් වහන්සේ ද එහි තිබූ සලාක දානය ලබා ගත්තේ සැමට පළමුව යි.

එය දුටු ආනන්ද තෙරුන් වහන්සේ කුණ්ඩධාන තෙරුන් වහන්සේට පළමුව සලාක දානය දීමට මැළි වූයේ උන්වහන්සේ රහත් වූ බව නොදැන සිටීමෙනි. එය දිවැසින් දුටු කුණ්ඩධාන තෙරුන් වහන්සේ අහසට පැන නැඟී අත දිගු කොට සලාකය ලබා ගත්තේ ඍද්ධි බලයෙනි. මෙය නිමිති කරගත් බුදුරජාණන් වහන්සේ කුණ්ඩධාන මහ රහතන් වහන්සේට ලබා දුන් තනතුර වන්නේ පළමුව සලාක ගන්නවුන් අතරින් අග්‍රස්ථානයෙහි පිහිටුවීම යි.

කුණ්ඩධාන තෙරුන් වහන්සේගේ කතා පුවතින් වැටහී යන්නේ දෙවියෙක් වුවත් කළ වරදට නිවන් අවබෝධ වනතුරා ගෙවන පාපයේ විපාකය දරුණු බව යි. ඒ නිසා පාපකාරී සිතිවිල්ලකින් කෙනෙකුට විහිළුවකටවත් අපහාස නොකළ යුතු යි. සසරේ අවසන් ආත්ම භාවයේ දී කුණ්ඩධාන තෙරුන් වහන්සේ තමා අතීත සසර මඟ කළ කර්මය හඳුනා ගත්තේ සම්බුදු ඔවදනෙනි.

ධම්මපදයේ ‘දණ්ඩ වග්ගයේ’ සඳහන් සේ ‘යකඩ බඳුනක කට කැඩුණා මෙන් නිහඬව සිටීමෙන්, දොස් පවරන්නන්ට ඉඩ හරිමින්’ ඉවසිලිමත්ව සිටීමෙන් තමා ඉහත කළ පාපයේ විපාකය අහෝසි වූයේ වීර්යය උපදවා බවුන් වඩා නිකෙලෙස් වීමෙනි.