Print this Article


උදාර දිවියක පිය සටහන්: උත්තරීතර පැවිදි දිවියක පූජනීයත්වය

උත්තරීතර පැවිදි දිවියක පූජනීයත්වය

මෙවර උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී රුසියාවේ ප්‍රධාන සංඝනායක අමරපුර වජිරවංශ පාර්ශවයේ අනු නායක විශ්ව සාහිත්‍ය භාෂා විශාරද සද්ධම්මාභිබුද්ධිජෝථක පණ්ඩිත මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනු නා හිමිපාණන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේ සාම්ප්‍රදායික භික්ෂු භාෂා ඥානයෙන් ඔබ්බට ගිය රුසියන් භාෂා උගතකු වශයෙන් ප්‍රකට පඬිරුවනක් . එවැනි භාෂා ඥානයක් ලබා ගැනීමට පෙළඹුණු හේතු කාරණා පිළිබඳව පැහැදිලි කරනවා නම්,

මගේ ඥාති සහෝදරයකුට ලැබුණු ශිෂ්‍යත්වයකට අනුව ඔහු 1960 වර්ෂයේ දී සෝවියට් දේශය බලා පිටත් වුණා. ඒ කාල වකවානුව තුළ සිට ම රුසියාව පිළිබඳ හැඟීමක් ඉතාම ප්‍රබල ආකාරයට මගේ සිතේ සනිටුහන් ව තිබුණ නිසාත්, අලුත් භාෂා විෂයයක් අධ්‍යයනය කීරීමක් වශයෙනුත් රුසියන් භාෂාව ඉගෙන ගැනීමට කටයුතු කළා.

ඒ අනුව 1974 වර්ෂයේ දී රුසියාවට වැඩම කරමින් රුසියානු භාෂාව සහ වාග් විද්‍යා පීඨයෙන් වැඩිදුරටත් රුසියන් භාෂාව හැදෑරීමට කටයුතු කළා පමණක් නොවෙයි,රුසියන් භාෂාවෙන් විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු කළ හැකි තත්ත්වයට පත් වුණා.සෝවියට් විප්ලවයට පෙර සිටම ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ රැස්වීම්වලට ලංකාවේ මෙන් ම ලෝකයේ වෙනත් රටවල ස්වාමීන් වහන්සේලා වැඩම කර තිබෙනවා.

රුසියානු බෞද්ධ විශේෂඥයන් රචනා කරන ලද ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් පරිශිලනය කිරීමට ලැබීම නිසා එවැනි උදාර සේවයක් සිදුකළ යුතු බවට අදහසක් ඇති වුණා. ඒ අනුව රුසියන් බෞද්ධ ඉතිහාසය, අධ්‍යයනය කළා වගේම එම භාෂාවෙන් එරට ථේරවාදී බුදු දහම තවදුරටත් ප්‍රචලිත කිරීමට අවස්ථාව උදාකරගත්තා. ඇතැම් සූත්‍ර රුසියන් භාෂාවට පරිවර්තනය කළා.

පසුකාලීන ව ලංකාවට වැඩම කරමින් ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය, හා ශ්‍රී ලංකා මහ පිරිවෙන, විද්‍යෝදය පිරිවෙන යන විද්‍යායතන තුළ රුසියන් භාෂාව ඉගැන්වීමටත්, ඇතැම් භික්ෂූන් වහන්සේලා රුසියාවට වැඩම කරවමින් උන්වහන්සේලාට රුසියානු භාෂාව පිළිබඳ ව ප්‍රවීනත්වයක් ලබාදීමටත් කටයුතු කළා.

රුසියන් ජනතාව බුදු දහම කෙරෙහි දක්වන රුචිකත්වය පිළිබඳව ඔබවහන්සේට දැනුනේ කෙබඳු ආකාරයෙන් ද?

රුසියන් ජනතාව සංස්කෘතිකමය වශයෙන් පෙරදිග දර්ශනවලට රුචිකත්වයක් දක්වන පිරිසක්. බුදු දහම මාක්ස්වාදයට සමීපව යන දර්ශනයක් නිසා ඔවුන් ඒ පිළිබඳ ව විශේෂ උනන්දුවක් දක්වනවා. මොංගෝලියානු රජු ඇතුළු පිරිස තමාගේ රටේ ආරක්ෂාව සඳහා 1741 වර්ෂයේ දී බුදු දහම එරට පිළිගත් ආගමක් බවට පත් කළා වගේ ම මහානායක ස්වාමීන් වහන්සේලාට රාජ්‍ය ගෞරව සහිත ව අක්තපත්‍ර ප්‍රදානය කිරීමට කටයුතු කළා. විහාරස්ථාන, පිරිවෙන්, වගේ ම දාර්ශනික විශ්ව විද්‍යාල ආරම්භ වුණා. රුසියන් රජු විසින් චීනයට දුත පිරිසක් පිටත් කිරීමට කටයුතු කරනු ලැබුවේත්, බුදු දහම ඉගෙන ගැනීම සඳහායි. 1714 වර්ෂයේ දී රුසියාවේ විශ්ව විද්‍යාලවල බෞද්ධ දර්ශනය පිළිබඳව පීඨයක් ආරම්භ කළා. රුසියන් විශේෂඥයන් බුදු දහම පිළිබඳව පර්යේෂණ කරමින් ඉන්දියාවට පැමිණ පාලි සංස්කෘත භාෂා අධ්‍යයන කරමින් බුදුදහම පිළිබඳ ව ග්‍රන්ථ රාශියක් රචනා කර තිබෙනවා.

ත්‍රිපිටකය වැනි ගැඹුරු දහම් කරුණු ඇතුළු සියලු දහම් කරුණු ඔවුන් අධ්‍යයනය කරනු ලබනවා. බෞද්ධ සංවිධාන විශාල ප්‍රමාණයක් සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා.

ඔබ වහන්සේ ජාත්‍යන්තර වශයෙන් ගොඩනඟාගත් අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ව පැහැදිලි කරන්නේ කෙසේ ද?,

බෞද්ධ සාම සම්මේලනය ආරම්භ කළ කාලය තුළ එයට සහභාගිවීමෙන් බොහෝ බෞද්ධ රටවල් විශාල ප්‍රමාණයක් හඳුනා ගැනීමටත්, බෞද්ධ සංවිධාන රාශියක් සමඟ කටයුතු කිරීමටත් අවස්ථාව උදා වුණා. වර්තමානය තුළත් ඉන්දියානු බෞද්ධ සංවිධානයක සභාපති වශයෙන් කටයුතු කරනවා. ඒ වගේ ම රුසියාව, බුරුමය , වියට්නාමය, තායිවානය, නේපාලය, ආදී රටවල බෞද්ධ සංවිධාන රාශියක පවත්වන ලද සම්මේලනවල දී දේශන පවා පවත්වමින් ඒ සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.

ශාසනික ජීවිතයට ඇලුම් කිරීමට හේතු වූ කාරණා සහ ගුරු හාමුදුරුවන් වහන්සේලාගේ ආභාසය පිළිබඳව ප්‍රකාශ කරනවා නම් ?

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල ප්‍රදේශයේ පල්ලෙකන්ද ග්‍රාමය තුළ උප්පත්තිය ලබා අවුරුදු දහසයක් සම්පූර්ණවීමේ දී පද්දෙපිටියේ ගුණරතන නා හිමිපාණන් වහන්සේ සහ පද්දෙපිටියේ වජිරඤාණ නා හිමිපාණන් වහන්සේ යන දෙනමගේ ආචාර්යත්වයෙන් වළස්මුල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී 1968 මැයි 10 වැනිදා පල්ලෙකන්දේ රතනසාර යන ශාසනික නාමයෙන් උතුම් වූ පැවිදි ජීවිතයට එළඹුණා.

මගේ ගුරුහාමුදුරුවන් වහන්සේ පැවිදි ජීවිතයට එළඹුණ අවස්ථාවේ සිදු කළ අනුශාසනාවට ඇලුම් කළ මගේ මෑණියන් තුළ හටගත් සිතිවිල්ල පළමු දරුවා සසුනට පූජා කළ යුතුය යන සිතිවිල්ලත් , කුඩා වයසේ සිටම පැවිදිවීමේ රුචිකත්වය පැවතීමත් නිසා උතුම් වූ සම්බුද්ධ ශාසනයට ඇතුළුවීමේ පුණ්‍ය මහිමය උදා වුණා.

පල්ලෙවත්තේ චන්දිම නායක හිමිපාණන් වහන්සේ ආදර්ශවත් සිල්වත් භික්ෂු ජීවිතයක් ගත කළ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ගේ ආභාසය ගිහි කාලය තුළදී ම ලැබුණා. කිරම ඛේමානන්ද නායක හිමිපාණන් වහන්සේ ශාසනික අවතුම් පැවතුම් ,වත්පිළිවෙත් ඇතුළු ආරාමික අධ්‍යාපනය හා විනය පිළිබඳව ඉතාම ගැඹුරු අවබෝධයක් ලබාදීමට කටයුතු කළ බව ඉතාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. 1972 වර්ෂයේ දී අධිශීල සංඛ්‍යාත උතුම් වූ උපසම්පදා ශිලයට පත්වු බවත් සිහිපත් කළ යුතුයි.

ඕපනායක සිරි අභයරාජ පිරිවෙන, ශ්‍රී ලංකා මහ පිරිවෙන ආදී පිරිවෙන් තුළින් ප්‍රාචීන, මධ්‍යම අවසාන දක්වා අධ්‍යාපනය ලබාගෙන කැලණිය විශ්ව විද්‍යාලයට අතුළත් වුණා. ඒ අතර වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා රුසියාව බලා වැඩම කළා.

කාලයාගේ ඇවෑමෙන් විවිධ ශාසනික විපර්යාසයන් දකින්න ලැබෙනවා. ඔබ වහන්සේ අමරපුර නිකායේ උසස් තනතුරක් දරන ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඒ පිළිබඳව ගන්නා වූ ක්‍රියාමාර්ග කෙසේ ද?

සම්මා සම්බුද්ධ ශාසනයට ලැදි භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් මේ පිළිබඳව පැහැදිලි කරනවා නම්,වර්තමාන භික්ෂු පරපුර කිසියම් සීමාවකට සීමාවෙලා සිටින බවක් දකින්න පුළුවන්. භික්ෂූන් වහන්සේලා පුහුණු කරන ආයතන අඩුයි.

තරුණ භික්ෂු පරපුරට ලබාගත හැකි ආදර්ශවත් බව අඩුයි. නීතිරීති අනුව සම්මත වූණු නිවැරැදි කතිකාවතක් නැහැ. සම්ප්‍රදායට අනුගතව කටයුතු කරන ස්වභාවයක් පමණක් දකින්න පුළුවන්. සියලු ආගම් පිළිබඳ පැතිරුණු බුද්ධිය අඩුයි. විචාරශීලි බවක් නොමැතිකමින් බුදුන් වහන්සේ උපන් රට ලංකාව වැනි විකෘති අදහස් ප්‍රකාශ කරනවා.

පොතපත කියවීමට පමණක් සීමාවෙනවා. එම නිසා පර්යේෂණාත්මක ව, විමර්ෂණාත්මක ව ,ගවේෂණාත්මක ව පැතිරුණු බුද්ධියක් ලබාගැනීමට කටයුතු කළ යුතුයි. පාලි සංස්කෘත වගේම විවිධ භාෂාවන් පිළිබඳ දැනුම ලබා ගැනීමටත් කටයුතු කිරීමෙන් විශ්වීය දැනුමක් ලබාගත හැකියි.

ඔබ වහන්සේ ගේ ජාතික ආගමික ශාසනික සේවය පිළිබඳව කෙටියෙන් ප්‍රකාශ කරනවා නම්,

අන්තර් ජාතික සාමය ඇතිකිරීම සඳහාත්, ලංකාවේ සාමය ඇතිකිරීම සඳහාත් සංවිධාන පිහිටුවමින් සභාපතිත්වය දරමින් පුරෝගාමී ව කටයුතු කළා. රුසියාවේ සිටි කාලය තුළ එරට තුළ ලංකාවේ ආයුර්වේදය , බතික් කර්මාන්තය ,අත්කම්භාණ්ඩ නිර්මාණය, සංචාරක කටයුතු දියුණු කිරීමට විශාල වශයෙන් කටයුතු කළා.

ලංකාවේ බෞද්ධ විහාරස්ථාන රාශියක් ඉදිකිරීමට කටයුතු කළා වගේ ම විශාල දක්ෂ ශිෂ්‍ය භික්ෂු පරපුරක් බිහි කළා. මට ලැබුණ ධනය කිසිම අවස්ථාවක මගේ මව්පියන්, ඥාතීන, හිතවතුන් වෙනුවෙන් කැප නොකොට සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය, චිරස්ථිතිය සඳහාම යෙදවීමට කටයුතු කළා. රුසියාවේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා විශාල කැපකිරීමක් සිදුකළා. ඒ අනුව රුසියාවේ ප්‍රධාන සංඝානයක ධූරය , රුසියන් භාෂාව ව්‍යාප්ත කිරීම පිළිබඳව සම්මාන, රුසියානු මිත්‍රත්වය හා සහයෝගීතාවය පිළිබඳ සම්මාන , ගෞරවනීය පුරවැසියා සම්මාන, ආයුර්වේදය ප්‍රචාරය කිරීම තුළ වෛද්‍ය සංගම් තුළින් ලබන සම්මාන ආදී වශයෙන් සම්මානයට පාත්‍රවෙලා තිබෙනවා.

නිකාය තුළින් විශ්ව සාහිත්‍ය භාෂා විශාරද සද්ධර්මකීර්තී ශ්‍රී වජිරවංශාලංකාර යන ගෞරව නාමයත්, සද්ධම්මාභිබුද්ධිජෝථක පණ්ඩිත යන ගරු නාමය බුරුම රටෙන් ලබාදීමටත් කටයුතු කර තිබෙනවා.