Print this Article


මුව පුරා මානෙල් මල් සුවඳ විහිදෙන්නට කළ පින

මුව පුරා මානෙල් මල් සුවඳ විහිදෙන්නට කළ පින

පෙර සැවැත් නුවර රූමත් කාන්තාවක් සිටියා. ඇයගේ සැමියා බුදුරදුන්ගෙන් බණ අසා ගිහි ව සිට මේ ධර්මය අනුව නොපිළිපැදිය හැකි යැයි සිතා විහාරයට ගොස් භික්ෂූන් වහන්සේ නමක් සමීපයෙහි පැවිදි විය.

පසේනදී කොසොල් රජතුමා අස්වාමික වූ ඒ රූමත් කාන්තාව ස්වකීය අන්තඞපුරයට ගෙන්වා ගත්තේ ය.

දිනක් රජතුමා නිලුපුල් මල් මිටක් ගෙන අන්තඞපුරයට ගොස් එක ස්ත්‍රියකට එක මල බැගින් දුන්නේ ය. අස්වාමික කාන්තාවට මල් දෙකක් දුන්නේ ය. ඇය ඉමහත් පී‍්‍රතියෙන් ඒ මල් සිප, මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇයගේ සැමියා සිහිවී හැඬුවා ය. ඇය, මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ පුරාණ සැමියා සිහි වී හැඬූ බව රජුට පැවසුවා ය. රජුට එම කීම පිළිගත නොහැකි විය. දෙතුන් වතාවක් ඇය රජතුමාට පැවසූ නමුත් රජු ඇයගේ කීම විශ්වාස නොකළේ ය.

රජතුමා ඇය විමසීමට තීරණය කළේ ය. සියලුම සුවඳ වර්ග රජ ගෙයින් ඉවත්කර අසුන් පනවා බුදු පාමොක් මහ සංඝයා වහන්සේ වැඩම කරවා දන් දීමට සූදානම් කළේ ය.

භික්ෂූන් වහන්සේ කව්දැයි ස්ත්‍රියගෙන් දැනගෙන බුදුරදුන් වෙත පැමිණ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපට බණ කීමට අසවල් භික්ෂූන් වහන්සේ නවත්වා, ඔබ වහන්සේ සෙසු භික්ෂූන් වහන්සේ සමඟ විහාරයට වැඩම කරන ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

බුදුරජාණන් වහන්සේ සෙසු භික්ෂූන් වහන්සේ සමඟ විහාරයට වැඩිය හ. භික්ෂූන් වහන්සේ දහම් දෙසුම අරඹන්නට විය. රජ ගෙදර මානෙල් මල් සුවඳ පිරෙන්නට විය. රජතුමා, කාන්තාවගේ කීම සැබෑ යැයි පැහැදී පසුදින බුදුරදුන් වෙත පැමිණ භික්ෂුවගේ මුවින් මානෙල් මල් සුවඳ විහිදීමට හේතුව ඇසී ය.

එවිට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව අතීතයෙ හි දහම් අසමින් පී‍්‍රතියෙන් සාධුකාර දුන් බවත් ඒ පිනෙන් ඒ භික්ෂුවගේ මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන බවත් වදාළ හ.